කවි ලියවෙන්නේ නැති සමාජයකට අපි බිය විය යුතුයි – මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

272

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දේශනය සිදුකළ අයුරු

“කවියා තමයි භාෂාව අලුතින් හදන්නේ. කවියා භාෂාව වෙනස් කරනවා. කවි ලියවෙන්නෙ නැති සමාජයක් ගැන අපි බිය විය යුතුයි” යැයි මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

නීතිඥ අනුර හෑගොඩ මහතා විසින් සංස්කරණය කරන ලද ‘ලන්ඩන් කවි’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේ දී ආරාධිත දේශනය කරමින් මහාචාර්යවරයා එසේ පැවසීය. කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහභාගි විය.

එහිදී වැඩිදුරටත් කතා කළ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙසේ ද කීවේය.

කවිය කියන්නේ සිනමාව, සංගීතය, චිත්‍රය, චිත්‍රපටය ආදී ඕනෑම ක්ෂේත්‍රයක ප්‍රවීණයකුට තමන්ගේ ජීවිතයේ එක මොහොතකදී හරි ප්‍රතිභාව මුදාහරින්න පුළුවන් අඩවියක්. විවිධ ක්ෂේත්‍රවල රැඳී සිටියාට ඒ අයගේ ප්‍රථම වැඩ බිම කවිය බවයි මගේ අදහස. හැම කලාවක ම කවිය තියෙනවා. ඒවායේදී අපිට ඔවුන් තුළ සිටින ‘කවියා’ මුණගැහෙනවා.

කවි ලියවෙන්නේ නැති සමාජයකට අපි බිය විය යුතුයි - මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
‘ලන්ඩන් කවි’ සංස්කාරක නීතිඥ අනුර හෑගොඩ මහතා ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ද ඡායාරූපවල වෙති.

කවියේ භූමිකාව හඳුනාගැනීම ඉතාම වැදගත්. කවියා තමයි භාෂාව අලුතින් හදන්නේ. කවියා භාෂාව වෙනස් කරනවා. කවි ලියවෙන්නෙ නැති සමාජයක් ගැන අපි බිය විය යුතුයි. ඩීසල් පෙට්‍රල් නැති සමාජයක් ගැන බය වෙන්න එපා. අයි.එම්.එෆ්. ගිහින් හරි, තවත් අවුරුදු 12කින් හරි, සමහරවිට වෙනත්ම දේශපාලන ව්‍යාපෘතියක් හරහා හරි ආර්ථික ප්‍රශ්න විසඳෙන්න ඉඩ තියෙනවා. හැබැයි හැකිලෙන කලා සංස්කෘතික ක්ෂේත්‍රය මොනම අයි.එම්.එෆ්. එකක් එක්කවත් හුවමාරු කරගෙන ප්‍රතිව්‍යුහගත කරන්න බෑ.

මට දවසක් නන්දන වීරසිංහ සහෘදයා කිව්වා “මල්ලි හිටපු ගමන් මම හිටපු කවියෙක් වුණානෙ” කියලා. හිටපු විදුහල්පතිවරු, හිටපු අගවිනිසුරු ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ‘හිටපු අය’ හිටියට හිටපු කවියො කියලා ජාතියක් නෑ. කවියාගේ ඇති ප්‍රබල බව පෙන්වන්නමයි නන්දන වීරසිංහයන් එදා මට එසේ කීවේ. මේ සභාවේ ඉන්න ලාල් හෑගොඩ කිවිඳුන් ලංකාවෙ කවි පළසෙන් ඉවත් කරලා කල්පනා කරන්න බෑ. එසේ අයින් කළ විට ඇතිවන හිඩස අර මං කියූ අයි.එම්. එෆ්. එකෙන් හෝ, ලෝකේ තියන මොනම භෞතික සම්පතක් එක්ක හෝ සමාන කරලා ‘රීප්ලේස්’ කරන්න බෑ.

සිව් පද කවිය ගත්තොත් එහි බාහිර දේහයෙත් තියෙනවා හැඩයක්. එළිසමය යොදන ආකාරය ඊට උදාහරණයක්. කොළඹ කවියා කවිය සැලකුවේ අවියක් විදියට, මිහිරක් විදිහට. එහෙමත් නැත්නම් ජාතික වස්තුවක් විදියට. කොළඹ කවිය කියන්නේ ආයු විඳලා අවසන් වෙච්ච නිර්මාණ විශේෂයක් නෙවේ. තවමත් කොළඹ කවිය ක්‍රියාත්මකයි. තමන්ගේ ගම නමත් සමග මුලින්ම පාවිච්චි කළේ ස්වාමීන්වහන්සේලා. පස්සෙ මැරයොත් හඳින්වූවේ ගමේ නම මුලට දාලා, ‘ගෝනවල සුනිල්‘ ආදී වශයෙන්. මේක වළක්වන්නත් එකක් තමයි කොළඹ කවියෝ නමට මුලින් තමන්ගේ ගම කියලා හඳුන්වන්න ගත්තේ. නාරම්පනාවේ විමලරත්න කුමාරගම, කොල්ලුපිටියේ පී. බී. අල්විස් පෙරේරා ආදී වශයෙන් අපට හමුවන්නේ ඒකයි. ආරියවංශ පතිරාජයන් පී. බී. අල්විස් පෙරේරා කවියාගේ අභාවය ගැන පහුවදා පුවත්පතකට කවියකින් ලියනවා ‘කවියා මැරුණු ශෝකෙන් පපු කැනති කැඩී – අඩකුඹු කරව් සිංහලයිනි සියලු කොඩී’ කියලා. ඒ කියන්නේ කවියා ජාතික වස්තුවක් හැටියටයි සලකන්නේ. ඔහු එතන සිංහලයිනි කියා ලියන්න ඇත්තේ හෙළ බසින් කවි ලියූ නිසා වෙන්න ඇති. ඒ විතරක් නෙවේ අල්විස් පෙරේරාගේ මරණය මොන තරම් කම්පාවක් හා නිශ්චිත අවසානයක් වාර්තා කළා ද කියා ආරියවංශ පතිරාජ ඒ කවි පෙළේ අවසාන පද දෙකෙන් කියනවා ‘පී. බී. ගියා යළි සදහට නොඑන මගේ – ඊයේ රැයින් අවසන් විය කොළඹ යුගේ’ කියලා.

සෝවියට් දේශයේ කවියන් මර්දනය කරනකොට, දිවි නසා ගන්න කියා බලකරනකොට, පල්ලි කඩනකොට පාලකයා වුණ ජෝසප් ස්ටාලිංගෙ ළඟට ගෙනා ලයිස්තුවේ තිබුණා ‘ඩොක්ටර් ශිවාගෝ’ නවකතාව ලියූ බරීස් පස්තර්නක්ගෙ නම. ස්ටාලින් කිව්වෙ “අතඇරලා දානවා. මිනිහා වළාකුලට ඉන්න කෙනෙක්නේ, හානියක් නෑ” කියලයි. අතුරුදන් කළ යුතු අයගේ ලැයිස්තුවේ ඔහුගේ නම තිබිය යුතු නෑ කියලයි ස්ටාලින් කිව්වෙ. එසේ ඔහු කිව්වත් පස්සෙ පස්තර්නක්ගෙ පෙම්වතිය ඇතුළු හිතෛෂීන් රිදවන්න ගත්තා. ඒක තමයි ජීවතුන් අතර සිටින කවියා රිදවන්න තියෙන හොඳම ක්‍රමය කියලා පාලකයා සොයා ගත්තා.

අරගල භූමියක නැගීසිටිය හැකි පුරවැසියන් කවියන් වේවා, රසිකයන් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

සභාව හිටිවන කවිවලින් හා කවි ගායනාවලින් ද වර්ණවත් විණි. කලාකරුවන්, විද්වතුන්, ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment