වයස කියන්නේ ඉලක්කමක් පමණක් බව සනාථ කළ අපේ කලා පරපුර
පරම්පරා උරුමය රැකගන්න උත්සාහය
සාම්ප්‍රදායික අංග ලෝකයට ගෙනයන්න දැරූ වෙර
නර්තන දැනුම අනාගත පරම්පරාවට
පෙරහැර වනාහි, විවිධ සංස්කෘති අංගයන් හා කලා හෙබි කලාවන්ගෙන් පිරි එකකි. මෙරට ප්‍රධානතම පෙරහැර මංගල්‍යයන් අතර දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නේ මහනුවර ශ්‍රී දළදා පෙරහැරය. එදා සිට මේ දක්වාම පෙරහැරක ඇති විචිත්‍රවත් බව, ගාම්භීරත්වය හා ආගමික භක්තිය දනවමින් පුරා දින දහයක් ශ්‍රී දළදා පෙරහැර පවත්වනු ලබයි.
සෙංකඩගල වීදි පුරා පැවැත්වෙන දළදා පෙරහැර ශ්‍රී ලාංකීය සංස්කෘතියක අනන්‍යතාවය ලොවටම කියාපාන්නකි. අතීත රජ දවස සිට මේ දක්වා ගෙන ආ ශ්‍රී දළදා පෙරහැරේ ශ්‍රී විභූතියේ විශිෂ්ටත්වය ලොවටම කියාපාන්නෝ, මඟ පාදන්නෝ වනුයේ පෙරහැර කලඑළි කරන විශිෂ්ට කලා ශිල්පීහුය. ඒ අතරින් දේශීය උඩරට නර්තනය හා වාදනයන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. එමෙන්ම ආතත, විතත, විතතාතත, ඝන, ශූෂිර යන පංච තූර්ය නාදයන් මගින් ලොවටම විදහාපානුයේ අතීත ශ්‍රී විභූතියේ නූතන ලක්ෂණයන්ය. රජ දවසේ සිට පැවත එන අපේ මුතුන් මිත්තන්ගේ කලා කුසලතාවයන්ය. දළදා පෙරහැර මංගල්‍යය ආරම්භයත් සමග පෙරහැර මඟ කලඑළි කරන ශිල්පීන් හා උඩරට කලාකෙත පෝෂණය කරමින් දළදා පෙරහැරේ දායකත්වය දරමින් කලා පරපුරේ උරුමය කියාපාන චරිතයන්ගේ වියපත් පෙළහරක කතාන්දරය මෙසේය.
ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ප්‍රකට කරන ප්‍රධාන අංගයක් ලෙස දේශීය නර්තන කලාවට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. එය සනාථ කරන ප්‍රබලම මෙවලමක් ලෙස දළදා පෙරහැර දැක්විය හැකිය. ලාංකීය කලාකරුවාගේ වික්‍රමයන් ලොවටම විදහා පාන අවස්ථාව මෙයම වන්නේය. මෙකී සාධකයේ ප්‍රධාන භූමිකාවක්, සංස්කෘතිකාංගයක් ලෙස උඩරට නර්තනය සැලකිය හැකිය. අපේ කතාවේ පළමුව වීර චරිතය නැටුම නිසා ලොවක් ජයගත්, හැටහය වසරක් (66) ශ්‍රී දළදා පෙරහැරේ නර්තනයේ නියැළුණු, ජනාධිපතිවරුන්ගෙන් සම්මානයට පාත්‍ර වූ අයෙක් ගැනය. ඒ මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, අරලුවාගොඩ ගමින් නර්තනය අරඹා අද වන විට ලොවක් හඳුනන කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලද ජ්‍යෙෂ්ඨ කලාකරු රත්තොට වයි. ජී. සිරිසේන නම් වූ අග්‍රගණ්‍ය කලාකරුවාය. නර්තනය ජීවිතයම කරගත් ඔහු කියන කතාව ඇසිය යුතුමය.
ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය නර්තනය
“උඩරට නර්තනය අපට උරුම වන්නේ පරම්පරාවෙන්. බලි, තොවිල්, හේවිසි කලාවන්ගේ ආභාසය මුලින්ම මට ලැබුණේ ගඩලාදෙණිය, තිත්තපත්ගල හා අමුණුගම ගුරුවරුන්ගෙන්. මගේ පළමුවන නැටුම් සංදර්ශනය පැවැත්වූයේ 1954 දී. කොළඹට එඩින්බරෝ ආදිපාදිවරයා හා එංගලන්තෙ මහ රැජින පැමිණෙන ඒ අවස්ථාවට ශිල්පියකු වශයෙන් සම්බන්ධ වෙන්නයි මට අවස්ථාව උදාවුණේ. ඒ කොළඹ නගර ශාලාවේදී. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ මහනුවර ශ්‍රී දළදා පෙරහැරට දායක වෙන්නෙත් අවස්ථාව ලැබීම. ඒ 1954 වර්ෂයේ ඉඳලා. මුලින්ම නයිඅඩි වන්නමින් තමයි පටන් ගත්තේ. ඒක ක්‍රමයෙන් උඩරට වෙස් නැටුම දක්වා වර්ධනය වුණා. මම 2020 වර්ෂය වෙනකම් 66 වතාවක් ශ්‍රී දළදා පෙරහැරට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම මම ජනාධිපති සම්මාන දහසයක් ලබාගෙන තියෙනවා.”
සිරිසේන නර්තන ශිල්පියා සිය ජීවිතය තුළ ලැබූ නර්තන ඇගැයීම් ද බොහෝය. “රටේ හිටපු හැම ජනාධිපති කෙනෙක් අතින්ම මට සම්මාන ලැබුණා” යැයි ඔහු පවසන්නේ නිහතමානි ආඩම්බරයකින් ද යුක්තවය.
රත්තොට සිරිසේන කලාකරුවා ජීවිකාව ලෙස ගුරු වෘත්තියට පිවිසෙන්නේ 1872 වර්ෂයේදීය. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉරහඳකෙටූවැව විද්‍යාලයට එක්වෙමිනි. ඒ නැටුම් ගුරුවරයකු ලෙසය. පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට මාරුවීම් ලැබූ ඔහු වසර 24ක් විද්‍යාලයේ සේවය කර ඇත. එම කාල සීමාව තුළ පාසල් දරුවන් දහසය වතාවකට වැඩි වාර ගණනකදී සමස්ත ලංකා නර්තන තරගවලින් ප්‍රථම ස්ථානය දිනාදීමට උරදෙන්නේ ද ඔහුය. සිය රාජකාරි කාලය තුළ හේ දරුවන් රැසක් දක්‍ෂ නර්තන ශිල්පීන් ලෙස රටට දායාද කිරීමට සමත් වන්නේය. හිටපු යුද හමුදාපතිවරයකු ද ඔහුගේ ශිෂ්‍යයකු බව ඔහු පවසන්නේ ආඩම්බරයකින් යුක්තවය. රටවල් රැසක විදේශ සංචාරයන් සඳහා නර්තන ශිල්පියකු ලෙස සහභාගි වෙමින් ලෝකයට දේශීය නැටුම් කලාව රැගෙන යෑමට දැඩි මෙහෙවරක් සිරිසේන කලාකරුවාගෙන් සිදුවන්නේය.
උඩැක්කි නර්තනයේ ප්‍රධාන පරපුර
“දේශීය භාණ්ඩ අතර කුඩාම අවනද්ධ භාණ්ඩය වන්නේ උඩැක්කි යයි. අනෙකුත් අවනද්ධ භාණ්ඩ අතරින් මේක වෙනස්. ගහපති කවිවල හිරු දෙවියන්ගේ එක් අතක උඩැක්කියක් ඇති බව සඳහන් වෙනවා. ඒ නිසා මෙය සිරිවස නමින් ද හඳුන්වනවා. තමන්ම වාදනය කරමින්, ගායනය කරමින්, නර්තනයේ යෙදියයුතු කලාවක් උඩැක්කි නර්තනය කියන්නේ. අපි දළදා පෙරහැරේ කණ්ඩායමක් ලෙස විසිපහක් – තිහක් සහභාගි වෙනවා. මම 69 වෙනි වතාවක් දළදා මංගල්‍යයට දායකවෙලා තියෙනවා.” මේ කියන්නේ උඩැක්කි නර්තනයේ ප්‍රධාන පරපුරේ පුරුකක් වන තෙන්නකෝන් පරපුරේ නූතන පුරක වන මන්තොස බණ්ඩාර තෙන්නකෝන් ශිල්පියා ය. රාජකාරිය දේවකාරියකටත් වඩා එහා ගිය එකක් බව ඔහු කියන්නේය.
“හොඳින් පේවෙලයි මේවා කරන්නේ. කිසිම කරදරයක් වෙලා නෑ අපේ කිසිම ශිල්පියකුට මේ වෙනකං. ඒක අපි ආත්ම විශ්වාසයෙන් අපේ පරම්පරාවෙන් කරන සද්කාරයක් ලෙසයි. යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, ජ්‍යොතිෂ කටයුතු ,නැටුම්, ගැයුම්, වැයුම්, කවිකම, වෙද – හෙදකම යන සියලු අංගයන් අපිට පරම්පරාවෙන් උරුමවෙලා තිබෙනවා. අපට කුඩා කාලෙදි ගෙදරදි අහන්න දකින්න ලැබුණේම නැටුම්, ගැයුම්, වැයුම්, සොකරි, කිඳුරුසූවිසි තොවිල් වගේ දේවල්. මේ වගෙන් විශාල පන්නරයක් ලැබුණා අපට කලාව දියුණු කරගන්න. අපේ පරම්පරාවේ ප්‍රධානම නර්තන අංගය වන්නේ උඩැක්කි නර්තනය. උඩැක්කියට කියන්නේ රිසිවස කියලා. එහෙම කියන්නේ, ශ්‍රීයාකාන්තාව වැඩවසන්නා වූ කියන අර්ථය සහිතවයි. අපිම අපේ උඩැක්කි හදා ගන්නවා. ඒවට අපි ගන්නේ සඳුන්, නැඳුන්, කොහොඹ, ගන්සූරිය වගේ දැවයි. ඒවාගෙන් ලොකු ආශීර්වාදයක් පිහිටනවා මේ කලාවට.
“අපේ පරම්පරා ගාණක් දළදා පෙරහැරට දායක වෙලා තියෙනවා. මම දළදා පෙරහැරට මුලින්ම නටන්න ගියේ 1953 වර්ෂයේ ඉඳලා. ඒ මගේ පියා සමග. දැනට අවුරුදු හැටනවයක් (69) උතුම් දළදා පෙරහැරේ මේ නැටුම් කලාව කරලා තියෙනවා. ඒ වගේම රටේ හිටපු හැම ජනපති කෙනෙක් අතින්ම සම්මාන ලබල තියෙනවා.”
පියාගෙන් පසු හිමිවන ගුරු පදවිය
මහනුවර පාතදුම්බර, නාපාන, බෝගස්කුඹුර ගමේ ඉපදුණු තවත් ශිල්පියකුගේ පියා වන්නේ බාල බණ්ඩා තෙන්නකෝන් ගුරුන්නාසේය. පියාගෙන් පසුව මේ සුවිශේෂී නර්තනාංගය ප්‍රදේශයේ දරු පරපුරට දායාද කරන ඔහු මන්තොස බණ්ඩාරය. එසේ තම නර්තන හැකියාවන් රට දායාද කරමින් කලාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ඔහු කියන්නේ හරවත් කතාවකි.
“මම අධ්‍යාපන කටයුතු අවසන් කරලා 1963 වර්ෂයේ පුවත්පතක පළවෙන දැන්වීමක් දැකලා රජරටට ගුරුවරුන් බඳවා ගැනීමට අයැදුම් කළා. ඒකට තේරිලා මම නොච්චියාගම විද්‍යාදර්ශ මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයෙක් ලෙස රාජකාරි කටයුතු ආරම්භ කරන්නේ 1964 වර්ෂයේදී. පසුව මැණික්හින්න මහා විද්‍යාලයේ, දොරගමුව, වළල, පාතදුම්බර, මහනුවර සිල්වෙස්තර යන විදුහල්වල සේවය කළා. ඒවගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලෙත් සේවය කරලා 1995 දී විශ්‍රාම ගත්තා. ඒ මේ කලාව තව තවත් දියුණු කරගන්න හිතලා.
මම දැනට උරුමයෙන් දායක කරගත් නර්තන කලාව දේශීයව වගේම විදේශීයව ප්‍රචලිත කරන්න කටයුතු කරලා තියෙනවා. රටවල් රැසකම ප්‍රසංගවලට දායක වෙලා තියෙනවා. ඒ වගේම කලා භූෂණ උපහාරය ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම ලැබුවේ මගේ පියා. ඒ, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අතින්. එදා හරි පුදුම දෙයක් සිදුවුණා. අපිට දිවා ආහාරයට ජනාධිපතිතුමා සමග ආරාධනයක් ලැබුණා. නමුත් තාත්තා පිඟානේ බත් නොකා සිටීම නිසා ජනාධිපතිතුමා ඒ ගැන විමසුවා. එවිට තාත්තා පැවසුවේ, ආහාර ගන්නෙත් පත් කොළේට බත් දාලා කියලා. ඒක අපේ පරම්පරාවේ චාරිත්‍රයක්. ඒ නිසාම ජනාධිපතිවරයා තාත්තගේ අවශ්‍යතාවය කඩිනමින් ඉටුකරලා ආහාර ගන්න කටයුතු යොදලා තියෙනවා. හැමවිටම ආදර්ශය උතුම් කියලා පෙන්නපු කලා ශිල්පියෙක් තමයි තාත්තා”.
වෙස් නර්තනයට හිමිවෙන තැන
මානව චලනයේ රිද්මයානුකූල අවස්ථාව වන්නේ නර්තනයයි. මෙරට සාම්ප්‍රදායික නර්තනය අතර උඩරට නර්තනයට හිමි වන්නේ සුවිශේෂී වූ ස්ථානයක්ය. දළදා පෙරහැරේ සුවිශේෂී නර්තන අංග අතර උඩරට වෙස් නර්තනයට හිමිවන්නේ ද විශේෂිත ස්ථානයකි. ලොව පුරා ශ්‍රී ලංකා නාමය කලාවෙන් ඉහළට ඔසවා තැබූ එකම නර්තනාංගය ලෙස උඩරට වෙස් නැටුමට හිමිවන්නේ වැඩි වටිනාකමකි. දළදා පෙරහැරේ පවතින පැරණි සම්ප්‍රදායන් අනුව උඩරට නර්තනාංග පමණක් දක්නට ලැබීම විශේෂත්වයකි. අනෙකුත් පෙරහැරවලින් ශ්‍රී දළදා පෙරහැර වෙනස් වන්නේ ද මේ ලක්ෂණය නිසාවෙනි. උඩරට නර්තනය දෙස් – විදෙස් හි ප්‍රචලිත කරමින් ලාංකීය නර්තනයට විශාල දායකත්වයක් ලබා දුන් උඩරට වෙස් නැටුමේ ප්‍රධාන පරම්පරා කිහිපයක් අද දක්වාම තම මෙහෙවර ඉටු කිරීම දක්නට ලැබේ. දළදා පෙරහැරේ පවතින ප්‍රධාන වෙස් නර්තන කණ්ඩායම් දෙකක් වේ. එක් කණ්ඩායමක් කරඬුව වැඩමවන ඇතා ඉදිරියෙන් ගමන් ගන්නා අතර, අනෙක් කණ්ඩායම දියවඩන නිලමේවරයා ඉදිරියෙන් ගමන් ගනී. මෙලෙස ගමන් ගන්නේ පාරම්පරික ශිල්පයන් උරුම කරගත් පරම්පරා හතරක එකතුවකිනි. මෙම පරම්පරා අතර මාලගම්මන පරම්පරාව, ඉහළවෙල පරම්පරාව, අමුණුගම පරම්පරාව හා තිත්තවෙල පරම්පරාව ප්‍රමුඛ වේ. පාරම්පරිකව රාජ්‍යත්වය වෙනුවෙන් ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය සඳහා ඉටුකරන මෙහෙයක් ලෙස එම නර්තනාංගය ඉදිරිපත් කරන මෙම පරම්පරා අතර අද අපගේ අවධානය යොමු වන්නේ තිත්තවෙල පරම්පරාව වෙතය. එදා සිට අද දක්වාම මොවුන්ගේ වික්‍රමයන් ගැන ටී. වයි. සුමනවීර ගුරුන්නාන්සේ කියන්නේ මෙවැන්නකි.
තිත්තවෙල පරම්පරාව
“උඩරට නර්තන සම්ප්‍රදායේ අක්මුල් සොයායෑමේදී තිත්තපත්ගල නර්තන සම්ප්‍රදායට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මාගේ මී මුත්තා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මඟුරෑල් බෙර වාදකයා විදිහට වගේම එතුමාගේ රණබෙර කණ්ඩායමේ නායකයා විදිහටත් කටයුතු කරපු සුරඹා ගුරුන්නාන්සේ කියන්නේ. ඒ වගේම පරපුරේ තවත් මුත්තෙක් තමයි ටිකිරි පනික්කියා ගුරුන්නාන්සේ. එතුමාගේ පුතා තමයි සෙව්රංගා ගණිතසාර කියන්නේ. එතුමා ප්‍රසිද්ධව සිටියේ ඉලංගම් කරුණාධිපති බ්‍රාහ්මණ ගණිත ගෙදර සෙව්රංගා ගණිතසාර කියලා. උඩරට නර්තනයේ මුල් පරම්පරාව තමයි මේ අය. ගුරු කුල වශයෙන් පැවති නැටුම්කලාව විධිමත් ආයතනයක රාමුවක් සහිතව ගෙනඒමට කටයුතු කළේ එතුමා තමයි. ශ්‍රී ලංකාවේ පළමු කලායතනය එතුමා ආරම්භ කළේ මහනුවර හාරිස්පත්තුවේ, තිත්තපත්ගල ඉලංගම් හරඹ ශාලාව කියලයි. ඒ වගේම ලංකා ඉතිහාසයේ භාවිතා වන මුද්‍රිත පොත්වලට මුලින්ම නර්තන පොත් පිංචක් එකතු කළෙත් එතුමායි. එය හඳුන්වනුයේ “ශ්‍රී ලංකා සංගීත්” කියලා.
“තිත්තපජ්ජල ඉලංගම් කරුණාධිපති බ්‍රාහ්මණ ගණිත ගෙදර” ඒ උඩරට රජවරුන්ගෙන් ලැබුණ ගෞරව නාමයකි. අදත් උඩරට නර්තන සම්ප්‍රදායේ ස්වර්ණමය ලකුණු ලෙස මේ පරම්පරාව හැදින්විය හැකිය. වර්ෂ 1931 ජනවාරි මස 16 වැනි දින සුබ මොහොතින් ඇරඹි “තිත්තපජ්ජල ඉලංගම් හරඹ ශාලාව” මෙරට බිහි වූ ප්‍රථම කලායතනය ද වේ. එවකට අධ්‍යාපන ඇමැතිව සිටි සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ සහභාගිත්වයෙන් මෙම කලායතනය විවෘත කොට ඇති අතර අද මෙම කලායතනය “තිත්තපත්ගල දේශීය කලායතනය” ලෙස පවතී. දස දහස් ගණනකට ශිල්පය කියාදුන් මේ අපූරු විශිෂ්ට කලා ශිල්පියකු වන සුරඹා ගුරුන්නාන්සේ අවුරුදු 84ක් ආයු වළඳා 1998 වර්ෂයේ දී අප හැර යන්නේය. ඉන් අනතුරුව මෙකී ගමන් මඟට පණ පොවන්නේ එම පරපුරේම මීළඟ සාමාජිකයා වන ටී. වයි. සුමනවීර මහතාය. ඔහු උඩරට නර්තනය සමගින් දේශීය කලාව පෝෂණයට දායක වන්නෙකි. තිත්තපත්ගල දේශීය කලායතනයේ විශේෂත්වය වන්නේ එම කලායතනය ඇරඹි දා සිට මේ වනතෙක් කිසිම කෙනකුගෙන් මුදලක් අය නොකර ශිල්පය හැදෑරීමට අවස්ථාව ලබාදීමය. තිත්තපත්ගල පරම්පරාවේ අභිමානය පිළිබඳ කතා කරන විට එහි ප්‍රධාන යුග පුරුෂයන් සතර දෙනකු පිළිබඳ කතා නොකරම බැරිය. සෙව්රංගා ගණිතසාර, ටී. වයි. සුරභා, ටී. වයි. සුමනවීර හා අයි.කේ. සමරවීර යනු ඒ සිවු දෙනා වන අතර අදවන විට ටී. වයි. සුමනවීර හා අයි. කේ. සමරවීර මෙකී කාර්යයට උරදෙමින් කටයුතු කරනු ලබයි. මෙම උදාර කාර්යයන් මගින් අතීතයේ සිට අනාගතය දක්වා ගෙන ආ පෙළහර ශ්‍රී ලාංකේය නාමය ලොවක් ඉදිරියේ ඔසවා තැබීමට හේතු වී ඇත. ඉහත ශිල්පීන් හා පරම්පරාවල් දේශීය කලාවේ උන්නතිය වෙනුවෙන් සිදුකොට ඇති මෙහෙය අමිලය.
ජානක සම්පත් බණ්ඩාර