දුම්වැටි නිසා වසරකට විසිදාහකට අධික පිරිසක් අකාලයේ මැරෙනවා – ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක

14

දුම්මැටි භාවිතය හේතුවෙන් වසරකට මේ රටේ පුද්ගලයන් පහළොස්දහසකට, විසිදහසකට අධික සංඛ්‍යාවක් මියයන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

දුම්වැටි භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 40 දෙනකු පමණ මියයන බව ද ඒ මහතා සඳහන් කළේය.

මැයි 31 වැනිදාට යෙදෙන ලෝක දුම්වැටි නිවාරණ දිනය නිමිතිකරගෙන පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී ඔහු එසේ කියා සිටියේය.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය.

වසරකට රිය අනතුරුවලින් පුද්ගලයන් 2500ක් විතර මියයනවා. ඒ මියයන ගණනටත් වඩා දුම්වැටි භාවිතය නිසා මියයන පුද්ගලයන් 15,000කටත් වැඩියි. දුම්කොළ කියන සාධකය නිසා මියයන සංඛ්‍යාව වැඩිවෙලා. මේ තුළින් වන හානිය වැඩි වැඩියෙන් මාධ්‍ය තුළින් ප්‍රචාරය කිරීම වැදගත්. දුම්කොළ සමාගම්වලින් සිදුකරන සූක්‍ෂ්ම උපක්‍රම වලින් බේරාගන්න විදිහ ඉගෙනගත යුතුයි. පුද්ගලයන් මේ සඳහා පොලඹවා ගන්න දුම්කොළ සමාගම් විවිධ ප්‍රචාරක කටයුතු කරනවා. ඒ වගේම එම සමාගම් සමාජ මාධ්‍ය තුළිනුත් විවිධ ප්‍රචාරයන් ගෙනයනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිමය බාධාවන් ද තියෙනවා.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ සම්පත් ද සේරම් මහතා

ගතවූ පසුගිය වසර 10ක කාලය තුළ දුම්වැටි භාවිතය සියයට හැටකින් පහත බැහැලා. අපේ ආයතනය ඇතුළු තවත් සංවිධාන සහ මාධ්‍ය ආයතන දුම්වැටි භාවිතයේ අහිතකර පැත්ත ගැන නිරන්තරයෙන්ම දැනුවත් කිරීම නිසා දුම්වැටි භාවිතා කරන පිරිස අද අඩුවෙලා තියෙනවා.

දුම්වැටි භාවිතය නිසා මේ රටට සිදුවන ආර්ථික පාඩුව රුපියල් බිලියන 215ක්. ඒ නිසා නිරන්තරයෙන්ම මේ ගැන මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කිරීම වැදගත්.

මෙම මාධ්‍ය හමුවේදී වෙරිටේ පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය නිශාන් ද මෙල්, කැලණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය, දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ සංස්කාරක වෛද්‍ය මනුජා පෙරේරා, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිත, දුම්කොළ, මද්‍යසාර සහ නීතිවිරොධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ වෛද්‍ය සජීව රණවීර යන මහත්ම මහත්මීහු ද කතා කළහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූප – ධර්මසේන වැලිපිටිය


advertistmentadvertistment