මහනුවරින් දිනකට ඝන මීටර් 7000ක් අසූචි මිශ්‍ර ජලය මුසුවන මහවැලියේ කඳුළු කතාව

මේ ශ්‍රී ලංකාවේ දෙවැනි අගනුවරයි. එසේම සංචාරකයන් වසඟයට ගත් ලෝක උරුම සංස්කෘතික නගරයයි. ලෝ පුරා බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වැනි අති උතුම් දළදා හාමුදුරුවන් වැඩවසන නගරයයි. උතුම් දළදා හාමුදුරුවන්ගේ භාරකරුවන් වැඩවසන නගරයයි. ඇසළ මහා පෙරහැරේ දිය කපා රටට සෙත ශාන්තිය පතුරුවන නගරයයි. සුන්දර කඳු වළල්ලෙන් වටවූ රාජ රාජ මහාමාත්‍යයන් වැඩ විසූ ආඩම්බරකාර උඩරැටි වංශවතුන්ගේ, රාජ වංශිකයින්ගේ නගරයයි. ඒ කෙසේ වෙතත් සෙංකඩගල – මහනුවර නම් වන මේ අපූරු නගරයේ අප බාහිරෙන් ඒ දකින අභිමානය, ප්‍රෞඪත්වය, සුන්දරත්වය එකී නොකී මොන වැදගත්කම් තිබුණත් මහනුවර නගරය යනු වර්තමානයේ පාරිසරික දූෂණය අතින් රටේම “ අග” නගරයයි.

එසේ කියන්නට අපට හේතු, සාධක, සාක්ෂි තිබේද…? ඔව් මේ කියන්නට සැරසෙන්නේ එම කතා පෙළේ අංක එකයි. රජය නොහොත් මධ්‍යම පරිසර අධිකාරිය කියන පරිදි වායු දූෂණයේ අංක එකේ (අග) නගරය බවට වාර කිහිපයක්ම පත්ව ඇත්තේ මහනුවරයි. ඊට හේතුව ලෙස ඔවුන් කියන්නේ කඳු වළල්ලක් තුළ ගිලුණු මහනුවර නගරයට දිනපතා අසීමිතව ඇදී එන රථවාහනවලින් නැගෙන (විමෝචනය වන) දුම මහනුවර නගරය අසීමිතව දූෂණය කරන බවයි. මීට වඩා වාහන, කර්මාන්ත පිහිටි කොළඹ නගරය ඒ අවදානමෙන් මිදී ඇත්තේ තැනිතලා බිමක පිහිටීමත්, මුහුදු ඉමක පිහිටා තිබීමත් නිසා සුළගේ ගසාගෙන යෑමත් නිසා වායු දූෂණය එක තැන නොරැඳෙන බැවිනි. නමුත් මහනුවර නගරය තුළ නැගෙන වායු දූෂණය කඳු වළල්ලෙන් පිටතට කාන්දුවීම මන්දගාමී බැවින් බේසමක් බඳු නගරයේ ඉහළ ආකාශයේ කැකෑරෙමින් අහිතකර වායු තවදුරටත් නගරය දූෂණය කරයි. එනම් මහනුවර යනු වායු දූෂණයේ ශ්‍රී ලංකාවේ අංක එකේ (අග) නගරය බව කීවාට වරදක් නැත.

නරකාදිය නෙමෙයි මේ…මහයියාව
මහයියාවේ තත්ත්වය

වායු දූෂණය අතින් එවන් තත්ත්වයක් තිබියදී මහනුවර මහනගර සීමාවේ එකතු වන අසූචි මිශ්‍ර අපජලය අවම වශයෙන් ඝන මීටර් 7000 ක් දිනකට මහවැලි ගංගාව ඇතුළු බාහිර පරිසරයට මුදාහරිමින් මහනුවර නගරය තවත් වාර්තාවක් තියන්නට හදන බව ඔබ දන්නවාද…? එය එසේ සිදුවන බව කියන්නේ අප නොව, මහනුවර අපජල කළමනාකරණ බලධාරීන්මය. එනම්, මේ වනවිටත් මහනුවර, ගන්නෝරුවේ ස්ථාපිත කර ඇති, අපජල කළමනාකරණ මධ්‍යස්ථානය නොහොත් අපජල පිරිපහදුවට එක් නොවන අපජල ඝන මීටර් 7000 ක් දිනපතා කාණු, ඇළ මාර්ග දිගේ ගලා ගොස් අවසන කටුගස්තොටදී මහවැලිය සිපගන්නේ එතැන් පටන් ත්‍රිකුණාමලය දක්වා මහවැලි නදී තලය දූෂණය කරමිනි. එවන් විටෙක මහවැලියේ අවසන් බහුකාර්ය යෝජනා ක්‍රමයත් ක්‍රියාත්මක කර අවසන් යනුවෙන් මෙරට පාලකයින් මොරගහකන්දට උදම් ඇනීම ඇත්තටම විහිළුවට කාරණයක් නොවන්නේද…?

නරකාදිය නෙමෙයි මේ…මහයියාව

අප මේ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේ අවසන් කෙරෙන මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය ගැනය. මෙසේ මහවැලි ගංගාව මහනුවරදී අධික ජල දූෂණයකට ලක්ව පවතිද්දී මොරගහකන්ද අවසන් මහවැලි ව්‍යාපෘතිය ලෙස එවක රටේ පාලකයින් හඳුන්වන්නේ කෙලෙසදැයි අපි නොදන්නෙමු. සැබැවින්ම මහවැලියේ අවසන් බහුකාර්ය ව්‍යාපෘතිය විය යුතුව ඇත්තේ මහවැලි නදිය “ සියලු ආකාරයේ දූෂණයන්ගෙන්” ගලවාගැනීමය.

එය වෙනම කතාවකි. අපි යළිත් මහනුවර නගරයේ අපජල අර්බුදය සහ මහා පරිමාණ ජල දූෂණය දෙසට හැරෙමු. මහනුවර නගරයේ සිත්ගත්ම ස්ථානය වන බෝගම්බර වැවේ ඇතිවූ ජල දූෂණයකට පිළියම් සොයන්නට යෑමේදී මහවැලි ගංගාවට අපිරිසිදු ජලය රැගෙන යන මහනුවර නගරයේ මැද ඇළ පිරිසිදු කිරීම ඇතුළු සමස්ත නගරයේ අපජල කළමනාකරණය පිළිබඳ මාතෘකාව කරළියට පැමිණෙන අතර, මහනුවර නගරය අපජල අර්බුදයෙන් ගලවාගැනීමේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස 2010 දී “ජයිකා” (Jica – Japan International Cooperation Agency) ආධාර වැඩසටහනක් ක්‍රියාවට නැගේ. රුපියල් බිලියන 22 ක මූල්‍ය වටිනාකමක් සහිතව ආරම්භ වන මෙම වැඩසටහනේ නොහොත් ව්‍යාපෘතියේ හරය වන්නේ මහ නගර සීමාව තුළ එකතු වන සම්පූර්ණ අපජලය (වැසිකිළි, කැසිකිළි සහ අපවිත්‍ර ජලය) නළ මාර්ගයකින් එකතු කර පිරිපහදුකරණ මධ්‍යස්ථානයකට ගෙනවිත් පානීය ජලය තත්ත්වයට පවිත්‍ර කර එම ජලය මහවැලි ගංගාවට මුදාහැරීමයි. වසර 12 ක ව්‍යාපෘති කාලයකට යටත්ව, 2022 වසරේදී නිමාව දකින්නට සැලසුම් කරන ලද මෙම යෝධ ව්‍යාපෘතිය ජාතික ජල සම්පාදන මණ්ඩලය, මහනුවර මහ නගර සභාව සහ ජයිකා ආයතනය එක්ව ක්‍රියාවට නංවනු ලබන්නේ රුපියල් බිලියන 22 ක ඇස්තමේන්තු වටිනාකමක් සහිත ව්‍යාපෘතියක් ලෙසය.

මෙහිදී අධියර 4 ක් යටතේ ව්‍යාපෘතිය සැලසුම් කරනු ලබයි. එනම්, පළමු අධියර ලෙස ගන්නෝරුවේ ඉදිවන අපජල පිරිපහදු සංකීර්ණය ඉදිකරනු ලබන්නේ 2030 වසර වන විට ඝන ලීටර් 14,000 ක අපජල ධාරිතාවක් පිරිසිදු කිරීමේ හැකියාව අපේක්ෂා කරමිනි. මේ වන විට (2020) මෙම පිරිපහදුව තනා නිමකර සක්‍රීය තත්ත්වයේ ඇති නමුත් පිරිපහදුව මගින් මේ වන විට පිරිසිදු කිරීම සඳහා දිනකට පරිවහනය කෙරෙන්නේ ඝන ලීටර් 5000 ක් පමණි. නොහොත් පිරිසිදු කෙරෙන්නේ ඝන මීටර් 5000 ක පමණ ප්‍රමාණයකි. එනම්, මේ වන විට අසූචි මිශ්‍ර අපජලය ඝන මීටර් 12,000 ක් නගරය තුළින් උපදින්නේ යැයි ගණන් බැලීමේදී තවත් ඝන මීටර් 7000 ක් පිරිපහදු පද්ධතියට එක් නොවී ඊට පිටින් තවමත් මහවැලි ගංගාවට හෝ/හා අනෙකුත් ඇළ මාර්ග සහ කාණු පද්ධතියට එකතු වේ.

ව්‍යාපෘතියේ දෙවැනි අධියර වන්නේ නිවාස, කාර්යාල, කර්මාන්ත, හෝටල්, වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන, නගරයේ පොදු වැසිකිළි ඇතුළු අපජල නිපදවන ස්ථානවලින් එම ජලය හා වැසිකිළි අපද්‍රව්‍ය එකතු කරගන්නා නළ මාර්ගය එළා සකස් කිරීමයි. හෙක්ටයාර් 700 ක් පුරා පැතිර පවතින මහනුවර මහ නගර සීමාවේ උතුරට බැස්මක් සහිත මහයියාව ඇතුළුව කිලෝ මීටර් 250 ක සම්පූර්ණ නළ පද්ධතිය එළා 2024 වන විට අවසන් කර ඇති බව කියනු ලැබේ.

ව්‍යාපෘතියේ තෙවැනි අධියර නම්, අපජලය නිපදවෙන ස්ථාන (උදා-නිවාස) 10,000 ක් අපජල නළ පද්ධතිය හා සම්බන්ධ කිරීමයි. නමුත් රුපියල් බිලියන 22 ක් වන සම්පූර්ණ ව්‍යාපෘති අරමුදලෙන් රුපියල් බිලියන 21 ක් වැය කර, තවත් රුපියල් බිලියන එකක (1) හිඟයක් සහිතව “ජයිකා” ආධාර වැඩසටහන 2022 පටන් අපේක්ෂිත අරමුණු මුදුන් පමුණුවා නොගෙන අතරමග ඇනහිටීමට ලක්වීමෙන් මෙම නිවාස ඒකක 10,000 න් සම්බන්ධතා දීගත හැකිව ඇත්තේ සියයට 40 කට හෙවත් (නිවාස) ඒකක 4000 කට පමණි. තවත් ඒකක 6000 කට සම්බන්ධතාවය දීගත නොහැකිවීම මත, එම ඒකකවලින් සහ ඇතැම් පොදු වැසිකිළිවලින් ඍජුව මුදාහැරෙන සහ කාන්දු වන මළ, මූත්‍රා මිශ්‍ර අපජලය ඝන මීටර් 7000 ක් කෙළින්ම මහනුවර මැද ඇළ, හාලි ඇළ ඇතුළු ප්‍රධාන ඇළ මාර්ගවලට ගලා ගොස්, අවසානයේ කටුගස්තොටදී ඍජුවම මහවැලි ගංගාව හා එක්වන බව නාගරික අපජල කළමනාකරණ අංශ ඇතුළු මහනුවර ජනතාවගේ ජල හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන “කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය” (WDC-Women Development Centre) අනාවරණය කරයි. ඒ අනුව මෙම ඇළ මාර්ග ඔස්සේ මහවැලි ගංගාව දූෂණය වීම වළක්වා ගැනීම සඳහාම ක්‍රියාවට නැගුණු මෙම ජයිකා ආධාර ව්‍යාපෘතිය පුස්සක් වී මුදල් කා දමන ලද සුදු අලියෙක් බවට පත්ව ඇති බව මහනුවර නගරය තුළ සක්‍රීයව ක්‍රියාත්මක වන කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය නමැති සංවිධානය පවසයි.

ඉකුත්දා “කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය” (WDC-Women Development Centre) සහ පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ-Centre For Environment Justice) එක්ව සංවිධානය කරන ලද ක්ෂේත්‍ර චාරිකාවකදී මේ බව මාධ්‍යයට අනාවරණය කරගැනීමට හැකියාව ලැබිණි.

කෙසේ හෝ ව්‍යාපෘතියේ සිව් වැනි වැඩසටහන් අංගය වන්නේ නගරය තුළ හා අඩු ආදායම්ලාභී ජනාකීර්ණ ස්ථානවල පොදු වැසිකිළි පද්ධතියක් ස්ථාපිත කිරීමයි. පවතින පොදු වැසිකිළි පද්ධතිය නඟා සිටුවීම ද මීටම ඇතුළත්ය. ඒ අනුව වැසිකිළි 20 කට අධික ප්‍රමාණයක් අඩු ආදායම්ලාභී ජනාවාස තුළ ඉදිකර ඇති නමුත් මහයියාව වැනි ස්ථානවල පිහිටුවා ඇති ඇතැම් පොදු වැසිකිළි එහි ජනතාවට නැති ප්‍රශ්න ඇති කරන ලද ස්ථාන බවට පත්ව ඇතැයි නගර වැසියෝ පවසති. ඒවා අද ප්‍රයෝජනයට ගත නොහැකි පරිදි ජරාවාස වී, විදුලිය, ජලය විසන්ධි වී ගිය, මත්ද්‍රව්‍ය ලෝලීන්ගේ තිප්පළ බවට පත්ව ඇති බව මහයියාව ජනතාව පවසන ලද්දේ අප එහි කළ සංචාරයකදී කළ විමසුමක් අතරතුරය.

කෙසේ හෝ වර්තමානයේ මහනුවර නගරය තුළ ක්‍රියාත්මක වන්නට නියමිතව තිබූ මෙම අපජල සනීපාරක්ෂක ව්‍යාපෘතිය අතරමග කඩාවැටීමෙන් ප්‍රශ්න රාශියක් හටගෙන ඇත. රුපියල් බිලියනයක ණය ආධාර හෝ රාජ්‍ය දායකත්වය නොලැබීමෙන් තවදුරටත් මහනුවර නගරය හා ආශ්‍රිත ව්‍යාපෘති ප්‍රතිලාභීන් අසරණ තත්ත්වයකට පත්ව තවදුරටත් නගරයේ මැද ඇළ සහ හාලි ඇළ ඇතුළු ජලමාර්ග දූෂණය වෙමින් මහවැලි ගංගාව ජල දූෂණයේ තෝතැන්නක් බවට මහනුවර නගරය පත්ව ඇත. මහයියාව, දෙයියන්නේවෙල, කටුගස්තොට-ගාලෙවත්ත, සුදුහුම්පල, පතනවත්ත නම් ජනාවාසයට ගිය විට එහි සැබෑ තත්ත්වය නිරීක්ෂණය කළ හැක.

නරකාදිය නෙමෙයි මේ…මහයියාව

අප මහයියාව ජනාවාසයේ සිදුකරන ලද නිරීක්ෂණයේදී දැකගන්නට ලැබුණේ මහයියාව යනු මිහිපිට අපායක් බවයි. මහයියාව ජනාවාසයේ ස්ථිර නිවාස ඇති කොටසක් (ලේන්) සහ ස්ථිර පදිංචි අයිතිය නැති නිවාස ලෙස කොටස් දෙකක් ඇති අතර මේ කොටස් දෙකම තවමත් අපජල නළ මාර්ග පද්ධතියට සම්බන්ධ කර නොමැති වීමෙන්, අධික ජන ඝනත්වයක් ඇති මේ මගින් ජනිත වන අපජලය, අක්‍රමවත් වැසිකිළි සහ කැසිකිළි, නාන කාමරවලින් ගලන, උතුරන අසූචි මිශ්‍ර අපජලය කෙළින්ම මහයියාව දුම්රිය ස්ථානය අසළ ඇති පොදු කාණුවට පැමිණ, අනතුරුව හාලි ඇළට එකතුවී මහවැලියට ගලායන අයුරු අපි සියැසින් දුටුවෙමු. මහයියාවේ වීදි අතර අප ඇවිද ගියේ කුණු කාණු, මළ-මුත්‍රා මිශ්‍රව ගලන නරකාදියක් දිගේය. ප්‍රශ්නය නම්, මහනුවර නගරයේ කසළ අදින සනීපාරක්ෂක කම්කරුවන් වැඩි පිරිසක් දිවි ගෙවන්නේ ද මෙහි වීමය. ඔවුන්ගේ සනීපාරක්ෂාව එසේ නම්, මහනුවර සනීපාරක්ෂාව ගැන අපට හිතා ගත හැකිය.

මහවැලි ගඟ දූෂණය කරන මහයියාව දුටු විට අප සිතට නැගුණේ මහගමසේකරයන් විසින් විරචිතව ආචාර්ය අමරදේවයන් විසින් ගයන

“සිරිපද ලස සමනොළ සිරසේ….සිඹ සිඹ සිරිලක හිඳ සොඳසේ….දිලී..දිලී..ගලා බසී…මහවැලි..මහවැලි…මහාවැලී……නමැති ගීතයයි. මහගමසේකරයන් එසේ ලියන්නට ඇත්තේ මහයියාවට කිසිදා පැමිණ නැති නිසා විය යුතුය.

කෙසේ හෝ තවත් රුපියල් බිලියනයක් තිබේ නම් මේ අවුලෙන් මහනුවර නගරය සහ වැඩිමනත් මහයියාව ද බේරාගන්නට හැකි බව මහනුවර අපජල සහ සනීපාරක්ෂක අංශ පෙන්වා දෙයි. අඩුම තරමින් තවත් රුපියල් මිලියන 100-150 ක් රජයෙන් ලබාදුනහොත් නිවාස අපජල සම්බන්ධතා සියයට 50 ක් දක්වා වැඩිකර මහවැලි ගංගාවේ දූෂණය ද සියයට 50 කින් අඩුකර දිය හැකි බව ඔවුහු පවසති. එම ගණන රුපියල් බිලියනයක් නම් සියයට සියයකින් දූෂණය අවම කර මහනුවර මැද ඇළ පිරිසිදු ජලය ගලන ඇළක් බවට පත්කර මහනුවර නගරය සැබෑ ලෝක උරුම නගරයක් බවට පත්කරන්නට හැකි බව නගර බලධාරීන්ගේ අදහසයි.

(ස්තුතිය- කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයට, පරිසර යුක්ති කේන්ද්‍රයට)

ජගත් කණහැරආරච්චි සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment