රෝගී වීම යනු මිනිසා ඇතුළුව ලොව සිටින සියලු සත්ත්වයින්ට විශේෂිත වූ පොදු මූලධර්මයක් වන්නේය. මෙම පොදු මූලධර්මයේදී මානව රෝග නිවාරණය සඳහා අතීතයේ සිටම දක්වා ඇත්තේ විශේෂ උනන්දුවක් වුවද සතුන් කෙරෙහිද ඇතිවන්නා වූ රෝගාබාධයන් පිළිබඳ ඈත අතීතයේ සිට මිනිසාගේ අවධානය යොමුවී ඇති බව ඉතිහාස කතා වස්තූන් පිළිබඳ ලියැවී ඇති පොතපත්හි සඳහන් වන්නේය.

ශ්‍රී ලාංකීය ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතමයා වන බුද්ධදාස රජු පිළිබඳ වංශකථාවල මෙන්ම ශිලාලේඛන ජනප්‍රවාද එමටය. බුද්ධදාස රජු ගිලනුන්ට වෙදකම් කළ ආකාරය හා ගම් නියම්ගම් හි ආරෝග්‍යශාලා ඇති කරමින් මානව ප්‍රජාවට සුවිසල් මෙහෙයක් සිදුකර ඇති බව වංශකතාවල සඳහන් වේ. බුද්ධදාස රජු ගිලන් වූ මිනිසුන්ට පමණක් නොව සතුන් කෙරෙහි ද දැඩි අනුකම්පාවෙන් කටයුතු කර ඇති අතර වරෙක රජු ජල ක්‍රීඩා කිරීම සඳහා මඟුල් ඇතා පිට නැග තිසාවැව මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඒ අසල පිහිටි තුඹසක් අද්දර නාග රාජයකු වේදනාකාරීව සිටිනු දැක පරීක්ෂා කර බලා නාගරාජයාගේ පිට ප්‍රදේශයේ හටගෙන තිබූ ගෙඩියක් ශල්‍යකර්මයකට භාජන කර සුවපත් කළ අයුරු නොයෙක් ඉතිහාස කතාවල දැක්වෙන්නේය.

වංශ කතාවල නොලිවුණ ද මෙරට ඉතිහාසය තුළ මානව ප්‍රජාවට මෙන්ම සත්ව ප්‍රජාවට ද කරුණා දයාවෙන් යුතුව වෙද හෙදකම් කළ ශ්‍රේෂ්ඨ වෙදැදුරන් අතීතයේ ඕනෑ තරම් සිටින්නට ඇත. ඔවුන්ගෙන් යම්තාක් දුරට ශේෂ වූ කණ්ඩායම්, පරම්පරා හා පුද්ගලයන් අද සමාජය තුළද නැතුවාම නොවේ.

දශක හයක් පුරා ගවයින් දස දහස් ගණන් නොමිලේ සුවපත් කරන මාගම්පත්තුවේ සුදු ගම්බාරේ

එවැනි ශේෂ වූ ඉසිවර වෙද පරපුරක ඉතිරි වූ මුල් අරටුවක විශ්මිත ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සොයා බලන්නට අපට අහම්බෙන් හෝ හැකි වන්නේ ගවයින් සඳහා විශේෂ ක්‍රම යොදාගනිමින් නොමිලේ ප්‍රතිකාර කරන පාරම්පරික වෙදෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ බැල්ලගස්වැව ප්‍රදේශයේ සිටින බවට ගව හිමියකුගෙන් ලැබුණු තොරතුරකට අනුවයි.

ඔහුගෙන් ලබාගත් දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබාදෙමින් වෙද මහතා සම්බන්ධ කරගත් අප පසුදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුව බැල්ලගස්වැවට යන්නේ සත්ව රෝග නිවාරණයේ දී පාරම්පරික වෛද්‍ය ක්‍රමවේදයන්හි වැදගත්කම පිළිබඳව ලෝකයා හමුවේ පසක් කිරීමේ දහසක් බලාපොරොත්තු පෙරදැරිවය.

අපට ස්ථානය සොයා ගැනීමට එතරම් අපහසු නොවූයේ බැල්ලගස්වැව ප්‍රදේශයේ සුදු ගම්බාරේ නම කියූ සැනින් නොහඳුනන්නෙක් නැති නිසාවෙනි.

මාර්ගය දිගේ ඈතින් පෙනෙන නිවසක් දෙසට ඇඟිල්ල දිගු කළ ගම්පියසේ කාන්තාවක් “අර පේන ගෙදර තමයි සුදු ගම්බාරේ මාමගේ ගෙදර.”

බුලත් කහට පිරුණු දත් පෙන්නා කුලුපගව සිනාසුන ඇයට ස්තුති සිනාවක් පෑමට අප අමතක කළේ නැත.

විවෘතව තිබූ ගේට්ටුවෙන් ඇතුළුවනවාත් සමග නිවසේ පිළිකන්න පැත්තෙන් විපරම් කළ බැලු අයෙකු

“මහත්තයල එනවයි කිව්වට සුනංගු නිසා මං හරක් දෙන්න දිගේලි කරන්න දෙනිය පැත්තට ගියා. ඔහු අප හඳුනා ගනිමින් එසේ පැවසීය.

එකිනෙක වහලවල් කීපයක් සම්බන්ධ වූ උළු සෙවිලි කළ තරමක් විසල් නිවසකි. ගේ දොරකඩ පිහිටි සුවිසල් සියඹලා ගස නිවැසියන්ට වඩා පැරණි ඇතැයි අපට සිතුණි.

උගුරේ රැල්බුරුල් හරිමින් ඉදිරියට පැමිණෙන උඩුකය නිරාවරණව සිටි ඔහු තරුණ වියේ ජවසම්පන්නව සිටින්න ඇතැයි අපට සිතුනි.

“මහත්තයලා තියෙන විදිහකට ඈඳි ගත්තනං…”

වැඩි කතාබහක් නැති ඔහුගේ වදන් අණ කිරීමක් වැන්න.

දශක හයක් පුරා ගවයින් දස දහස් ගණන් නොමිලේ සුවපත් කරන මාගම්පත්තුවේ සුදු ගම්බාරේ

“අපේ උන්දැ මියැදුනාට පස්සේ මං තනියම තමයි මේ ගෙදර ඉන්නේ. ළමයි දීග තල ගිහිල්ලා. ඔහු කතාව පටන් ගත්තේය.

“මම ඉපදෙන්නේ අම්බලන්තොට දිවුල්පල්ලම කියන ප්‍රදේශයේ. මගේ නම ඩයස් වනිගරත්න දිසානායක. ඒ වුණාට මට හැමෝම කතා කරන්නේ සුදු ගම්බාරේ කියලා. අම්මා නාවතුංග ගමගේ කරුණාවතී. තාත්තා ඩවෝනිස් වනිගරත්න දිසානායක අපේ පවුලේ සහෝදරයෝ ඔක්කොම නම දෙනෙක් මම හතර වෙනියා තාත්තා ගොවියෙක් කිරි හරක් හැදුවා. කවදක්වත් හරකෙක් දීලා නෑ මසට. හරක් සීයක් විතර උන්නා. හරක් ඉන්නකොට උන්ට අසනීප වෙනවා. බෙහෙත් කරන්න එන්නේ අම්මගේ අයියා කෙනෙක් අපේ මාමා මම එයාගෙන් තමයි වෙදකම ඉගෙන ගත්තේ.

එයා ප්‍රසිද්ධ වෙදෙක් අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ නම කෙනේරිස් ජයතිලක දිසානායක. බණ්ඩා මහත්තය කියලත් කියනවා. විස්තර කියනකොටම මාම දන්නවා තියෙන්නේ අහවල් ලෙඩේ කියලා. ඉස්සර වෙදකම් කරන්නේ නම්බුවට ගෙදරට මොනවා හරි අරන් එන දෙයක් තමයි නැත්නම් මුදල් ගත්තේ නෑ කවදාක්වත්. මටත් සාත්තරේ දෙනකොට පොරොන්දු ගත්ත මුදල් ගන්නේ නෑ කියලා. මට එතකොට අවුරුදු පහළොවක් විතර ඇති. මාමටත් පරම්පරාවෙන් තමයි මේ වෙදකම ලැබිලා තියෙන්නේ. මේක අපේ රටේ සාමාන්‍ය වෛද්‍ය ක්‍රමය වගේ නෙමෙයි. මාමලගේ පරම්පරාවට මේක ලැබිලා තියෙන්නේ උතුරු ඉන්දියාවේ ඉඳන් ආපු හාමුදුරු නමකගෙන්.

ඉස්සර මම පොඩි කොලුව කාලේ එතකොට මට අවුරුදු පහක් වගේ ඇති ඉන්දියාවෙ ඉඳන් බ්‍රාහ්මණයෝ එනවා සාත්තර බලන්න, කේන්දර බලන්න. එක්කෙනෙක්ගේ බලන්න ඉස්සර රුපියලක් ගන්නවා මට මතකයි. එක බ්‍රාහ්මණයෙක් මා දිහා බලලා තාත්තට කියනවා මේ ඉන්නේ ගිය ආත්මේ වෙදෙක් කියලා.

මටත් හිතෙන්නේ මම මේක ආත්මෙන් ආත්මයට අරන් ආපු දෙයක් කියලා.

දශක හයක් පුරා ගවයින් දස දහස් ගණන් නොමිලේ සුවපත් කරන මාගම්පත්තුවේ සුදු ගම්බාරේ

අපේ පුරාණ පොත්වල තියෙනව ගව රෝග හාරදහස් හාරසිය හතළිස් හතක් පිළිබඳව. ගවයින්ට කුල හතක් තියෙනවා. ඒ එක එක්කෙනාට ආවේණික අංග ලක්ෂණ තියෙනවා. රජ, බමුණු වෙළඳ, සිටු, ගොවි, ග්‍රහපති, උපෝසථ වශයෙන්. රජ කුලය තනි සුදුයි. සිටු කුලය තනි කලුයි. බමුණු කුලය දුඹුරු පැහැයයි ගොවි කුලය තද කළුයි. ඔළුව ලොකුයි ඒවගේ එකිනෙකාට වෙනස් අංග ලක්ෂණ තියෙනවා. හරකෙකුට පරම ආයුෂ තියෙන්නේ අවුරුදු 32යි. මගේ ළඟ ඉඳලා තියෙනවා ගවයෙක් කුළුමීමා පැටියෙක් අවුරුදු තිස් හයක්. එයා මම හොයාගත්තේ කැලේක පාළු ළිඳක වැටිලා ඉන්නකොට.

මට අවුරුදු 20 වෙනකොට සාස්තරේ හොඳට පිහිටුවා තනියෙන් උනත් බෙහෙතක් කර ගන්න පුළුවන් මට්ටමක මම හිටියා. ඉස්සර අපි කුළු මීමෝ බඳිනවා. ඒක හරි ත්‍රාසජනක වැඩක්. කුළු මීමො කියන්නේ කැලේ ජීවත් වෙන කුළු හරක්ට. එයාලා හරි භයානකයි. කැලේට ගිහිල්ලා මදු තියල උගුල් අටවලා කුළු හරක් අල්ලලා හීලෑ කරනවා. හීලෑ කරන වැඩෙත් හරි අමාරුයි. කොට වෙන්න ගහක බැඳලා පොල් කට්ටක් විදලා දිග කෝටුවක් දාලා ඈත ඉඳන් ඇඟ කහන ගමන් කටහඬ හුරු කරන්න ඕනේ. ඉස්සර මට පුළුවන් කුළු හරකෙක් පස්සේ ගිහිල්ලා නැට්ටෙන් අල්ලලා බිම දාන්න. ඒ තරම් මට ගාය තිබුණා වගේම ඒවට හොඳ පුරුද්දක් තිබුණා. කුළුමීමෝ අල්ලන වැඩේටත් ඉස්සර බැල්ලගස්වැව සුදු ගම්බාරේ කිව්වම හරි ප්‍රසිද්ධයි. ඕන කෙනෙක් දන්නවා.

අපි කුළු හරක් අල්ලන්නේ මඩවන්න. ඉස්සර අක්කරයක් මඩවල දුන්නාම වී කුරුණි තිස් දෙකක් ගොයම් කැපෙන කොට අපිට දෙනවා. ඒ කාලේ ගොයම් කපනවා කියලා මට පණිවිඩය දුන්නහම ගෝනි ටික තිරික්කලේ බැඳගෙන මම යනවා කොටහා අරගන්න.

අපි අම්බලන්තොට දිවුල්පල්ලම ඉඳලා බැල්ලගස්වැව කැලේට එනවා කුළු මීමෝ අල්ලන්න. අපි පස් හය දෙනෙක් විතර එනවා ඇවිල්ල වාඩි ගහගෙන කැලේ නතර වෙනවා. සති දෙක තුන නතර වෙලා උයාගෙන කාලා ඉඳලා තමයි කුළු මීමෝ අල්ලලා හුරු කරගන්නේ. ආපහු හැතැප්ම නමයක් දහයක් මීමෝ ටික දක්කගෙන දිවුල්පල්ලමට යනවා.

ඒ වෙනකොට මට අවුරුදු විසි තුනක් වගේ ඇති. අපි කූඩාරම් ගහන කැලේ පවුල් විසි හයක් විතර හිටියා. ඒ ආපු වෙලාවක තමයි ඒ දුප්පත් පැළක හිටපු කරුණාවතී කියන තරුණිය සමග මම විවාහ වුණේ. මම එහෙමම ඒ ගමේ නතර වුණා.

කාලය ගත වෙද්දී මට අවුරුදු 30 විතර කාලෙ වෙනකොට මටම කියලා මීගොන්බාන් සීයක් විතර හිටියා. මීගොන්බාන් කුඹුරු හාන්න අඳේට දෙනවා බාන් දහයක් දුන්නහම කුඹුරු කැපෙනකොට මට වී අමුණු අටක් ගෙනත් දෙන්න ඕනේ. මීගොන්බාන මාසයක් විතර ඒගොල්ලෝ තියාගෙන වැඩ ඉවර කරගෙන ගෙනල්ලා දෙනවා. ගොයම් කැපෙන කාලෙට අමුණු අටක වී ගෙදරට ගෙනැවිත් දෙනවා.

ඒ කාලේ කොයි දේටත් ගවයෝ ඕනේ. ගවයා කියන්නේ සම්පතක් කියලා තමයි මං හිතන්නේ අපේ ගෙදර මම හදපු මුල්ම මව් දෙන්නු මියැදුනාම මම එයාලගේ ඔළු ටික අරගෙන සංරක්ෂණය කරලා තියාගෙන ඉන්නවා ඒ තරම් මං සත්තුන්ට ආදරේ කළා.

මට මතක් වෙනවා ඒ කාලෙ කවි.

පෙර සිට අපේ මුතු මිත්තං කාලේ සිට
ගව සම්පතෙන් ගොවිතැන එය අගය කොට
කුරහන් පිට්ටු මී කිරි රස දැනෙනකොට
ගවයාගේ නමට දිවි දීමට හැකිය මට

ඒ තරම්ම මම ගවයින්ට ආදරය කළා. මම කවදක්වත් ගවමස් කෑල්ලක්වත් කටේ තියලා නෑ.

දශක හයක් පුරා ගවයින් දස දහස් ගණන් නොමිලේ සුවපත් කරන මාගම්පත්තුවේ සුදු ගම්බාරේ

ඔය කාලේ වෙනකොට මට වෙදකම හොඳට පුළුවන්. ගවයෙක්ගෙ විස්තර කියනකොටම මට ලෙඩේ හඳුනගන්න පුළුවන් හැකියාවක් තිබුණා. ගොඩක් වෙලාවට විශේෂිත ක්‍රම මගින් තමයි අපේ වෙදකම කෙරෙන්නේ. ගවයගෙ ඇඟේ ලොකු තුවාලයක් තියෙනවා නම් කරට බෙහෙත් බැඳලා අතාරිනවා. තුවාලට එක පණුවෙක්වත් වහන්නේ නෑ ඉක්මනට මස් දාලා හොඳ වෙනවා. කකුල් කැඩිච්ච ගවයින්ට කරේ බෙහෙත් බඳිනවා කැඩිච්ච තැන පෑස්සෙන්න. ඒ වගේම තුවාලෙට අළු මතුරලා ගහනවා මී ගවයෙක් නම් මඩ මතුරල තමයි ගහන්නේ. දරුණු විදිහට තුවාල වෙලා කැලේ ඉන්න ගවයින්ව අල්ලන්න බැරි අවස්ථාවලදී සතා ඉන්න ඉසව්ව සතාගේ පැත්ත වගේ කීපයක් තියෙනවා බලන්න ඊට පස්සේ කබලක් ලිපේ තියල ඒකට අබ මතුරලා දාලා කරන මැතිරිලි ක්‍රමයක් තියෙනවා. ඒ කරනකොට සතාගේ තුවාලෙ ඉන්න පණුවෝ ඔක්කොම මැරිලා සතාට සතියක් යනකොට හොඳ වෙනවා. නවීන විද්‍යාවෙන්වත් හොඳ කරන්න බැරි ගොඩක් ලෙඩ අපේ ක්‍රමවලින් හොඳ කරන්න පුළුවන්. කැලේ ඉන්න අලියකුගෙ තුවාලෙකට වුණත් සතාව අල්ලන්නෙවත් නැතුව බෙහෙත් කරන්න පුළුවන් කෙම් ක්‍රම අපි ගාව තියෙනවා.

සතුන්ගේ ඇහේ සුදට ඇහැ නරක් උනහම බෙහෙත් පත්තු හරිගස්සලා සතාගේ බෙල්ලෙ ගානවා, නැත්නම් පිටිපස්සේ තට්ටමේ ගානවා සතාගෙ ජරාව ගෑවෙන් නැති වෙන්න. පැටව් හම්බවෙන්නැති ගෑනු සත්තුන්ට වෙනම බෙහෙත් තියනවා පැටව් හම්බ වෙන්න. මරණාසන්නව හිටිය සතුන් විශාල ප්‍රමාණයක් මම නැගිට්ටවල තියනව.

දැන් මගේ වයස අවුරුදු හැත්ත හතක් විතර වෙනව. අවුරුදු හැටක විතර කාලයක් දස දහස් ගණන් රට පුරා ඉන්න ගවයින්ට ප්‍රතිකාර කරල තියෙනවා. කවදාක්වත් මං ගවයෙකුට ප්‍රතිකාර කරලා මුදල් අරගෙන නැහැ. මම කල්පනා කරන්නේ අපි හැමෝම මැරෙන මිනිස්සු කවද හරි ඒ ගමන යන්න වෙනවා. ඒ ගමන යන්න ඕනේ රටට සේවයක් කරල. මට පුළුවන් දේ තමයි මේක ඒ වැඩේ මම මැරෙන තුරා කරනවා.

දිව කටු අඩක්කම, කුර මුඛ රෝගය එවැනි රෝග සඳහා අපේ ක්‍රමය යටතේ නොවරදින ප්‍රතිකාර තියෙනවා. අපිට පුළුවන් නිට්ටාවටම හොඳ කරන්න.

මේ දවස්වල ගොඩක් ප්‍රදේශවල පොඩි පැටවුන්ට පැතිරෙමින් තියෙනවා ගව වසූරිය කියන රෝගය. ඒක නිසා මේ දවස්වල දවසට තුන් හතර දෙනෙක් එනවා. සමහරු ඇවිල්ලා අඬනවා පැටව් මැරෙනවා ජීවත් වෙන්න විදිහක් නෑ කියලා. එම සමහරක් වෙලාවට ඉංග්‍රීසි බෙහෙත් කරාට හරියන්නෙ නෑ. අපි සිංහල බෙහෙත් වර්ග දෙනව අපි කියන හැටියට දෙන්න ඕන. මේක අපේ බෙහෙත්වලින් ගොඩදාගන්න පුළුවන්.

මට මතකයි කොරෝනා කාලෙ කොළඹ පැත්තෙ පන්සලක හාමුදුරු නමක් මසට ගෙනියන ගවයෙක්ව හදන්න අරගෙන හරකට අසනීපයක් හැදිලා පසුව අයිතිකාරයා බෙහෙත් කරලා බෙහෙත් විදලා නොයෙක් දේවල් කරල තිබුණා. අන්තිමට සේලයින් පිහිටෙන් තමයි තමයි සතා ඉඳලා තියෙන්නේ. කොහොම හරි මගේ නම්බරේ හොයාගෙන මට කතා කරා. ඒ කාලේ යන්නේ එන්න බැහැ කොරෝනා නිසා මම දුරකථනයෙන්ම හාමුදුරුවන්ට බෙහෙත් වර්ග තුනක් කිව්වා. බෙහෙත් කරන විදිහ කිව්වා. පහුවදා උදේ අට වෙනකොට හාමුදුරුවෝ මට කතා කරලා කියනවා වෙද මහත්තයට පින් සිද්ධ වෙනවා සතා අද උදේ නැගිට්ට කියලා.

දශක හයක් පුරා ගවයින් දස දහස් ගණන් නොමිලේ සුවපත් කරන මාගම්පත්තුවේ සුදු ගම්බාරේ

ඒ තරම් බලගතු වෛද්‍ය ක්‍රමයක් තමයි මහත්තයෝ මේක. ඒත් කනගාටුවට කරුණ තමයි මගෙන් පස්සේ මේ වෙදකම ඉවරයි. මේක භාර ගන්න කෙනෙක් නෑ. කවුරුත් මේක නිකන් කරන්න කැමති නෑ. බෙහෙත් අඹරන්න විශාල මුදලක් වැය වෙනවා. කෙම්ක්‍රම තියෙන්නෙ. ඉතින් මේවා කරන්න ගොඩක් උදවිය කැමති නෑ.

මේ වෙනකොට මේ ප්‍රදේශවල ගොවීන්ට තෘණ භූමිවල ගැටලු තියෙනවා. රජයෙන් අපට වෙන්කරන දීපු තෘණ භූමි අපිට අහිමි වෙලා. රජය මේ දිහා බලන්නේ නෑ. කිරි ගොවීන් විශාල ගැටලුවක ඉන්නේ දුක්මුසු ස්වරෙන් කියූ ඔහු දිගු සුසුමක් හෙළා අහස දෙස බැලුවේ සත්තුන්ට වතුර දෙන්න වෙලාවත් හරි මහත්තයෝ තේ ඩිංගිත්තක් බීලම හිටිය නම්.

කතා කරනවා නම් ගම්බාර ඇත්තන් සමග කතා කරන්නට බොහෝ දේ ඇත. සතුන්ට පමණක් නොව මිනිසාගේ නොයෙක් රෝග සඳහාද ගම්බාර ඇත්තන් ළඟ අත්දුටු දේශීය ඖෂධ සහ කෙම් ක්‍රම ඇති බව ඔහු පවසන්නේ ආඩම්බරයෙනි.

කෙසේ නමුදු මෙතරම් වටිනා වෙද පරම්පරාවක අවසාන පුරුක ඔහු වීම ගැන අපට ඇත්තේ කනගාටුවකි. මෙරට අභාවයට යන දේශීය වෛද්‍ය ක්‍රම ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් රජයක් ලෙස වගකිවයුතු අංශවල කාර්යභාරය ඉටුවනවාද යන්න ප්‍රශ්නාර්ථය සිතේ තබාගෙන අප ගම්බාර ඇත්තන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සමුදුනිමු.

නයනදුල සෙන්දනායක
(ඡායාරූප- මත්තල දිලිප් එන්. ජයසේකර)

advertistmentadvertistment
advertistmentadvertistment