වසර 110ක් පිරීම නිමිත්තෙනි

මාලිගාවත්තේ ශ්‍රී සුධර්මාරාමය ඓතිහාසික වශයෙන් වැදගත් කරුණු කීපයකින් යුක්ත විහාරස්ථානයකි. වර්ෂ 1914 දී ආරම්භ කරන ලද මේ විහාරස්ථානය වැදගත් වන හේතු හඳුනාගත යුතුයි. මියන්මාරයේ පැවැති ධම්ම සංගායනාවට ශ්‍රී ලංකාවෙන් ත්‍රිපිටක ධර්මධාරී භික්ෂූන් වහන්සේලා 56 නමක් වැඩම කළ අතර, ඒ කණ්ඩායමට මාලිගාවත්තේ ශ්‍රී සුධර්මාරාමයෙන් අතිගරු තුඩාවේ අරියවංස නාහිමියන් ද අතිගරු අත්තුඩාවේ ඤාණෝදය නාහිමියන් ද සහභාගි වී ඇත. එහි දී අතිගරු තුඩාවේ අරියවංස නායක හාමුදුරුවන් තම දක්ෂතාවත් ත්‍රිපිටකය පිළිබඳ හසළ දැනුමත් නිසා ශ්‍රී ලංකාවට ගෞරවයක් ලැබෙන ආකාරයෙන් ත්‍රිපිටකය සංශෝධනය කිරීමට කරුණු පැහැදිලි කිරීම නිසා මියන්මාර් රජය ත්‍රිපිටක මහා පණ්ඩිත යන උපාධිය පිරිනමා ඇත. පසුව අනෙක් ස්වාමින්ද්‍රයන් වහන්සේලා පස්නමකටත් එක්ක උන්වහන්සේටත් අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනමා ඇත. එසේම උන්වහන්සේට සංගායනාවේදී මූලාසනය පිරිනමා තිබිණි. එපමණක් නොව අට්ඨකථා සංගායනාවේදී සම්පූර්ණයෙන් මූලිකත්තවය උන්වහන්සේට පිරිනමා තිබිණි.

මෙම විහාරස්ථානය සම්බන්ධ දෙවන කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමට මූලික වීමයි. අග්ගමහා පණ්ඩිත තුඩාවේ අරියවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ ශ්‍රී ධර්මරාජ දහම් පාසලේ ප්‍රධානාචාර්යව සිටි ශ්‍රීමත් ආනන්ද සේමගේ මහතා කැපවී නිදහස් අධ්‍යාපනය ඉල්ලා අත්සන් ලක්ෂයක් එකතු කර කරුණු පැහැදිලි කර සන්දේශයක් එක්ක එවකට අධ්‍යාපන ඇමතිව සිටි සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිතුමාට පිළිගන්වා ඇත. ඒ අනුව නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරවාගෙන මේ රටේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය.

අනෙක් ඓතිහාසික වැදගත් කාරණය වන්නේ අතුරුදන්ව නාමමාත්‍රව පැවැති ත්‍රිපිටකයට සම්බන්ධ ටීකා පොතක් වන පටිසම්භිදා ග්‍රන්ථ පදත්ථ වණ්ණනා යන ටීකාව අතිගරු තුඩාවේ අරියවංස නායක මාහිමියන් විසින් සොයාගනු ලැබ, සංශෝධනය කරනු ලැබ, ත්‍රිපිටක සාහිත්‍යයට එකතු කරනු ලැබීමයි. ඒ මගින් ටීකා සාහිත්‍යය සම්පූර්ණ වී ඇත.

ඊට අමතරව මාලිගාවත්තේ ශ්‍රී සුධර්මාරාමයේ වැඩසිටි ස්ථවිරයන් වහන්සේලා ලියා පළ කර ඇති පොත් විශාල සංඛ්‍යාවක් ඇති බවත් පැවසිය යුතුය. අතිගරු තුඩාවේ අරියවංස නායක හාමුදුරුවන් ලියා පළ කර ඇති පොත් අතර ත්‍රිපිටක සංවණ්ණනා, පිළිසඳර, බෞද්ධයා, බෞද්ධයාගේ ලක්ෂණ, නොනිසි වහර ආදී පොත් 30 ක් පමණ ලියා පළ කර ඇත. උන්වහන්සේගේ ශිෂ්‍ය ශාස්ත්‍රපති ගොඩඋඩ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ ද එපමණ පොත් සංඛ්‍යාවක් ලියා පළ කර ඇත. විශේෂයෙන් විශාල ළමා කථා සංඛ්‍යාවක් ලියා පළ කර ඇති ගොඩඋඩ අරියධම්ම නායක මාහිමියන්ගේ පොත් සාහිත්‍යමය වටිනාකමකින් යුක්ත ඒවාය. ඒ අතර රෝසමල් කෙටි සංග්‍රහයත්, Easy Way for English වැනි පොත් වටිනා ඒවාය. උන්වහනසේ රචනා කර ඇති ගීත ද සිය ගණනකි.

අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ඉල්ලීම පරිදි අතිගරු තුඩාවේ අරියවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ භාරතයේ වාරානසි සාමණේර පුහුණු ආයතනයේ අවුරුදු අටක් පමණ ආයතනාධිපතින් වහන්සේ ලෙස ඉගැන්වීම් කටයුතු කර ඇත. ඒ කාලයේදී ආචාර්ය අම්බිකාර්තුමාගේ මෙහෙයවීමෙන් හින්දු භක්තිකයන් පන්දහසක් හා හත්දහසක් වාර දෙකකදී බෞද්ධයන් බවට පත් වූහ. මහාරාෂ්ට්‍රයේ දීක්සාහි ඔවුන් තිසරණ ගන්වා පංච සීලයේ පිහිටුවා ඇත්තේ උන්වහන්සේය. ඔවුන්ට ධර්ම දේශනා කරමින් බෞද්ධ සම්ප්‍රදායයන් ඉගැන්නුවේ උන්වහන්සේය.

මෙම කරුණු අනුව මාලිගාවත්තේ ශ්‍රී සුධර්මාරාමය ආගමික, අධ්‍යාපනික, සාමාජයික වශයෙන් පමණක් නොව සාහිත්‍යමය වශයෙන් ද වැදගත්කමක් උසුලන විහාරස්ථානයක් ලෙස ඇගයිය හැකිය. එම විහාරස්ථානය ඉදිවී ඇති ආකාරය ද සඳහන් කිරීම වැදගත් වෙයි. අතිගරු තුඩාවේ අරියවංස නාහිමිපාණන් වහන්සේ වයස දහසයේදී විද්‍යොදය පිරිවෙනේ ඉගෙන ගනිමින් සිටිද්දී වෙනත් තැන්වල නතරව සිටීමෙන් ඇතිවන අපහසුතා මඟහරවාගෙන පහසුවෙන් වැඩසිටිමින් ඉගෙන ගැනීම සඳහා උන්වහන්සේගේ මාමා කෙනකු වන කොටහේනේ වෙළෙඳාම් කරමින් සිටි බුද්ධදාස දළුගොඩ මුදලාලි මහත්මා මාලිගාවත්ත ප්‍රදේශයෙන් මිලදීගෙන තිබුණු ඉඩම 1914 දී පූජා කර ඇත. ඒ සමග ලෑලිවලින් කුටියක් ද පුංචි බුදු කුටියක් ද ළ‘ඳක් හා වැසිකිළියක් ද සාදා දී ඇත්තේය. එම ළ‘ඳ ඉතා පිරිසිදු වතුර තිබෙන එකක් නිසා අවට පන්සල්වල වැඩ සිටි ස්වාමීන්වහන්සේලාත් නෑමට වැඩම කර ඇත. නළ ජලය ලැබෙන තෙක් ඒ ළිඳේ ජලය පරිහරණය කර ඇත. අවට ජනාවාස වීමෙන් පරිසරය වෙනස් විය.

විහාරස්ථානයට මුල් ඉඩම පූජා කළ බුද්ධදාස දළුගොඩ මුදලාලි මහත්මා අනුස්මරණය කරමින් පිංකම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මැයි 2දා ප. ව. 7.00 සිට 8.00 දක්වා ජනප්‍රිය ධර්ම දේශක ශාස්ත්‍රපති අතිගරු හසලක සීලවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාවක් ද, 3 දා සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාවක් ද, 4 වන දා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ද 5 වනදා ප . ව. 3.00 ට ආචාර්ය අතිපූජ්‍ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුලසුන හොබවන, අග්‍රගණ්‍ය ගීත රචක අතිගරු රඹුකන සිද්ධත්ථ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පිච්චමල් පූජාවේ නිර්මාතෘ අතිගරු කොටපොල අමරකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පැවිදි ගිහි සම්භාවනීය ආරාධිතයන් සහභාගි වන අලුත් පොත් එළිදැක්වීමේ උත්සව සභාවක් පැවැත්වෙයි. එහිදී ශාස්ත්‍රපති ගොඩඋඩ අරියධම්ම නාහිමියන්ගේ ගීත එකතුව පොත හා සිඟිති කතා දහයක් එළිදැක්වීමට නියමිතය.

ලේඛනසූරී, ශාස්ත්‍රපති
අරම ධම්මතිලක
නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment