හෙතෙම සරල, නිහඬ චරිතයකි. රටේ ඉහළ තනතුරු කිහිපයක්ම දරා ඇති මුත් ඔහු ගතකරන්නේ ඉතාම සාමාන්‍ය දිවි පෙවෙතකි. එහෙත් ආචාර්ය හේරත් එම්. ගුණතිලක යනු නොබෙල් සාම ත්‍යාගයට පවා නම් කෙරුණු ග්‍රන්ථයක් සම්පාදනය කළ විද්වතෙකි. ඒ බව දන්නේද ඉතාම සුළු පිරිසකි. එහෙයින්ම අප ඔහු ගැන කතා බහ කළ යුතුය. ආචාර්ය හේරත් එම්. ගුණතිලක මහතා අතින් ලියැවුණු “The Buddha – Word As Cosmic Doctrine” නම් බෞද්ධ දර්ශනය හා සම්බුදු ධර්මය පිළිබඳ පර්යේෂණාත්මක නිබන්ධනය නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වූ ග්‍රන්ථයයි.

පඬුවස්නුවරින් ලෝකය දිනීම

ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර ප්‍රදේශය සිය උපන් ගම් පියස කර ගනිමින් ලොවක් දිනූ ආචාර්ය ගුණතිලක, තමන් කළ කී බොහෝ දෑ ගැන කතා කරන්නට දක්වන්නේ මැලිකමකි. එහෙත් අපි ඔහුගෙන් බොහෝ දෑ විමසුවෙමු.

“ මම මූලික අධ්‍යාපනය ලැබුවේ රත්මුලුකන්ද ශ්‍රී සුනන්දාරාම ධර්මායතනය හා මගුලාගම ජ්‍යෙෂ්ඨ පාසලෙන්… ඊට පස්සේ මම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා. පස්සේ මම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්වෙලා බෞද්ධ දර්ශනය පිළිබඳව උපාධිය හැදැරුවා.

මම එතැනදී මගේ ඉලක්කවලට යන ගමන ආරම්භ කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව අවුරුදු තුනක කාලයක් මට හැකියාව ලැබුණා එවකට පැවැති විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙකු කටයුතු කරන්න….

ආචාර්ය ගුණතිලක තමන් අධ්‍යාපනය ලැබූ අවධිය සිහිපත් කරන්නේ සොම්නස් හැඟීමෙනි. ඊට පසු කලෙක අවුරුදු විස්සක කාලයක් රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ ජන මාධ්‍ය පිළිබඳ පර්යේෂණ සහකාරවරයා වශයෙන් ද ආචාර්ය ගුණතිලකයන් සේවය කර ඇත. පසුව ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයට තේරී පත් වුවද නියමිත කලට පෙර රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නට ඔහු සිතුවේය.

“මට ඒ දවස්වල පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා පිරිනැමෙන පොදු රාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ අනුව මම එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබාගත්තා.”

ආචාර්ය ගුණතිලක “බුදුදහම හා නූතන විශ්ව විද්‍යාව”, “බුදුදහම 21 වැනි සියවසට”, “නූතන ලෝක ත්‍රස්තවාදය පිළිබඳ බුදුදහමේ ආකල්පය” වැනි විමර්ශනාත්මක ග්‍රන්ථ කිහිපයක්ම සම්පාදනය කර තිබේ. එමෙන්ම ආචාර්ය ගුණතිලකයන් විසින් සම්පාදනය කරනු ලැබූ බුදු දහමේ විවිධ ධර්ම කරුණු පිළිබඳ පර්යේෂණාත්මක ලිපි රැසක් ද විවිධ සඟරා, පුවත් පත් ආදියෙහි පළව තිබේ. අසූවිය සපුරා ඇති ආචාර්ය ගුණතිලකයන් තවමත් ගමෙහි දහම් පාසලෙහි ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීමම ඔහුගේ සරල බව වටහා ගැනීමට තරම් ප්‍රමාණවත්ය.

නොබෙල් නිර්දේශිත ග්‍රන්ථය

නොබෙල් සාම ත්‍යාගයටත් ගිය ඉරු දින දහම් පාසල් ගුරුතුමාගේ නිබන්ධනය

ඔහු විසින් රචිත “සම්බුදු වදන විශ්ව ධර්මයයි” යන පර්යේෂණය මත “”?The Buddha – Word As Cosmic Doctrine”” නැමති පර්යේෂණාත්මක නිබන්ධනයේ අන්තර්ගතය මෙසේය. බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය පිළිබඳ මෙනෙහි කරමින් උන්වහන්සේට සිදු කරන පූජාවක් වශයෙන් සලකා මෙම කෘතිය සම්පාදනය කොට ඇත. එමෙන්ම කතුවරයා සලකා ඇති අනෙක් කරුණ වන්නේ තුන් කල්හිම මේ මිහි පිට ඉපදුන හා බිහිවන මිනිස් සංහතියට බුදුන් වහන්සේ තුළ පැවති අපරිමිත මහා කරුණාව හා මහා ප්‍රඥාව විදහා පෙන්වීමයි.

“ඒ වගේම මේ කෘතියෙන් මට හැකියාව ලැබුණා බුදුරජාණන් වහන්සේගේ අපරිමිත මහා කරුණාව හා මහා ප්‍රඥාව මත පදනම්ව බුදු දහම තුළින් කිසිදු භේදයකින් තොරව පොදුවේ මානව සංහතියට සිදුවන අපරිමිත යහපත හා ශාන්තිය පිළිබඳ කතා කරන්න… පසුගිය දශක දෙකකට ආසන්න කාලපරිච්ඡේදය තුළ මම දිගින් දිගටම කල්පනා කළා හැම දෙනාගේම හිත සුව පිණිස බොහෝ පිරිසකට කියවීම සඳහා මෙම කෘතිය සකස් කරන්න වුවමනාය කියලා.”

නිවුණු ස්වරයෙන් යුතුව ඔහු සඳහන් කරන්නේය.

ආචාර්ය ගුණතිලක කියන පරිදි, මෙම පර්යේෂණාත්මක නිබන්ධනය ආරම්භයේ ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ කලාශූරීන්ගේ දිගු පෙරවදනකින් ද, කතුවරයාගේ සංඥාපනයකින් ද, කෘතිය අවසානයේ නිගමනයකින් ද, ආශ්‍රිත ග්‍රන්ථ විඥාපනයකින් ද, පාලි, සංස්කෘත වචන හා පරිභාෂිත පදවල තේරුම් සහිත විද්‍යාත්මක විෂය සුචියකින් ද සමන්විතය.

කතුවරයා පවසන පරිදි මෙම ග්‍රන්ථය ලිවීමේදී එහි සඳහන් වන සෑම කරුණක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු මාර්ගාංගය වන නිවැරදි අවබෝධය හෙවත් සම්මා දිට්ඨියෙන් යුතුව හැකිතාක් දුරට සත්‍ය ලෙස, නිවැරදි ලෙස හා යහපත් ලෙස ඉදිරිපත් කිරීමට වෙහෙස ගෙන ඇත.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ නිර්දේශය

“ඇත්තටම මට මේ කෘතිය නොබෙල් සාම ත්‍යාගයට ඉදිරිපත් කිරීමේ වුවමනාවක් තිබ්බේ නැහැ. එකට මුල් වුණේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයයි. ආගම විෂය තුළ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම ට මෙම ග්‍රන්ථය සුදුසු යැයි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ලෝක ආගම් හා දේවධර්ම අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ පීඨාධිපති මහාචාර්ය ජෝන් මැතිව් යෝජනා කළා.. ඔහු ඒ නිර්දේශය ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ ලිපිය පවා මා සතුව තිබෙනවා..”

ආචාර්ය ගුණතිලකයන් කියන්නේය.

මෙම කෘතිය 2022 වසරේ ඇමරිකාවේ Amazon.com වෙබ් අඩවියෙන් ප්‍රකාශයට පත් වී ඇති අතර, ලක්දිව ථේරවාද ත්‍රිපිටකය, එහි අටුවා හා ටීකා යන ග්‍රන්ථ පුනර්-මුද්‍රණය කර බෞද්ධ ලෝකයට ලබාදෙන දෙහිවල, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් ද 2023 දී පළකර ඇත. ආචාර්ය ගුණතිලක තම කෘතියේ අංගසම්පූර්ණ අත්පිටපතක් ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ලෝක ආගම් හා දේවධර්ම අධ්‍යයන මධ්‍යස්ථානයේ මහාචාර්යවරුන්ගේ නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කර ඇත. එම නිබන්ධනය පිරික්සා බැලීමෙන් පසු මහාචාර්ය ජෝන් මැතිව් මෙම පොත පිළිබද මෙසේ සඳහන් කර ඇති දේ වැදගත්ය.

“දෙවියන්වහන්සේ විසින් මිනිස් ලෝකය හා විශ්වය නිර්මාණය කළේය යන දේව නිර්මාණ වාදය සත්‍යය යැයි මම අදහන්නෙක් වෙමි. එහෙත් මෙලොව මිනිස් සංහතියේ සාමය, සුබසාධනය, දියුණුව හා යහපත උදෙසා බුදුන් වහන්සේ විසින් දේශිත විශ්ව සාම පණිවිඩය ඇතුළත් මැදුම් පිළිවෙත මෙම ග්‍රන්ථයෙන් මනාව පැහැදිලි කරයි. මෙම නිබන්ධය නූතන ලෝ වැසියනට සාමයෙන් දිවි ගෙවීමට උපදෙස් ලබාදෙන ප්‍රායෝගිකව ම ප්‍රයෝජනයවත් විය හැකි පොතකි. එබැවින් එය ලෝක සාමය පිළිබඳ අතිවිශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. එම නිබන්ධනය ආගම විෂය තුළ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට තරම් සුදුසුම කෘතියක් යැයි නම් කිරීමට ද මම කැමැත්තෙමි. ”

බුදු දහම පිළිබඳව ඒ තරම් වටිනා අදහසක් බටහිර රටක විද්වතෙක් ප්‍රකාශ කිරීමම, මෙම කෘතියේ වටිනාකම තේරුම් ගැනීමට ඉවහල් වේ.

පොතෙහි ඇති දේ

මෙම කෘතියෙහි අන්තර්ගතව ඇති දේ සංක්ෂිප්තව හෝ දැන ගැනීම වැදගත් වේ යැයි අපි විශ්වාස කරමු.

නොබෙල් සාම ත්‍යාගයටත් ගිය ඉරු දින දහම් පාසල් ගුරුතුමාගේ නිබන්ධනය

වත්මන් ලෝකය අතිබිහිසුණු ත්‍රස්තවාදයෙන්, මානව හිංසනයෙන් හා යුද්ධයෙන් ද බොහෝ පෙදෙස්වල ආහාර හිඟය වැනි දුර්භික්ෂයෙන් ද විවිධාකාර වසංගත රෝගවලින් ද වැසී පවතී. ලොව පවතින සමාජ, ආර්ථික පරිහානියෙන් බැටකන මිනිසා අන්ත අසරණ දුකකට පත්ව ඇත. සමාජ පරිණාමයට මූලික වන හේතු දෙක ලෙස බුදුදහම පෙන්වා දෙන්නේ මිනිසාගේ අසීමිත තෘෂ්ණාව හේතු කොට ගෙන හටගන්නා තරගකාරිත්වය ද, අධික පරිභෝජනය නිසා තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය ඉක්මනින් ම ක්ෂය වීමෙන් සිදුවන මානව ආර්ථිකයේ පිරිහීමත්, මිනිසාගේ මනෝමූලික අන්තගාමී අසත්‍ය වූ වැරදි මතවාදයන් ය. බුදුන්වහන්සේ මිනිසාට පෙන්වා දී ඇති මැදුම් පිළිවෙත අනුව අන්තවාදී අසත්‍ය වූ වැරදි මතවාද බැහැර කරමින්, සමාජ ආර්ථික දියුණුව ධාර්මිකව ඇතිකර ගැනීමෙන් පුද්ගලයාගේ අධ්‍යාත්මය තුළත් සමාජය තුළත් අභ්‍යන්තර හා බාහිර යන අංශ දෙකෙහිම සාමය හා සමෘද්ධිය උදාකරගත හැකි වීම මෙම ග්‍රන්ථයෙන් මනාව පැහැදිලි කර දී ඇති බව විශේෂයෙන් පැහැදිලි කළ යුතු කාරණය වන්නේ යැයි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැතිව් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ආචාර්ය ගුණතිලකයන් පසුගිය දශක හතරක පමණ කාලය තුළ දේශීය හා විදේශීය විශ්වවිද්‍යාලයන්හි බුදුදහම හා සත්‍යෙක්ෂණය පිළිබඳ සිදු කළ පර්යේෂණාත්මක අධ්‍යයනවල ප්‍රතිඵලයක් ලෙස ඉහත සඳහන් ශාස්ත්‍රීය කෘතිය සම්පාදනය කොට ඇත. මානව ඉතිහාසයේ මීට වසර 2600කට පමණ පෙර ලොවට ප්‍රකාශිත බුදුන්වහන්සේගේ මහඟු අතිඋතුම් දහම් පණිවිඩය ලොව මිනිස් කැල මෙතෙක් අවබෝධ කර නොගන්නේ මන්ද යනු නැවත විමසා බැලීම කාලෝචිත බව ඔහුගේ මෙම නිබන්ධනයෙහි පොදු තේමාව වී ඇත. මