නාවුලදී එක්දරු පියා ඝාතනය: – පොලිසියේ දෙදෙනා ගැන නීතිපති ස්ථාවරය ඉදිරියේදී

45

සිය මව හා තවත් පුද්ගලයකු සමග තම සුනඛයාට ප්‍රතිකාර ලබාදීම සඳහා සිය රථයෙන් මාතලේ නගරයට යමින් සිටියදී ඇඳ සිටි ඇඳුම් සම්පූර්ණයෙන්ම ගලවා පරීක්ෂා කිරීමට විරෝධය දැක්වූ 28 හැවිරිදි එක්දරු පියකු වෙඩි තබා ඝාතනය කළේ යැයි චෝදනා එල්ලවී ඇති පොලිස් සැරයන්වරුන් දෙදෙනා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරි නඩු දිනයේදී අධිකරණයට දැනුම් දෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (01දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

එම පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය අවසන් කොට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට අධිකරණයෙන් ඉදිරිපත් කොට ඇති බවත් ඒවා අධ්‍යයනය කොට එම පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය දැනුම්දීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

2022.03.03. වැනිදා නාවුල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය බව කියා සිය සැමියා පැදවූ රථය නවතා ඇති පොලිස් නිලධාරීන්ගේ එකී අනිසි හැසිරීමට විරුද්ධත්වය දැක්වූ සිය සැමියාව මරා දැමීමට එරෙහිව අමරකෝන් ගෙදර දිනුෂා කුමාරි නමැත්තිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී.ශෂි මහේන්ද්‍රන් යන මහත්වරුන් හමුවේ ඊයේ (01දා) කැඳවිණි.

නාවුල පොලිස් ස්ථානාධිපතිවරයා, එම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් (4832) ජනක රුවන් අමරසිංහ, පොලිස් සැරයන් (36705) ඩබ්ලිව්. විජේතුංග, ගම්පොල දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණි.

අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්න නමැති මරණකරු එලෙස මරණයට පත්කරන විට එක්දරු පියකු බවත් ඔහුගේ බිරිඳ දෙවන දරුවා බිහිකිරීමට සුදානමින් සිටි බවත් පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි. එම නඩුව සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 26 වැනිදා කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment