රිද්මි කියන්නේ ගැඹුරු චරිතයක්
බයිසිකලය මගේ ජීවිතේ කොටසක් වුණා

වේදිකාවේ සිය රංගන හැකියාවන් ඉතාම දක්ෂ ලෙස පෙන්වමින් සිටින ඇය පුංචි තිරය තුළින් ද සිය දක්ෂතා පෙන්වමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තාය. නමින් කසුනි කාවින්දි වූ ඇය අද දවසේ ලාංකේය සිනමාවේ ද සිය දක්ෂතා මනාවට පිළිබිඹු කරමින් සිටින්නීය. ඊට කදිම උදාහරණය වන්නේ සසික හේරත් අධ්‍යක්ෂණය කළ මහාචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකියන නිෂ්පාදනය කළ සිහින සමීකරණ සිනමා නිර්මාණයේ රිද්මිගේ චරිතයයි. ඉතින් කසුනි සමඟ මේ කතාබහ සිහින සමීකරණ සහ ඇගේ කලා ජීවිතය ගැනය.

ඔබ රංගනයෙන් දායකවුණු සිහින සමීකරණ චිත්‍රපටය ගැන කතා කළොත්?

සිහින සමීකරණ චිත්‍රපටය සසික හේරත් අයියාගේ පළමු වැනි සිනමා නිර්මාණය. මේක අපි රූගත කිරීම් සිදුකළේ මීට අවුරුදු හතරකට විතර කලින්. සජිත ඇන්තනී, රන්දික ගුණතිලක, අශාන් ඩයස්, රෙබෙකා දිල්රුක්ෂි, මොරීන් චාරුනී, නයනා හෙට්ටිආරච්චි, වසන්ත විට්ටච්චි, පූජන දන්දෙනිය ඇතුළු අතිදක්ෂ නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. හැමෝම කැපවෙලා ආදරය බෙදාගෙන කරපු නිර්මාණයක්.

නිළියකට සීමා මායිම් තියාගන්න බෑ - කසුනි කාවින්දි

රිද්මි කියන්නේ මොනවගේ චරිතයක් ද?

රිද්මි කියන්නේ බැලූ බැල්මට ගමේ ජීවත්වෙන අහිංසක කෙල්ලෙක්. හැබැයි චිත්‍රපටය බැලුවට පස්සේ ප්‍රේක්ෂකයාට පෙනෙයි චීත්ත ගවුම ඇඳගෙන බයිසිකලයක් පැද පැද ඉන්න මේ කෙල්ල ඇතුළේ කොල්ලකුගේ ගති ස්වභාවයක්, පිරිමි පෞරුෂයකුත් පේන්න තියෙනවා කියලා. හැබැයි ඒ කෙල්ල ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියි. ඒ අතර හරිම සංවේදී කෙල්ලෙක්. තමන්ට වැඩිය අනුන් ගැන හිතන, අනුන්ගේ ප්‍රශ්නවලට සංවේදී වෙන කෙල්ලෙක්. එක් අවස්ථාවකදී හරිම පරිත්‍යාගශීලී ආදරවන්තියක් වන රිද්මි තමන්ගේ සහකාරයා වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න සූදානම් වෙනවා. රිද්මි කියන්නේ ගැඹුරු චරිතයක්. මම හරිම කෑදරකමින්, ලෝබකමින් නිරූපණය කරපු චරිතයක්.

සැබෑ ජීවිතයේදී ඔබට රිද්මි වගේ අය මුණගැසිලා තිබෙනවා ද?

මට සැබෑ ජීවිතයේදී රිද්මි වගේ අය මුණගැසිලා තිබෙනවා. මම දකින විදිහට මේ රිද්මි ඇතුළේ ජීවත්වන ගති ස්වභාවයන් බහුතරයක් ගැහැනුන්ගේ පොදු ස්වභාවයන් විදිහට මම දකිනවා. විශේෂයෙන් ආදර සම්බන්ධතා ඇතුළේ ගැහැනුන් හරි කැපකිරීම් සිදුකරනවා. තමන් ගැන හිතනවට වැඩිය තමන්ගේ සහකරුවාගේ ගමන තමන්ගේ ගමන කරගෙන යන ගති ස්වභාවයක් හැම කාන්තාවක් තුළම අඩු වැඩි වශයෙන් තිබෙනවා මම දැකලා තියෙනවා. මේ ගති ස්වභාවයන් රිද්මි ඇතුළෙත් තියෙනවා. ඉතින් මම මේ සමාජය ඇතුළෙත් රිද්මි වගේ ශක්තිමත්, සංවේදී, ආදරණීය, වගකීම් සහිත කාන්තාවන් ඕනෑ තරම් දැකලා තියෙනවා.

නිළියකට සීමා මායිම් තියාගන්න බෑ - කසුනි කාවින්දි

රිද්මි වෙනුවෙන් මොනවගේ කැප කිරීම් ද සිදු කළේ?

අපි භාරගත්ත ඕනෑම නිර්මාණයක චරිතය වෙනුවෙන් කැපකිරීම් සිදුකරන්න සිද්ධ වෙනවා. ඒක තමයි රංගන ශිල්පියකුගේ හෝ ශිල්පිනියකගේ කාර්යභාරය. මමත් රිද්මිගේ චරිතය නිරූපණයේදී බොහෝ කැප කිරීම් සිද්ධ කළා. ඕනෑම චරිතයක් නිරූපණයේදී ලොකු මානසික ශ්‍රමයක් වැය කරන්න ඕනෑ. රිද්මි වෙනුවෙන් මමත් ඒ මානසික ශ්‍රමය වැය කළා. චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කළේ කොළඹින් ඉතා බැහැර වැලිකන්ද ප්‍රදේශයේ. මේ නිර්මාණය වෙනුවෙන් මම විතරක් නෙමෙයි සිහින සමීකරණ කණ්ඩායමම ලොකු කැපකිරීමක් සිදුකළා.

එතකොට බයිසිකල් පදින්න එහෙමත් පුරුදු වුණා ද?

චිත්‍රපටයට ආරාධනා ලැබෙනකොට මට බයිසිකල් පදින්න හැකියාවක් තිබුණේ නැහැ. අනික මට ඒ වෙනකම් බයිසිකල් පදින්න විශේෂ අවස්ථාවක් හෝ වුවමනාවක් තිබිලත් නැහැ. චිත්‍රපටයට ආරාධනා ලැබුණට පස්සේ රිද්මිගේ චරිතය කරන්න මට සෑහෙන්න ලෝබ හිතුණා. මම තිගැස්මකින් යුතුව වුණත් ඒ ලෝබකම නිසාම මේ චරිතය කොහොම හරි කරනවා කියලා හිතාගත්තා. ඒක හින්දා චිත්‍රපටය රූගත කරන්න මාසෙකට කලින් ඒ වෙනුවෙන් පෙර පුහුණුවීම් කරන්න සිද්ධ වුණා. එතැනදි මම කොළඹදී බයිසිකල් පදින්න පුරුදු වුණා. ඊට පසුව වැලිකන්ද ප්‍රදේශයේ රූගත කිරීම්වලට ගියහමත් හැම වෙලාවකම බයිසිකලය සමඟ ගැවසෙන්න උත්සාහ කළා. මොකද බයිසිකලය රිද්මිගේ ජීවිතයේ කොටසක්නේ. එතකොට මටත් ඒක සැහැල්ලුවෙන් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද මගේ අතින් පොඩි හරි වරදක් සිද්ධ වුණොත් ඒක බලපාන්නේ නිර්මාණයට. ඒ හින්දා මම ඒ වරැද්ද කරන්න බයවුණා. ඒ නිසා මම උපරිම උත්සාහ කරලා, මහන්සි වෙලා, කැපවෙලා බයිසිකලය මගේ ජීවිතයේ කොටසක් වන තරමටම පුරුදු වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල හොඳින් වැඩ කරලා තිබෙනවා කියලා හිතනවා.

මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු කොහොම ද?

මම කොහොමත් කාර්යබහුල රංගන ශිල්පිනියක් නෙමෙයි. අනික මම එකපාර වැඩ ගොඩක් බදාගෙන කරන්නේ නැහැ. ඉතින් මේ දවස්වල මම රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නේ ධනුෂ්ක රත්නායකගේ See You කියන ටෙලි නාට්‍යයට විතරයි. ඊට අමතරව කෙටි චිත්‍රපට, ටෙලි චිත්‍රපට වගේම ගීත රූප රචනාවලට සම්බන්ධ වෙනවා. ඉදිරියට එන්න තිබෙන නිර්මාණ වගේම සාකච්ඡා මට්ටමේ තිබෙන නිර්මාණ කිහිපයකුත් තියෙනවා.

පසුගිය දවස්වල ඔබ රංගනයෙන් දායක වුණු ‘අප අතර ඌ’ වේදිකා නාට්‍ය ගැන කතා කළොත්?

පසුගිය දවස්වල චාමර ගුරුගේ කියන ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයාගේ ‘අප අතර ඌ’ වේදිකා නාට්‍යයට රංගනයෙන් සම්බන්ධ වුණා. අපි මේ නාට්‍යයට අවුරුදු දෙකකට වැඩි කාලයක් පුහුණු වීම් සිදු කළා. දැනට දර්ශන වාර තුනක් පැවැත්වුණා. මේකේ රඟපාන්නේ මගේ පරම්පරාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වන අකලංක ප්‍රභාෂ්වර සහ මමයි. පැය එකහමාරක් පුරාවට දිවෙන නාට්‍යයක්.

මේ නාට්‍යයෙන් කතා කරන්නේ සම්බන්ධතා සහ ආදරය ගැනයි. පොදුවේ ගත් කල වේදිකා නාට්‍යයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අයගේ ප්‍රතිචාර වුණේ ඒ නාට්‍යය ගොඩක් අයගේ පෞද්ගලික ජීවිතයට බොහෝ සෙයින් සමානයි කියලා.

රංගන ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?

මම සතුටින් ඉන්නේ. මම මුල ඉඳලාම යන්න ආසා කරපු මාර්ගයක් තිබ්බා. ඉතින් ඒ මාර්ගයේ ගමන් කිරීම වෙනුවෙන් ගොඩක් නිර්මාණ මම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මම භාරගත්තු නිර්මාණවලට වඩා වැඩියි ප්‍රතික්ෂේප කරපු නිර්මාණ. මම හිතන්නේ ඒ නිර්මාණ භාරගත්තා නම් මම යමින් ඉන්න ගමනට වැඩිය වෙනස් ගමනක් යන්න තිබුණා. හැබැයි මම හැම මොහොතකම මට යන්න ඕනෑ ගමන ගැන සවිඤ්ඤාණිකව තමයි වෘත්තීයමය ජීවිතය ඇතුළේ හැම තීරණයක්ම ගත්තේ. ඉතින් ඒ ගත්තු තීරණ ගැන සතුටක් තිබෙනවා. ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත් මට කියන්න තියෙන්නේ බොහොම සුන්දරයි කියන විදිහේ හැඟීමක්.

ඔබ භාරගත්ත නිර්මාණ බොහෝදුරට කතාබහට ලක්වෙනවා. ඒ ගැන මොකද හිතන්නේ?

මම නිර්මාණ ගොඩක් භාරගත්ත කෙනෙක් නෙමෙයි. මම කාරණා බොහොමයක් ගැන හිතලා තමයි නිර්මාණයක් භාරගනිද්දි භාරගන්නේ. ඉතින් එහෙම භාරගත්තු නිර්මාණ තමයි පසුගිය කාලයේ ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබුණේ. මටත් ඒ ගැන සතුටක් තියෙනවා. මොකද මාව 365 දවසේම ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ටෙලි තිරය තුළින්. හැබැයි මටත් සතුටක් තියෙනවා මම ඉඳලා ඉඳලා සම්බන්ධ වන නිර්මාණ ලංකාවේ මිනිස්සුන්ට දෙයක් කල්පනා කරලා බලන්න පුළුවන් තරම් වටිනාකමක් තිබෙන නිර්මාණ කියලා. ලංකාවේ ටෙලි නාට්‍ය සිනමා නිර්මාණ හා ගීත රූප රචනා කියන ක්ෂේත්‍ර තුන ඇතුළේ බ්ලාස්ට් වෙච්ච නිර්මාණවල කොටස්කාරයෙක් වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ඒ ක්ෂේත්‍ර තුළ හයිලයිට් වුණු හැරවුම් ලක්ෂ්‍යයක් වුණු නිර්මාණවල කොටස්කාරයෙක් වෙන්න මට ලැබිලා තියෙනවා. උදාහරණ විදිහට කූඹියෝ, තණමල්විල කොල්ලෙක්, නාඩගම්කාරයෝ කියන ටෙලි නිර්මාණවල කොටස්කාරයෙක් වෙන්න ලැබුණා. සිනමාව ගත්තහම ගජමෑන්, වෙඩි නොවදින ළමයි වගේ නිර්මාණ. ගීත රූප රචනා ක්ෂේත්‍රය ගත්තොත් සකුරා වගේ ගීත රූප රචනා.

සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍ය කියන ත්‍රිත්වයෙන් ඔබ වඩාත්ම ප්‍රිය කරන්නේ මොන අංශයට ද?

මම වැඩියෙන්ම ප්‍රිය කරන්නේ වේදිකාව සහ සිනමාව කියන ක්ෂේත්‍ර දෙකයි.

ඇත්තටම කසුනි කියන්නේ මොනවගේ චරිතයක් ද?

කසුනි කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් කියලා කියන්න බැහැ. මොකද අපි හැමෝම වෙනස් වෙමින් යන ගමනක ඉන්නේ. මොහොතින් මොහොත වෙනස් වෙමින් තිබෙන්නේ. ඉතින් ඒ වගේ මොහොතක මට කියන්න බැහැ කසුනි කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් කියලා. හැබැයි එදා ඉඳලා අද වෙනකම් කසුනිගේ වෙනස් නොවුණ ගති ස්වභාවයන් ටිකක් තියෙනවා. කසුනි කියන්නේ කායිකව වගේම මානසිකව පිරිමියකු වගේම ශක්තිමත් චරිතයක්. කෙනකුට එළියෙන් බැලූ බැල්මට පෙනෙන්න පුළුවන් රළු චරිතයක් කියලත්. හැබැයි ඉතාම සංවේදී චරිතයක්. අභියෝග භාරගන්න, අභියෝග සමඟ සටන් කරන්නත් කැමැති චරිතයක්. ඒ වගේම අසාධරණයට අකැමැති තමන්ට වගේම තමන් වටේ ඉන්න අයටත් අවංකවෙලා ඉන්න උත්සාහ කරන චරිතයක්.

රඟපෑම තෝරාගත්තේ නැතිනම් මොනවා කරාවි ද?

මම දන්නේ නැහැ. මම කවදත් ආස කළේ නටන්න, රඟපාන්න, සින්දු කියන්න. මම හැමදාමත් රංගනයට තමයි කැමැති.

රංගනය කියන විෂය තෝරාගැනීම පිළිබඳව ගෙදර අය ඉන්නේ මොනවගේ මතයක ද?

මම හරි වාසනාවන්ත කෙනෙක්. ඒකට හේතුව මගේ අම්මයි තාත්තායි පොඩි කාලෙ ඉඳලම මටවත්, අක්කිටවත්, අයියටවත් උඹ මේ පාරේ පලයං කියලා බලපෑම් කළේ නැහැ. අපිට කරන්න ආසා දේට ඉඩ දීලා ඒකට උදවු කරපු එක තමයි එයාලා කළේ. ඒක ඇතුළේ අපි අපේ නිදහස පාවිච්චි කළා. අපි කැමැති දේ කරන්න, අපිට යන්න ඕනෑ පාරේ යන්න ඒගොල්ලෝ කරන්නේ මම ගත්ත ඊළඟ පියවර තියන්න මම ගත්ත තීරණවලට සහයෝගය දෙන එකයි. මාව ධෛර්යවත් කරන එකයි. දැනට මගේ තාත්තා ජීවතුන් අතර නැහැ.

රංගනයේදී කසුනිට සීමා මායිම් කියලා දෙයක් තියෙනවා ද?

මම විශ්වාස කරනවා රංගන ශිල්පිනියකට සීමා මායිම් තියාගෙන රඟපාන්න බැහැ කියලා. රූපණය කියලා කියන්නේ සීමා මායිම්, නීතිරීති, කොන්දේසි දාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි කරන්නේ මිනිස්සුන්ට රසවින්දනයක් ලබාදෙන එක. ඒක ඇතුළේදී අපි කරන්නේ සමාජයේ කොහේ හෝ ජීවත් වන චරිතයක්. කොහේ හෝ ජීවත්වෙන්න පුළුවන් කියලා මවාගත්ත චරිතයක්. ඉතින් ඒ වගේ කාරණයක් ඇතුළේ මම විශ්වාස කරනවා අපි සීමා මායිම් දාගෙන වැඩ කළොත් ඒ අපේ රැකියාව තුළින් වෙන්න ඕනෑ කාරණය සියයට සියයක් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. ඒ හින්දා මම සීමා මායිම් දාගෙන ඉන්න රංගන ශිල්පිනියක් නෙමෙයි. හැබැයි වෘත්තීයමයභාවය පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වන රංගන ශිල්පිනියක්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment