තවත් හේතුවක් වන්නේ නීති විරෝධී තුවක්කු වෙත පහසුවෙන් ප්‍රවේශවීමට පුද්ගලයන්ට හැකියාව ලැබී තිබීමයි. ශ්‍රී ලංකාවේ ආයුධ (තුවක්කු) ලබා ගැනීමට හා ළඟ තබා ගැනීම සඳහා වූ නීති අණ පනත් තිබුණද එම සීමාවලින් එහාට ගොස් පුද්ගලයන් තුවක්කු භාවිත කිරීම හෝ ළඟ තබා ගැනීම වර්තමානය වන විට සුලභ කරුණක් වී ඇත. මෙම නීති විරෝධී තුවක්කු රට තුළට හොර රහසේ ගෙන එන අතර ඇතැමක් සොරකම් කර හෝ නීති විරෝධී ලෙස මිලදී ගනු ලබයි. ඒවා රට තුළට ගෙන එන ආකාරය හෝ මිලදී ගන්නා ආකාරය ආරක්ෂක අංශවලට හෝ සොයාගත නොහැකි වූ විට මෙකී අපරාධ හා මිනීමැරුම් සඳහා ඒවා භාවිත කිරීමට අපරාධකරුවන්ට පහසුවේ.
පසුගිය වසර කිහිපය තුළ සිට ශ්‍රී ලංකාවේ බරපතළ ගැටලුවක් බවට තුවක්කු මගින් සිදුවන හිංසනයන් දැක්විය හැක. සෑම සතියකම මිනිසුන්ට වෙඩි තැබීම පිළිබඳ ප්‍රවෘත්ති අසන්නට දකින්නට ලැබෙයි. ඒ අතර බොහොමයක් ඇත්තේ පොදු ස්ථානවලදී වෙඩි තැබීම් මගින් පුද්ගලයන් මියයෑම පිළිබඳ වූ පුවත්ය. මේ හේතුව නිසාම බොහෝ පුරවැසියන් බියෙන් හා අනාරක්ෂිත බවකින් පෙළෙයි. මෙය ඉතාම බැරෑරුම් ලෙස සැලකිය යුතු කාරණාවකි.
මෙම වෙඩි තැබීම් මගින් සිදුවන හිංසනයන් හා ජීවිත හානි වැඩිවීමට ප්‍රධාන හේතුවක් ලෙස කල්ලි හිංසනයන් දැක්විය හැක. බොහෝ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී මුදල් ණයට දීම් සම්බන්ධ සිදුවීම් සහ විවිධ ජාවාරම් වැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සමාජය තුළ දිනෙන් දින වැඩිවේ. මෙම කණ්ඩායම් බොහෝ විට ප්‍රදේශ සහ මුදල් පාලනය කිරීම සඳහා එකිනෙකා සමග ගැටුම් ඇති කර ගනී. එය බලය අල්ලා ගැනීම සඳහා වූ ප්‍රයත්නයකි. කෙසේ නමුත් මෙම ගැටුම්වලදී ආයුධයක් වශයෙන් තුවක්කු භාවිත කරන අතර මේ හේතුවෙන් ඇතැම් වේලාවල්වලදී අහිංසක මිනිසුන්ද තුවාල ලැබීම හෝ මරා දමනු ලැබෙයි. ඔවුන් පුද්ගලයකු මරා දැමීමට හෝ බිය වැද්දීමට හෝ තුවාල කිරීමට හෝ තුවක්කු භාවිත කිරීමට බියක් නොදක්වයි.
මේ සඳහා තවත් හේතුවක් වන්නේ නීති විරෝධී තුවක්කු වෙත පහසුවෙන් ප්‍රවේශවීමට පුද්ගලයන්ට හැකියාව ලැබී තිබීමයි. ශ්‍රී ලංකාවේ ආයුධ (තුවක්කු) ලබා ගැනීමට හා ළඟ තබා ගැනීම සඳහා වූ නීති අණ පනත් තිබුණද එම සීමාවලින් එහාට ගොස් පුද්ගලයන් තුවක්කු භාවිත කිරීම හෝ ළඟ තබා ගැනීම වර්තමානය වන විට සුලභ කරුණක් වී ඇත. මෙම නීති විරෝධී තුවක්කු රට තුළට හොර රහසේ ගෙන එන අතර ඇතැමක් සොරකම් කර හෝ නීති විරෝධී ලෙස මිලදී ගනු ලබයි. ඒවා රට තුළට ගෙන එන ආකාරය හෝ මිලදී ගන්නා ආකාරය ආරක්ෂක අංශවලට හෝ සොයාගත නොහැකි වූ විට මෙකී අපරාධ හා මිනීමැරුම් සඳහා ඒවා භාවිත කිරීමට අපරාධකරුවන්ට පහසුවේ.
මෙහිදී දේශපාලනයද භූමිකාවක් ඉටුකරයි. ඇතැම් දේශපාලන සිදුවීම් අතරතුර දේශපාලන මතභේද නිසා මිනිසුන්ට වෙඩි තැබූ අවස්ථා තිබේ. ඇතැම් ප්‍රදේශවල බලය ඇති පුද්ගලයන් අන් අයට තර්ජනය කිරීමට හෝ හානි කිරීමට ප්‍රචණ්ඩත්වය භාවිත කරයි. මෙයින් පෙනී යන්නේ සමහර පුද්ගලයන් අන් අයව පාලනය කිරීමට හෝ බිය ගැන්වීමට තුවක්කු භාවිත කරන බවයි. එය සාමකාමී සමාජයක පැවැත්මට බාධාවකි.
තුවක්කු සම්බන්ධ වූ අපරාධ වර්ධනය සඳහා බලපාන තවත් ගැටලුවක් වන්නේ අපරාධකරුවන් සඳහා නිසි දඬුවම් ලබා නොදීමයි. බොහෝ අවස්ථාවලදී දක්නට ලැබෙන්නේ ආරක්ෂක අංශ මගින් අපරාධකරුවන් හසුකර ගැනීමේදී මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කිරීමත් මෙම නීතිමය නඩු සඳහා බොහෝ කාලයක් ගතවීමත් අපරාධ වර්ධනය කෙරෙහි සෘජුව බලපාන ආකාරයයි. අපරාධකරුවන්ට ඉක්මන් දඬුවම් නොලැබෙන විට ඔවුන් තවත් අපරාධ කිරීමට යොමු විය හැක. තමා අපරාධයක් කළ පසු ඊට නීතිමය වශයෙන් දඬුවමක් නොලැබීමේදී ඔවුන්ට සිතෙන්නේ තමාට මින් කිසිවක් සිදු නොවන බව නම් ඔවුන් නැවත අපරාධයක් කිරීමට හෝ පළිගැනීමට බිය වන්නේ නැත.
ඉතින් මෙම දිනෙන් දින වාර්තා වන තුවක්කු සම්බන්ධ අපරාධ වාර්තාවීම නැවැත්වීමට කුමක් කළ හැකිද? පළමුවෙන්ම කළ යුත්තේ නීති විරෝධී තුවක්කු ලංකාවට ආනයනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ විධිමත් ආකාරයෙන් සොයා බැලීමයි, ඒවා රට තුළට ගෙනෙන්නේ කෙසේද මිනිසුන් ඒවා මිලදී ගන්නේ හෝ ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය. එසේම නීති විරෝධී ලෙස තුවක්කු ළඟ තබා ගන්නන් සහ එමගින් අපරාධ සිදු කරන්නන් නීතියේ රැහැනට ඉක්මනින් හසු කර ගැනීමත් ඒ සඳහා නිසි දඬුවම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමත් අවශ්‍ය වේ. එසේම මාධ්‍ය මගින්ද නිරන්තරයෙන් මෙම තුවක්කු සම්බන්ධ සිදුවීම් වාර්තාකරණය කිරීමෙන් පුද්ගලයන්ට එය සාමාන්‍යකරණය කිරීමෙන් වැළකිය යුතුය. එම සාමාන්‍යකරණය හරහා පුද්ගලයන් තුළ වූ සංවේදීතාවය අඩුවන අතර තවකෙකුට හානි කිරීම පිළිබඳව ඔවුන් තුළ වූ සංවේදී හැඟීම්වලට පළුදුවක් විය හැක. එබැවින් මෙකී කාරණා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
ජනතාවගේ පැත්තෙන් ගතහොත් මේ සඳහා ප්‍රජාවගේ ද ප්‍රබල මැදිහත්වීමක් අවශ්‍ය වේ. නීති විරෝධී හෝ සැලසුම් කරන ලද ප්‍රහාර හෝ අපරාධ පිළිබඳ තමා යමක් දැනගන්නේ නම් ඒ පිළිබඳව තමාගේ ආරක්ෂාවට ගැටලුවක් නොවන ආකාරයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරීම කළ යුතුය. මහජනතාව හා පොලිසිය අතර යහපත් සන්නිවේදනයක් ඇතිකර ගැනීම මගින් අපරාධ අවම කර ගැනීමට උපකාරී වේ. එබැවින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට හා දැනුවත් වීමට වග බලාගත යුතුය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ තුවක්කුව හිංසනය නැවැත්වීමට කාලය හා කණ්ඩායම් ක්‍රියාකාරීත්වය අවශ්‍ය වේ. රජය, පොලිසිය සහ ජනතාව සියලු දෙනා එක්ව වැඩ කරන්නේ නම් මෙකී අපරාධ අවම කර ගනිමින් හිංසනයෙන් තොර ආරක්ෂිත රටක් ගොඩනැඟීමට අපට හැකිවේ. එබැවින් මෙය එක් පුද්ගලයකුගේ කැපවීමෙන් සිදුකළ හැක්කක් නොවේ. ඒ සඳහා සමස්ත ප්‍රජාවගේ දායකත්වය ලැබිය යුතුය.
සේමිණී ශෂිප්‍රභා,
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.