ළමයි පාසල් යන්නෙ සතියට දවස් දෙකයි තුනයි

දුප්පත්කම තුරන් කරනවා වෙනුවට කළේ දුප්පත්කම වවාගෙන කෑමයි

මේ අප ගෙවමින් සිටින්නේ 2024 වසරයි. “අදට වඩා හෙට හොඳයි” යනුවෙන් කියමනක් තිබේ. එම අරුතින් ගෙන බැලුවහොත් 2022 වසරට වඩා 2023 වසර හොඳය. 2023 වසරට වඩා 2024 වසර සුබවාදී වෙතැයි සියලු දෙනාම බලාපොරොත්තු රඳවාගෙන සිටිති. ජනතාව නිදහසින් පසු 75 වසරකටත් අධික කාලයක් මුළුල්ලේම තට්ටු මාරු ක්‍රමයට ප්‍රධාන පක්ෂ දෙකට බලය දුන්නේ අදට වඩා හෙට හොඳ දවසක් නිර්මාණය කර ගැනීමේ අරමුණිනි. නමුත් ජනතාවට මේ දක්වාම හොඳ හෙට දවසක් උදා වූයේ නැත.

කලින් කලට බලයට පැමිණි පාලකයන් ජනතාවට සීනි බෝල ලොසින්ජර පන්නයේ බලාපොරොත්තු දී ඡන්දය ලබාගත්තා මිස ජනතාවගේ දිළිඳු බව තුරන් කිරීමට ක්‍රියා කළේ නැත. රට හදන සෞභාග්‍යයේ දැක්ම, මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්….”ආදී ලෙසින් විවිධ තේමා පාඨ යටතේ පාලකයන් මොනතරම් පැලැස්තර යෙදුවත් ඒවා එකක්වත් සාර්ථක වී නැත.

දුප්පත්කම ඉහළට

අප මේ බව පැවසුවේ නිකම් නොවේ. ඒ අපේ පාලකයන් මේ වසර 75 තුළ කරපු කෙරිල්ලේ රඟ පසුගිය 02 වැනිදා එළිදැක්වුණු නවතම ලෝක බැංකු ප්‍රකාශනය මගින් ඇස් පනාපිට බලාගත හැකිවුණු නිසාය. 2019 වසර වන විට මෙරට දරිද්‍රතාව පැවතියේ 11%ක ප්‍රතිශතයකය. එය 2023 වසර අවසන් වන විට 26% දක්වා වර්ධනය වී ඇත. පාලකයන් ජනතාව දුප්පත්කමෙන් මුදා ගැනීමට කරපු කැපකිරීමේ රඟ මේ වසර හතර පහ තුළ බලාගත හැක. පත් වූ හැම ආණ්ඩුවක්ම දුප්පත්කම තුරන් කිරීමට යැයි පවසා ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම ආදී ලෙසින් ආකර්ෂණීය නම්වලින් කුමන ව්‍යාපෘති ක්‍රියාත්මක කළත් ඒ සියල්ල අසාර්ථක වී ඇති බව මෙම නවතම වාර්තාව මගින් සනාථ වී අවසන්ය.

පටු දේශපාලන වාසි තකා කාලයෙන් කාලයට දේශපාලනඥයන් ජනතාවට නොයෙක් ආකාරයේ නාට්‍ය පෙන්වන බව නම් අපට දකින්නට ලැබේ. මේ දිනවල විකාශය වන නාට්‍ය වන්නේ අස්වැසුම නාට්‍යයයි. එය අවසන් වනවාත් සමඟ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා රුපියල් මිලියන සීය බැගින් වෙන් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නාට්‍ය තිරගතවීමට නියමිතය.

ප්‍රා. ලේ. කොට්ඨාසයකට මිලියන 100ක්

පසුගිය දිනක ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් කැඳවා ඇති ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මන්දගාමී බැවින් ඒවා කඩිනම් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි. ප්‍රවේශ මාර්ග හා වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම මිලියන 100 ලබාදීමට නියමිතය. ජනාධිපතිවරණය ආසන්නයටම පැමිණ ඇති අවස්ථාවක ජනාධිපතිවරයා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 100ක් වෙන් කරන්නේ වෙන කිසිවක් නිසා නොව තනිකරම ඡන්දය ඉලක්ක කරගෙනය. එසේ නොවේනම් මේ තරම් ආර්ථික අර්බුදයෙන් පෙළෙන වකවානුවක පාරවල්, බෝක්කු හදන්නට මෙලෙස මුදල් වෙන් කරන්නේ නැත.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කට ඇරියොත් කියන්නේ රට පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙන් බවයි. ආණ්ඩුව ලෝකයට ණය වී ඇති ප්‍රමාණය රුපියල් ට්‍රිලියන ගණනකි. මේ වන විටත් ලෝකයේ විවිධ රටවලට සහ සංවිධානවලට ඇති ණය ගෙවීම පැහැර හැර වසර දෙකකට ආසන්නය. දරිද්‍රතාව 11% සිට 26% දක්වා වර්ධනය වී තිබේ. එහෙව් අවස්ථාවක නත්තල් සීයා මෙන් ඡන්ද බලාගෙන විවිධ දේශපාලනඥයන්ගේ මනදොල පිරවීමට ඔවුන්ගේ සාක්කුවට මුදල් වැටීමට හැකි ලෙස රුපියල් මිලියන 100 ගණනේ බෙදීම මොනතරම් සාධාරණ දැයි යළි යළිත් සිතා බැලිය යුතුය.

රටක් සංවර්ධනය කිරීම යනු මංමාවත් පාලම් බෝක්කු ඉදිකිරීම පමණක් නොවේ. ඊට පෙර සිදු විය යුත්තේ රටේ ජනතාවගේ දුප්පත්කම නැතිකොට සියලු දෙනා ජීවත් කරවීමයි. සියලු දෙනා කුසගින්නෙන් මුදා ගැනීමයි. මන්දපෝෂණයෙන් ආරක්ෂා කර ගැනීමයි. වත්මන් ජනාධිපතිවරයා මීට පෙර පාලන බලය හොබවන ලද කාලයේ පැවසුවේ 2020 වසර වන විට සංවර්ධිත රටක් නිර්මාණය කරන බවයි. එය මේ වන විට 2048 දක්වා කල්දමා තිබේ. 2048 වන විට දැන් සිටින පාලකයන් කවුරුවත් බලයේ නොසිටින්නට පුළුවන. නමුත් හදනවා යැයි පැවසූ සංවර්ධිත රට වෙනුවට 26% පවතින දරිද්‍රතාව 52% වී තිබීමට නම් පුළුවන.

පසුගියදා එළිදැක්වුණු ලෝක බැංකු වාර්තාව පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගෙන් අප ඒ පිළිබඳ විමසා සිටි අවස්ථාවේ ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.

මන්දගාමී ආර්ථික වර්ධනයක්

“ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරන ලද නවතම වාර්තාවට අනුව මෙම වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධනය 2.2%යි. එය 2025 වසර වන විට 2.5% දක්වාත් 2026 වසර වන විට 3% ක ආර්ථික වර්ධනයකුත් අපේක්ෂිතයි. මේ තුළින් පැහැදිලි වන කරුණ තමයි ඉදිරි වසර තුන තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු වර්ධනයක් සිදු නොවන කාරණය. ආර්ථික වර්ධනයක් සිදු නොවන අවස්ථාවක දරිද්‍රතාව වැනි කාරණා පාලනය කිරීමට හැකියාවක් නැහැ. දරිද්‍රතාව පහත හෙළීමට නම් 8%-10% වැනි ආර්ථික වර්ධනයක් ඉදිරි වසර කිහිපය තුළ එක දිගට පවත්වාගෙන යා යුතුයි. ඒ තුළ සේවා නියුක්තිය ඉහළ නැංවීමත් සමඟ ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කිරීම තුළින් ජනතාව යැපුම් මානසිකත්වයෙන් මුදා සවිබල ගැන්විය යුතුයි. ඒ හරහා පමණයි දරිද්‍රතාව තුරන් කළ හැකි වන්නේ.

ලෝක බැංකුව වගේම ආසියානු සංවර්ධන බැංකුව යන ආයතන දෙක විසින්ම ඉදිරිපත් කර ඇති පුරෝකථනයන්ගේ ලොකු වෙනසක් දකින්නට නැහැ. ඒ දෙකේම පෙන්නුම් කෙරෙන්නේ ලංකාවේ ආර්ථික වර්ධනය ඉදිරි වසර කිහිපය තුළ මන්දගාමී ආකාරයෙන් සිදුවන බවයි.

