දිවයින පුරා ෂෙඩ් 50 ක් වැහිලා

158

ගමේ ෂෙඩ් එකට ආදරය කරන්න තෙල් ඉවර වුණාම මැවෙන්නේ නෑ – තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

පාරිභෝගික ජනතාවගේ හිරිහැර, පහරදීම්, ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැතිවීම ඇතුළු විවිධ හේතූන් මත දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 50 කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (27 වැනිදා) වනවිට වසා දමා තිබූ බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා “දිවයින”ට පැවැසීය.

කෙසේ වෙතත් තවත් ඉන්ධන පිරවුම් හල් විවෘත කර තිබූ බවත් ඒවාගෙන් පෙට්‍රල් පමණක් ඊයේ දිනයේ නිකුත් කළ බවත් හෙතෙම කීය.

ඩීසල් සහ භූමිතෙල් ඊයේ ඉන්ධන පිරවුම් හල් වෙත නොලැබුණු බවද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් කතා කළ කුසුම් සන්දනායක මහතා මෙසේද කීය.

ඔබේ ගමේ තියෙන ඉන්ධන පිරවුම් හල්වලට ඉස්සෙල්ලාම ආදරය කරන්න. ඉන්ධන ලැබෙන විදිහට හැමෝටම ඉන්ධන ලබාදෙනවා. ඉන්ධන ලබාදීලා ඉවර වුණාම ඒවා මවන් නෑ. ඒ නිසා පාරිභෝගික ජනතාවගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා බොහොම ඉවසීමෙන් වැඩ කරන්න කියලා. ඒ ඉන්ධන පිරවුම්හල් හිමියන් සේවකයන් එක්ක ආරවුල් ඇති කරන්න එපා.

අනිත් එක තමයි ඉන්ධන මිලදී ගන්න වත් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට මුදල් නැහැ. ප්‍රශ්න ගොඩක් මැද්දේ මේ සේවාව කරගෙන යන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මනුස්සකමින් හැසිරෙන්න කියලා අපි ජනතාවගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment