ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙයවීමේ වරම නයිජල් රත්වත්තේට
කිලෝ ග්‍රෑම් 85 ට අඩු ශරීර බර පන්තිය නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් වන නවසීලන්ත පිරිමි රග්බි පාපන්දු කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට ළඟා වූහ. ඒ, ශ්‍රී ලංකාව සමග තරග දෙකකට සහභාගි වීමේ අරමුණ ඇතිවයි. එහි පළමු වැන්න ඉරිදා (04) දින ප. ව. 04.00 ට මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරෙන අතර දෙවැනි සටන මැයි 10 (සෙනසුරාදා) දින ප.ව. 06.30 ට කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේ දී ආරම්භ කෙරේ.
මෙම තරග වාරයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙයවීමේ වරම නයිජල් රත්වත්තේට හිමිවී ඇති අතර ජාතික පුහුණුකරු ලෙස සනත් මාටීස් මහතා කටයුතු කරයි.
මහනුවර නිත්තවෙල දී පැවැත්වෙන පළමු තරගය එක්සත් එමීර් රාජ්‍යයේ ජේ. පී. ක්ලෙමන්ට් මහතා විසින් විනිශ්චය කරන අතර පැති විනිසුරුවරුන් ලෙස ඉෂංක අබේකෝන් මහතා (ශ්‍රී ලංකාව) සහ රවීන් ඇලෙක්සැන්ඩර් මහතා (ශ්‍රී ලංකාව) කටයුතු කිරීමට නියමිතය.
ජාත්‍යන්තර රග්බි පාපන්දු කෙළිබිමේ සුවිශේෂ සන්නාමයකට හිමිකම් කියන නවසීලන්ත ජාතික කිලෝ ග්‍රෑම් 85 ට අඩු ශරීර බර පන්තියේ ප්‍රබලතම ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ දී තරග කිරීම ඉහළ අගයක් ගෙන තිබේ. එම ක්‍රීඩකයන් අතරේ නවසීලන්ත ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන දක්ෂයන් රැසක් ද වෙති. එරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ 12 ක ක්‍රීඩකයන් ද ඒ අතර වීම කැපී පෙනෙයි. ඒ අනුව බලන විට මෙම තරග අත්දැකීම ශ්‍රී ලංකාවේ අනාගත රග්බි පාපන්දු කෙළිබිමේ ප්‍රවර්ධනයට මහඟු පිටුවහලක් වනු නොඅනුමානය.
නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 න් පහළ කණ්ඩායම සහභාගි වන පළමු ජාත්‍යන්තර තරග සංචාරය මෙය වන බව ද වාර්තාවේ. එහි ප්‍රතිඵලයක් ලෙස නවසීලන්ත ජාතිකයන් ද තම උපරීම දක්ෂතාව මෙම තරග ද්විත්වය තුළ ක්‍රියාවේ යොදවනු ඇතැයි අනුමාන කළ හැකිය.
දශක ගණනකට පසුව මෙරටට පැමිණී නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග ද්විත්වයම දැක බලා ගැනීම සඳහා දේශීය රග්බි පාපන්දු ලෝලීන් රොද බඳිනු නොඅනුමානය. ඒ අතරේ මෙරට යෞවන පාසල් ක්‍රීඩකයන් ද අපේක්ෂා දල්වා ගෙන සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම ද මෙම තරග ආශ්‍රිතව තම දක්ෂතාව හා හැකියාව උපරිමයෙන් ප්‍රදර්ශනය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මැලේසියාවට එරෙහිව ඉකුත් දා කොළඹ දී පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට සමත් වූ ශ්‍රී ලාංකේය ක්‍රීඩක පෙළ නිවැරදි රිද්මයට අවතීර්ණ වෙමින් ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමග ද සටන් කරනු නොඅනුමානය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර
සංස්කරණය – සුසිල් ජයකොඩි