ඒත් සමගම ලෝක බැංකුව පෙන්වා දෙන තවත් කාරණයක් වන්නේ මේ වසර අවසන් වන විට ලංකාවේ දරිද්‍රතා මට්ටම කුමන ස්ථානයක පවතීවිදයි යන කාරණය. ඒ තුළින් පෙන්නුම් කරන්නේ දෛනික වියදම ඩොලර් 2.15 ට අඩු කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද යන කාරණයයි. මෙම නිර්ණායකය බලපාන්නේ ඉතාමත්ම දුගී රටවල් සඳහා. අප වැනි රටවල් සඳහා භාවිත කරන නිර්ණායකය වන්නේ පහළ මධ්‍යම ආදායම් ලබන රටක් යන වර්ගීකරණයයි. ඒ තුළ පුද්ගලයකුගේ දෛනික වියදම ඩොලර් 3.65 අඩු පුද්ගලයන් කොපමණ සංඛ්‍යාවක් එම රටේ සිටිනවාද යන කාරණය. එය 2024 වසර වන විට 24.8%ක්. සංඛ්‍යාත්මකව එම අගය ලක්ෂ 58ක්. 2025 වසර වන විට 23.2% දක්වාත් එනම් ලක්ෂ 55 කුත් 2026 වසර වන විට 22.2% දක්වා එනම් ලක්ෂ 53 වැනි අගයක් දක්වා පහළ යන බවත් අපේක්ෂා කරනවා.

ලංකාවේ දරිද්‍රතාව පසුගිය වසර කිහිපයේදී ශීඝ්‍ර ලෙස ඉහළ යෑමක් දකින්නට ලැබුණා. ඒ 2022 සහ 2023 වසර තුළදී. එයට හේතුව උද්ධමනයට සාපේක්ෂව ආදායම ඉහළ නොයෑම. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ සමීක්ෂණයට අනුව මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 260,000 වැසී ගියා. ඊට අමතරව ආනයන සීමා පැනවීම තුළ විදෙස් අමුද්‍රව්‍ය මත යැපුණු කර්මාන්ත සඳහා විශාල බලපෑමක් එල්ල වුණා. මේ හේතුව නිසා එම කර්මාන්තවල වියදම ඉහළ ගියත් ආදායමේ වැඩිවීමක් සිදුවුණේ නැහැ. මේ හේතු නිසා විශාල වශයෙන් දරිද්‍රතාව වර්ධනය වුණා. මෙවැනි හේතු නිසා විශාල පිරිසක් රට හැර යෑමේ ප්‍රවණතාවක් දකින්නට ලැබෙනවා”

පසුගිය දෙවසරට ලක්‍ෂ 25ක් රට ගිහින්

මහාචාර්යවරයා පෙන්වා දෙන කරුණු මේ වන වන විට ඇස් පනාපිට සත්‍ය වී තිබේ. පසුගිය වසර දෙක තුළ පමණක් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 25කට අධික පිරිසක් විවිධ හේතු මත රට හැර ගොස් තිබේ. එම පිරිස 2,565,365 දෙනෙකි. එයින් රැකියා සඳහා විදේශගත වී ඇත්තේ 608,925 දෙනෙකි. එම අගය 24% ක ප්‍රමාණයකි.

යමක් කමක් කිරීමේ හැකියාව ඇති දක්ෂතා ඇති පිරිස රට හැර යෑම දරිද්‍රතාව ඉහළ යෑමට තවත් ප්‍රධාන හේතුවකි. යම් ආයතනයක සිටින හොඳම දක්ෂම පිරිස රට ගිය රට හැර ගිය පසු එම ආයතනය කඩා වැටීම කිසිවකුට වැළැක්විය නොහැක. එක පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් රට හරිම නිසා සිය ගණනකගේ අනාගතය තීරණය විය හැක.

එසේම පුද්ගලයන් රට හැර යෑම නිසා කඩාවැටී ඇති තවත් ක්‍ෂේත්‍රයක් වන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍යයයි. මේ හේතුවෙන් රටක අනාගතය වසර ගණනකින් පසුපසට යා හැකිය. රටක් දිළිඳු වීමට බලපාන සමහර කරුණු අද ගන්නා තීන්දු තීරණ නිසා නොව මීට වසර ගණනාවකට පෙර ගත් ඒවා නිසා විය හැක.

දරිද්‍රතාවෙන් පාසල් ගමනටත් අවහිරතා

දුප්පත්කම පැටව් ගහද්දී ළඟ එන ඡන්දෙට මිලියන සීයේ සල්ලි මලු
මහාචාර්ය වසන්ත අතුකෝරල

මහාචාර්යවරයා ඉස්මතු කළ තවත් කාරණයක් වූයේ දරිද්‍රතාව ඉහළ යෑමත් සමඟ ළමුන් පාසල් යැවීම පවා දෙමාපියන්ට විශාල ගැටලුවක් නිර්මාණය කර ඇති බවයි. පාසල් පොත්පත්, ඇඳුම් පැළඳුම්, සපත්තු මේස් ආදී වාර්ෂිකව වියදම් කරන මුදලට අමතරව ගම්බද ළමයෙක් පාසල් යැවීමට කෑම බීම හා ප්‍රවාහන වියදම් සඳහා අවම වශයෙන් දිනකට රුපියල් 150-200 කට ආසන්න මුදලකුත් නාගරික ළමයෙකුට දිනකට රුපියල් 500කට ආසන්න මුදලකුත් වැය වෙතැයි 2023 වසරේ සිදුකළ සමීක්ෂණයකින් හෙළිවූ බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. මේ හේතුවෙන් සමහර ළමුන් සතියේ දින පහෙන් දින දෙකක් හෝ තුනක් පමණක් පාසල් ගිය අවස්ථා රැසක් වාර්තා වූ බවද ප්‍රකාශ කළේය. ඒ දෙමාපියන්ට එම වියදම් දරා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

දරිද්‍රතාව තුරන් කිරීමට යැයි පවසා පත්වූ හැම ආණ්ඩුවක්ම විවිධ ක්‍රියාමාර්ග ගත්හ. විවිධ නම්වලින් පැමිණි එම වැඩපිළිවෙළ පිළිබඳ මහාචාර්යවරයාගෙන් විමසා සිටි විට ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.

මේ දක්වා ලංකාවේ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ දක්වා ක්‍රියාත්මක වුණේ දරිද්‍රතාව තුරන් කරනවා වෙනුවට දරිද්‍රතාව පවත්වාගෙන යෑම සඳහා වන වැඩපිළිවෙළයි. එසේම ජනසවිය, සමෘද්ධිය හා අස්වැසුම වැනි වැඩපිළිවෙළ හරහා ප්‍රතිලාභ වැඩිපුරම හිමි වුණේ ලැබිය යුත්තන්ට වඩා නොලැබිය යුත්තන්ටයි. ඒ නිසයි මේ දක්වා ලංකාවේ දරිද්‍රතාව තුරන් කරන්නට බැරි වුණේ.

සමාජයක් තුළ සිදුවිය යුත්තේ දිනපතා ජීවත්වීමට මුදල් හෝ භාණ්ඩ ලබාදීම නොව සමාජයේ සවිබලගැන්වීමයි. ඔවුන් ආර්ථිකයට සක්‍රීයව දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. මෙතෙක් කාලයක් ක්‍රියාත්මක වූ එකදු වැඩසටහනකින් හෝ එවැනි ආකාරයේ සමාජ සවිබලගැන්වීමක් සිදුවී නැහැ. සමෘද්ධි ව්‍යාපාරය තුළින් මිලියන 1.7 කට සහන සැලසුවා. අස්වැසුමත් ලක්ෂ විස්සකට ආසන්න පිරිසකට ලබා දෙනවා. නමුත් ආණ්ඩුව වියදම් කරන ප්‍රමාණයට ඉන් ප්‍රතිලාභ ලබන ආකාරයක් දකින්නට නැහැ.

