වෙනස අතිවිඳගන්නට මඩු වනය මැදින් සීදුවිනයාගර්කුලම් දක්වා ගිය ගමනක්
සාම්ප්‍රදායක ලංකා සිතියමේ මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙක නම්කරන ලද්දේ ‘ශුෂ්ක කලාප’ නමිනි. අමතරව තෙත් කලාපයක් සහ පුළුල් වියළි කලාපයක් ද එහි විය. එනමුත් මේ සාම්ප්‍රදායක දේශගුණික කලාප සිතියම ‘දේශගුණික විපර්යාස’ නම් ගෝලීය ක්‍රියාවලිය මගින් දැන් වෙනස් කර ඇති බව අප සක්සුදක්සේ දනිමු. ඒ දේශගුණික විපර්යාස නම් ක්‍රියාවලියේ අතුරු විපාක වසර ගණනාවක සිට අප අත්දකිමින් සිටින නිසාය. සැබැවින්ම දැන් තෙත් සහ වියළි කලාප මෙන් නොව ශුෂ්ක කලාපයක් ශ්‍රී ලංකා සිතියමේ සලකුණු කිරීම කොතරම් සාධාරණ එකක් දැයි අපට පසක් වන්නේ මන්නාරම සහ වැඩිමනත් හම්බන්තොට, මොනරාගල වැනි එකල ශුෂ්ක ලක්ෂණ දැරූ ප්‍රදේශ පිළිබඳව වඩාත් හොඳින් දැන් ‘දේශගුණික විපර්යාස’ අධ්‍යයනයක් කළ පසුවය.
සැබැවින්ම මෙම ‘දේශගුණික අධ්‍යයනය’ දැනටමත් සිදුකරනු ලැබ ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රය මගිනි. එනම්, මන්නාරම සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙක සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනයක් සිදුකර, ඒ සඳහා ප්‍රදේශයේ නිලධාරීන් සහ ජනතාව දැනුවත් කිරීමට අමතරව, කෘෂිකර්මාන්තය ඇතුළු ගම්මාන වැසියන්ගේ ජීවනෝපාය මාර්ග පිළිබඳව අලුතින් සිතා කටයුතු කිරීම, අවදානමට සහ ආපදාවට අනුහුරු කරවීමේ උපායන් සහ ක්‍රියාදාමයන් සාක්ෂාත් කිරීම සඳහා කටයුතු කිරීම වැනි පුළුල් දේශගුණික විපර්යාස කතිකාවතක් නිර්මාණය කිරීම මෙම සංවිධානය මගින් සිදුකරගෙන යනු ලබයි. එසේම, මේ සඳහා වැදගත් වාර්තාවක් ද (මන්නාරමට සහ මොනරාගලට වෙන් වෙන් වශයෙන් වාර්තා දෙකක්) පිළියෙල කර තිබේ. දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීම අවසාන වශයෙන් මෙහි දක්වා ඇත.
මෙම ව්‍යාපෘතීන් ද්විත්වය නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය කාලයේ අපි මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන කිහිපයක සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වෙඩිතලතිව් හි මාන්තෙයි වෙස්ට් (උතුර) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන කිහිපයක සංචාරය කළෙමු. එම නිරීක්ෂණ සංචාරවලදී අප අත්දුටු කාරණා වූයේ තවදුරටත් මන්නාරම සහ මොනරාගල ප්‍රදේශ සාම්ප්‍රදායක වියළි හෝ ශුෂ්ක ලක්ෂණ දරනවාට වඩා දේශගුණික විපර්යාසයන්ගේ ආන්තික ලක්ෂණවලින් පීඩා විඳින බව සහ අක්‍රමවත් දේශගුණික රටාවන් නිසා වගා කාලසටහන් පවා වෙනස් කරන්නට සිදුව ඇති බවකි.
සැබැවින්ම මෙම ප්‍රදේශවලට කාලාන්තරයක සිට පැවති වගා කාලසටහනක් (රටාවක්) පැවතින. ඒ සියල්ල අද උඩු-යටිකුරු වී ඇත. කොටින්ම දැඩි ලෙස ශුෂ්ක ලක්ෂණ දැරූ තලෙයිමන්නාරම ද ඇතුළත් මන්නාරම දූපත පසුගිය වසර කිහිපය තුළ පැවතියේ දැඩි ගංවතුර තත්ත්වයක් මැද ය. මේ වන විට මන්නාරම, පේසාලේ, තලෙයිමන්නාරම ප්‍රදේශ බැස නොයන ගංවතුර තර්ජනයකට ලක්ව ඇති අතර, මේ නිසා එහි ජන ජීවිතය කඩා වැටී ඇත. නොහොත් පැවති දේශගුණික තත්ත්වයට අනුහුරු වී සිටි ජනයාට මෙම අලුත් වෙනස සහ ආපදාවක් බවට පත්වී ජීවනෝපාය ඇතුළු යටිතල පහසුකම් අවුල් ජාලාවක් බවට පත්ව ඇත. එහි ඇති බරපතල තත්ත්වය නම් මෙම අලුත් වෙනස නොහොත් විපර්යාසය එහි ජනයාට පහසුවෙන්, ලේසියෙන් කළමනාකරණය කරගැනීමට නොහැකිවීම සහ ඊට මුහුණදීමට ඇති අපහසුතාවයි. නොහොත් ඔවුහු උපන් බිමේ අනාථයින් පිරිසක් බවට පත්ව සිටිති. මේ වූ කලී ‘දේශගුණික අනාථයින්ගේ’ ආගමනයයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහකළුගොල්ල සහ පල්ලේගම ග්‍රාම නිලධාරි වසම්හි ගොවි සමිති 5 ක නිරීක්ෂණ චාරිකාවෙන් පසු අප මන්නාරමට ගියේ එහි මෙවන් පාරිසරික තත්ත්වයක් මධ්‍යයේය. පරිසර යුක්ති කේන්ද්‍රයේ (Centre For Environment Justice) විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ, එම මාධ්‍ය නිලධාරී රන්ජන් කරුණානායක, එම මන්නාරම දේශගුණික විපර්යාස ව්‍යාපෘති නිලධාරිනී තුෂ්‍යන්දිනී නාගරාසා සමග මන්නාරමට ගිය ගමනේදී අප පළමුව ගියේ මාන්තෙයි වෙස්ට් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙඩිතලතිව්-කායනගර් ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ‘ඊචලවක්කෙයි’ ගම්මානය වෙතට ය. පවුල් 180 කින් සමන්විත මෙම ගම්මානයේ ක්‍රියාවට නැගෙන දේශගුණික විපර්යාස අනුහුරුවීමේ ව්‍යාපෘතිය අප එහි සාකච්ඡාවට බඳුන් කරන ලද්දේ එහි ග්‍රාම නිලධාරී ෂාහීන්, කායානගර් සහ ඊචලවක්කෙයි ග්‍රාම නිලධාරී වසම්හි සමෘද්ධි නිලධාරී ශාරුක් යන අයද සමගය. මෙහිදී අදහස් දැක්වූ එම ගම්මානයේ ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් රමේෂ් වසුන්දරා දේවී සහ එම ගම්මානයේ කාන්තා සංවර්ධන සංගමයේ ලේකම් විග්නේශ්වරම් පවානි යන අය කියා සිටියේ ගම්මානයේ පවුල් 180 න් 100 ක් පමණ නිරන්තර ජල ගැලීම්වලට ලක්වන බවයි. එසේම, අධික වර්ෂාව සහ නියං තත්ත්ව දෙකෙන්ම කාලය අනුව තම වගා විනාශ වෙමින් පවතින බව ඔවුහු කියා සිටිති. මෙම අවිනිශ්චිත වගා විනාශය තම එදිනෙදා ජන ජීවිතයට විශාල තර්ජනයක් බව ද ඔවුහු කියති. තමන්ට වසරක් ජීවත්වීම සඳහා වගා ආදායම ලැබෙන ගොවිතැන අනපේක්ෂිත ලෙස විනාශව යන්නේ නම්, එය තම පවුලේ ජීවිකාව ගෙන යෑම සඳහා ඉතා නරක අයුරින් බලපාන බවද ඔවුහු කියති.
“මන්නාරම කියන්නේ ඉස්සර වියළි ප්‍රදේශයක්. මාස් වැස්සට අපි හේන් වගාව, වී වගාව කළා. අනිත් කාලයට තවත් බෝගවර්ග වගා කළා. අප්‍රේල්-නොවැම්බර් අතර කාලයේ තමයි අපි ඒ වගාවල අස්වනු ගත්තේ. නමුත් ගිය වසරේ සැප්තැම්බර් මාසේ ඉඳල නොවැම්බර්-දෙසැම්බර්-ජනවාරි දක්වා විතරක් නෙමෙයි පෙබරවාරි-මාර්තු දක්වාත් වැසි ලැබෙනවා. ඉතිං වගාවක් කරන්න අමාරුයි. කාලයක් තීරණය කරන්න අමාරුයි. වැස්ස-නියඟය නිසා එකපැත්තකින් වගා විනාශ වෙනවා. තව පැත්තකින් හරක් කඩාගෙන වගාවට පැනලා විනාශ කරනවා. අලි පැනලා වගා විනාශ කරනවා වගේම මිනිස් ජීවිත විනාශ කරනවා. මේ ගම් පළාතේ පහුගිය අවුරුද්දේ මිනිස්සු දෙන්නෙක් අලි ගහලා මැරුණා. ඒ මදිවට වල් ඌරන්, මොනරුන්, දඬුලේනුන්, රිළවුන්, වඳුරන් වගාව වනසනවා. අපි බොන්න වතුර හොයාගෙන කිලෝමීටර් දෙකක් විතර යන්න ඕන. නාන්න නම් වැව්වලට යනවා. කොහොම හරි මේ දේශගුණික විපර්යාසය කියන්නෙ මොකක්ද, ඒවායේ බලපෑම කොහොමද සිදුවන්නේ, අපි වගේ ගොවිතැන් කරන ඇයට සිදුවන බලපෑම, ආපදා-අනතුරු ගැන පරිසර යුක්ති කේන්ද්‍රයේ ව්‍යාපෘති නිලධාරීන් අපට හොඳින් කියලා දුන්නා. අපි ඒ කතා ගමට කියා දෙනවා විතරක් නෙමේ ඔවුන් කියන විදිහට වගා කරන්න පටන් ගත්තා. වතුර අඩු වේලාවට කොහොමද වගා කරන්නේ, වතුර වැඩි කාලයට කොහොමද වගා කරන්නේ වගේ දේවල් පුහුණු වුණා. ඒවා අපි දැන් සිදුකරනවා. ඒවායේ ප්‍රතිපල ලබනවා. පුහුණුව ලබන්න ඈත ප්‍රදේශවලට ගියා. ඒ අත්දැකීම් ලබාගත්තා. පොලිතින්-ප්ලාස්ටික් භාවිතය අඩුකරලා, කෘෂි රසායන අඩුකරලා ඒ වෙනුවට පරිසර හිතකාමී යෙදවුම් මගින් අපි දැන් වගාව කරගෙන යනවා. වහින කාලයට උස් පාත්ති සහ වැටි වගාව යොදාගෙන ලොකු ලූනු, තක්කාලි, වම්බටු, මිරිස්, රටකජු වගාව කරනවා. ඒ වගේම කෘෂි, ප්‍රථමාධාර, ඉඩම් සැකසීම, ප්ලාස්ටික් භාවිතය සහ දැවීම අවම කිරීම, නීතිය යනාදී කාරණා පිළිබඳව අප මේ ව්‍යාපෘතිය මගින් ඉගෙන ගත්තා” යැයි රමේෂ් වසුන්දරා දේවී සහ විග්නේශ්වරම් පවානි ඇතුළු රැස්ව සිටි අය අප සමග පැවසූහ.
මෙවන් කතාබහ සහ නිරීක්ෂණ මැද ඊචලවක්කෙයි ගම්මානයේ චාරිකාව නිමාවූ අතර, තවත් ගම්මාන දෙකක ක්‍රියාත්මක වැඩසටහන් බලන්නට අප පිටත්ව ගියේ වෙඩිතලතිව් ප්‍රදේශයේ සිට මඩු කැලෑව මැදින් කිලිනොච්චි දෙසට වැටී ඇති අවසන් ගම්මාන දෙකේ තත්ත්වය සොයා බලන්නටය. පරිසර යුක්ති කේන්ද්‍රයේ මන්නාරම ව්‍යාපෘති නිලධාරී තුෂ්‍යන්දිනී නාගරාසා මෙනවියගේ කැපවීම මත ක්‍රියාවට නැගෙන මෙම ගම්මාන දෙකේ දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීමේ වැඩසටහන සඳහා අප ගමන් ගත්තේ මහත් ප්‍රබෝධයකිනි. එනම්, කිසිදා පය තබා නොතිබුණු ප්‍රදේශයක් වූ මෙම මඩු වනාන්තර ප්‍රදේශයේ පිහිටි ගම්මාන සැබැවින්ම වනගත ගම්මාන ලෙස හැඳින්වීම නිවැරදිය. ගූගල් සිතියම පිරික්සීමේදී මඩු යෝධ වැවට උතුරින් පිහිටි මෙම ගම්මානවල සිට යෝධ වැවට කිලෝමීටර් 8 කට වඩා අඩුවක් පෙන්නුවේ නැත. මෙම ගම්මාන දෙක නමින් ‘කූරායි’ සහ ‘සීදුවිනයාගර්කුලම්’ නම් වේ. මාන්තෙයි වෙස්ට් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතටම ගැනෙන මෙම ගම්මාන අඩුම තරමින් කිලෝමීටර් 55-60 ක්වත් මන්නාරම් නගරයට දුරින් පිහිටා ඇත.
පළමුව මුණගැසෙන කූරායි ගම පසුකර අනතුරුව අප පැමිණියේ වනාන්තරය අද්දරම අවසානයට පිහිටි ‘සීදුවිනයාගර්කුලම්’ වෙතය. ‘පරංගියා ආරු’ නමැති ඔයට පහළින් පිහිටා ඇති මෙම ගම්මාන වැසියන් ප්‍රධාන වශයෙන් ගොවිතැනින් ජීවිකාව ගෙන යන අතර, ප්‍රධාන වශයෙන්ම අමු මිරිස් වගාව සිදුකරන මෙහි ඵලදාව රැගෙන යන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙතය. මෙහි සිට සතියකට රුපියල් ලක්ෂ 10 ක අමු මිරිස් අස්වැන්නක් ලොරි මගින් දඹුල්ලට රැගෙන යන බව ගොවි තරුණයකු වන වයිකාන්තන් පැවසීය. වට්ටක්කා. බටු, මිරිස්, බීට් වැනි එළවළු වර්ග ද වගා කරන බව ඔහු පැවසීය. නමුත් ප්‍රශ්නයක්ව ඇත්තේ මාර්ග පහසුකම් බව ඔහු පවසයි. මන්ද, මාර්ගය කැඩී වළවල් මතුවීමත්, කූරායි වැව් බැම්ම මතින් බර වාහන ගෙනයෑමට ඇති බාධාව නිසා නව විකල්ප පාරක් කපන්නට සිදුව තිබීමත් ප්‍රශ්නයක් බව ගොවීහු පවසති. මාර්ග අර්බුදය නිසා මන්නාරම සිට 2010 සිට ආරම්භ කළ බස් රථ සේවය දැන් වැඩනොකරන බවද ගම්මු පවසන්නේ දැඩි සංවේගයකිනි. මේ නිසා දැඩි දුෂ්කරතාවක් විඳගනිමින් ඔවුහු මන්නාරම නගරයට පැමිණෙති. පවුල් 52 ක් දිවිගෙවන මෙම ගම්මානය 1977 වසරේදී උඩරට දමිළ ජනයා පදිංචි කිරීමෙන් ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.
කෙසේ හෝ පරංගියා ආරු ඔයෙන් වතුර ගෙන වගාකටයුතු සිදුකරන මේ ගම වැසියෝ වසරේ අභියෝග දෙකකට මුහුණ දෙති. එනම්, වර්තමානය වන විට වගා බිම් යටකරමින් වසරේ මුල් මාස කිහිපය පරංගියා ආරු දෙගොඩ තලා ගලා යාමය. අතීතයේ එසේ නොවූවත් වර්තමානයේ එසේ ඔය පිටාර ගලන වාර ගණන වැඩිවී ඇත. මේ නිසා වගා හානියට අමතරව නිවාස ද ජලයෙන් යටවේ. අනෙක් කරුණ නම් අගෝස්තු මාසයේ පමණ සිට තවත් මාස තුන හතරක් පවතින උග්‍ර නියඟයයි. මේ නිසා ගමේ සිට මීටර් 500-600 ක් දුරින් පිහිටි ආරුවේ මැද වළවල් හාරා වතුර ලබාගන්නට වෙහෙසේ. මාර්ගය කැඩෙන්නට සහ ආරුවේ වළවල් හාරන්නට පරංගියා ආරුවේ සිදුකරන අනවසර වැලි කැණීම ද එක හේතුවක් බව අපට මෙහිදී කනින් කොණින් අසන්නට ලැබිණි. ඒ කෙසේ වෙතත් වසරේ එක කලකට පවතින ජල හිඟයට පිළියමක් ලෙස සහ කෘෂිකර්මාන්තය විධිමත් කරන්නට මේ ගම වැසියන්ට “දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය- Climate Smart Agriculture” මෙම දේශගුණික ව්‍යාපෘතිය යටතේ හඳුන්වා දුන් බව ව්‍යාපෘති නිලධාරීනී තුෂ්‍යන්දිනී නාගරාසා මෙනවිය පවසන්නීය.
“අපි ගම තෝරාගත් පසු ගමේ අය ඉල්ලුවේ වගා කරන්න වතුර ඕන කියලා. ඒකට පිළියමත් එයාලා කිව්වා. මීටර් 600 ක් දුරින් තියන ආරුවෙන් වතුර අරං ඇවිත් ටැංකියක ගබඩා කරලා පසුව අක්කර කාලක් බැගින් ඉඩම්වලට වගා කරන්න වතුර බෙදල දෙන විදහක් තමයි මේ මූලික ක්‍රමවේදය වුණේ. ජීව වැටක්, කාබනික පොහොර සහ පරිසර හිතකාමී කෘමි විකර්ශක සහිත වස විස නැති ගොවිතැනක්, සූර්ය බල ශක්තියෙන් පණගැන්වෙන වතුර මෝටරයක් සහ පැනල මේවා තමයි මූලික අංග. ඒ වගේම බින්දු සහ විසිරුම් ජල තාක්ෂණ භාවිතය මගින් ජල අරපිරිමැස්ම සහ කාර්යක්ෂමතාව තියෙන්නත් ඕන. ඒ අනුව අපි ලක්ෂ 15 ක පමණ වියදමෙන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල-නළ සේවාවක් තමයි ක්‍රියාත්මක කරන්නේ.
මේ අප්‍රේල් වන විට ව්‍යාපෘතිය අවසන් කරන්න ඕන. අදාළ සියලු, මූලික කටයුතු දැන් අපි කරලා, ගිවිසුම් අත්සන් කරලා, ජනතාව දැනුවත් කරලා, ජනතාව පුහුණු කරවලා දැන් අවසානයි” තුෂ්‍යන්දිනී නාගරාසා මෙනවිය කියන්නීය.
උපරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ මහතා අදහස් දක්වමින් කියන්නේ මෙවන් කතාවකි. දේශගුණික විපර්යාසවලට අනුහුරුවීම පිළිබඳ ව්‍යාපෘතියට අයත් මන්නාරම සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙකේම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම අපි කරලා අවසානයි. මන්නාරමේත් එය සම්පූර්ණ කළා. එසේම මෙහි ගම්මාන තුනක් අපි තෝරාගත්තා. ඉන් ‘සීදුවිනයාගර්කුලම්’ කියන්නේ අතිශය දුෂ්කර ගම්මානයක්. අපි ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සූර්ය බල පද්ධතියකින් ක්‍රියාත්මක ජල සැපයුම් පද්ධතියක් තමයි මේ ගමේ සිදුවන්නේ. එය දේශගුණික ස්මාර්ට් කෘෂිකර්මාන්තය ලෙසයි අප හඳුන්වන්නේ.
පවුල් 52 ක භාවිතය සඳහා රුපියල් ලක්ෂ 15 ක වියදමෙන් සූර්ය බල පද්ධතියක් මගින් මෙහිදී ජලය ලබාදෙනවා. සුහුරු කෘෂිකර්මාන්තය ක්‍රියාත්මක කරන්නේ අලුත් සංකල්පයකට අනුව. අපි හිතනවා එය සාර්ථක ක්‍රියාදාමයක් කියලා. ජනයාගේ කැපවීමයි මෙහිදී වැදගත් වෙන්නේ. ඔවුන් දැනටමත් ජාතික ආර්ථිකයට ලොකු දායකත්වයක් දෙන ජන පිරිසක්, වගේම ආන්තික දේශගුණික තත්ත්වයන් දෙකකින් බැටකන පිරිසක්. ඒ සඳහා අනුහුරුවීම අප මෙහිදී ක්‍රියාත්මක කරනවා” යැයි පාත්‍රාගොඩ මහතා පැවසීය.
ගමේ ගොවි තරුණන් රැසක් සහභාගි වූ මෙම නිරීක්ෂණ චාරිකාවේ දී ඔවුන් කියා සිටියේ ජල ප්‍රශ්නයට මෙන්ම මාර්ග ප්‍රශ්නයට ද විසඳුම් බලාපොරොත්තු වන බවයි. එසේම නවතා දමන ලද බස් රථය ලබාදෙන ලෙසද, වැව් කණ්ඩියට පහළින් ස්ථිර මාර්ගයක් ලබාදෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
සැරිසර – ජගත් කණහැරආරච්චි
ඡායාරූප –
රන්ජන් කරුණානායක