රටක සිටින ආබාධිත, වැඩිහිටි මෙන්ම වැඩ කළ නොහැකි පිරිසට රැකවරණයක් හිමිවිය යුතුයි. නමුත් අතපය හොඳින් තිබෙන පිරිසට මෙලෙස විවිධ ප්‍රතිලාභ හිමිවීම තුළින් සිදුවන්නේ ඔවුන් තවත් කුසීතයන් වී තව තවත් දරිද්‍රතාව ඉහළ යෑමයි. ගම් නගරවල වතුපිටිවල ඇති විවිධ කටයුතුවල විශාල පුරප්පාඩුවක් පැවතියත් ඒ සඳහා ජනතාව හිඟ වී ඇත්තේ විවිධ දේ මත යැපුම් මානසිකත්වය නිසයි. මේ නිසා ඔවුන් සක්‍රීයව ආර්ථිකයට දායක වන්නේ නැහැ. මෙම තත්ත්වය පවතින තාක් දරිද්‍රතාවට පිළියම් සෙවිය නොහැකියි.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු දරිද්‍රතාව ඉහළ යෑමට හේතුවක් දැයි අප මහාචාර්යවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ නරක ලක්ෂණ නැතත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලු පැන නැගී ඇති බවයි. බදු නොගෙවන පුද්ගලයන් හඳුනාගැනීම මෙන්ම බදු ජාලය ශක්තිමත් කර රජයේ ආදායම වර්ධනය කරගත යුතු බවත් එසේ නොවන විට සිදුවන්නේ දුප්පත් මිනිසා භාවිත කරන භාණ්ඩ මත පවා බදු පැනවීම බවත් මහාචාර්යවරයා පැවසීය.

ලෝක බැංකුව ඉදිරිපත්කළ වාර්තාවේ සඳහන් තවත් කරුණක් වන්නේ මෙරට දුප්පත්කම අඩු වීම ඉතා සෙමින් සිදුවන බවයි. 2026 වසර වන විටත් අඩුවෙතැයි පුරෝකථනය කොට ඇති දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 5ක් වැනි පිරිසකි. මෙරට පවුල්වලින් 60%ක පමණ ආදායම පහළගොස් ඇතැයිද ලෝකබැංකු වාර්තා වේ දැක්වේ. මේ වන විට ආණ්ඩුව විසින් විටින් විට පනවන විවිධ බදු මෙන්ම ඉහළ දමන බිල් නිසා දුප්පත්කම අඩුවීම වෙනුවට තවත් දුප්පතුන් වැඩිවීමට නම් පුළුවන.

අඩු වූ ජනගහනය

බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම ප්‍රකාශ කළේ දුප්පතුන් නැති සමාජයක් බිහිකරන බවයි. නමුත් අපට නම් පෙනෙන්නේ ආණ්ඩු විසින් දුප්පතුන් නැති සමාජයක් බිහි කිරීමට සූදානම් වන්නේ දුප්පතුන් නැත්තටම නැති කිරීමෙන් පසුව බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෝ පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ වාර්ෂික වාර්තාවට අනුව මෙරට ජනගහනය මිලියන 22.037 දක්වා සියයට 0.6 කින් පහත වැටී ඇත. ජන ඝනත්වයද වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 354 සිට 351 දක්වා පහත වැටී ඇත.

ජනතාව විසින් උපදින ළමයිනුත් කන්න බොන්න නැතිව හාමතේ දුක් විඳීවි යැයි සිතා ළමුන් හැදීම අඩුකර තිබේ. මේවනවිට මෙරට උපත් අනුපාතය ද පහත වැටී ඇත. එසේම 2022 වසරේදී මිලියන 8.547 ක් වූ මෙරට ආර්ථිකයට සක්‍රීයව දායක වන පිරිස 2023 වර්ෂය වන විට මිලියන 8.408 දක්වා පහත වැටී ඇත.

අප ජනතා අදහස් විමසා බැලීමටද තීරණය කළේ ජනතාව සැබැවින්ම දරිද්‍රතාවයට පත්ව ඇතිදැයි දැනගැනීමේ අරමුණිනි.

ප්‍රියන්න චන්ද්‍රසේකර මහතා අපට හමු වූයේ පසුගියදා ගෑස්පහ ප්‍රදේශයේ වෙනත් කාර්යයකට ගිය අවස්ථාවේදීය. ඔහු හා කතාබහ කිරීමේදී ඔහු ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.

මම පොඩි කඩයක් පවත්වාගෙන යන්නේ. මේ අද ආවෙත් කඩේට අවශ්‍ය බඩු ටිකක් අරන් යන්න. දැන් ඉස්සර වගේ නෙවෙයි වෙනදා රුපියල් විසි තිස් දාහකින් ගන්න බඩු ටික ගන්න දැන් රුපියල් හැට හැත්ත දාහක් වියදම් කරන්න වෙලා. ඒවා ආපහු සල්ලි කරගන්න ලොකු වෙහෙසක් ගන්න ඕන. මිනිස්සු බඩු ගන්න බලන්නෙම ණයට. ණයට දීලත් බැහැ නොදිත් බැහැ. මිනිස්සු අතේ දැන් සල්ලි ගැවසෙන්නේ නැහැ. වෙනදා කිලෝ ගණන් ගත්ත බඩු දැන් ගන්නෙ ග්‍රෑම් 50-100 වගේ පොඩ්ඩ පොඩ්ඩ. ණයට ගත්ත සමහරු දැන් කඩේ පැත්ත පළාතේ එන්නෙත් නැහැ. උන්ව අල්ලන්න දැල් දාන්න වෙලා. අපිත් දැන් බිස්නස් එක කරගෙන යන්නේ බොහොම අමාරුවෙන්.

මීළඟට අදහස් දැක්වූයේ එච්. ඩී. සරත් මහතායි.

ඔහු ආරක්ෂක හමුදාවක සේවය කොට විශ්‍රාමලත් පුද්ගලයෙකි. ඔහු ප්‍රකාශ කළේ තමන් වසර 22ක් සේවය කොට විශ්‍රාම ගොස් තවම මාස දෙකක් තුනක් වැනි කාලයක් බවයි. තවමත් විශ්‍රාම වැටුප සකස් වී නොමැති නිසා බිරිඳ සහ ළමුන් තිදෙනා සහ තම දෙමාපියන් සමඟ මේ දිනවල ඉතා දුෂ්කර දිවි පෙවෙතක් ගත කරන බවයි. ළමුන්ගේ පාසල් කටයුතු සඳහා මෙන්ම තම දෙමාපියන්ගේ ඕනෑ එපාකම් ඇතුළු හත් දෙනකුගේ පමණ බර තමන්ගේ කරපිටට වැටී ඇති බව සරත් මහතා පැවසුවේ විශ්‍රාම වැටුප හෝ ඉක්මනින් ලැබෙනවා නම් එය යම් තරමකින් හෝ මේ අවස්ථාවේ පිටිවහලක් වන බව පවසමිනි. වෙනත් ආදායම් මාර්ග කිසිවක් නොමැති නිසා මේ දිනවල අතට අහුවෙන ඕනෑම කුලී වැඩක් පවා කිරීමට තමාට සිදුව ඇති බව ඒ මහතා පැවසුවේ අතේ ඇති කරගැට පවා අපට පෙන්වමිනි.

මීළඟට අපට හමු වූයේ අලුතෙන් පත්වීම් ලද ගුරුවරියකි. ඇය නමින් භාග්‍යයා සඳමාලිය. ඇය පසුගිය වසරේ අග විවාහ වුණු බවත් දැනට තමන් පදිංචි නිවසේ සිට ලැබී ඇති පාසලට යෑමට ඒමට දිනකට රුපියල් 500 කට අධික මුදලක් වැය වන බවත්ය. දැනට ගෙවනු ලබන සොච්චම් වැටුප බස් ගාස්තුවට වැය වූ පසු ජීවත්වීමට අතේ මුදලක් ඉතිරි නොවන බව ඇය ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ගේ තරම කියාපාමිනි.

රාජ්‍ය සේවකයන් ඇතුළු සියලු දෙනාම මේ වන විට ගෙවමින් පවතින්නේ අන්ත දුක්ඛිත ජීවිතයකි. සෑම පුද්ගලයකුටම තමන් ලබන වැටුප මෙන් දෙතුන් ගුණයක වියදමක් පවතී. ජනතාව දස අතේ කල්පනා කරන්නේ අද කෑවොත් හෙට කන්නේ කෙසේද කියාය. නමුත් පාලකයන් නොයෙක් නොයෙක් ලස්සන වචන යොදමින් ළඟ එන මැතිවරණයට සූදානම් වන බව නම් පෙනේ. ජනතාවට පුස්කාපු සහල් බෙදිල්ල මෙන්ම කම්කරු දිනයේදී දුන් පොරොන්දු ගොන්නද තවත් ඡන්ද පොරොන්දුවක් මිස දුප්පත්කම තුරන් කරන්නට ගන්නා ක්‍රියාමාර්ගයන් නොවේ.

දුප්පත්කම පැටව් ගහද්දී ළඟ එන ඡන්දෙට මිලියන සීයේ සල්ලි මලු

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment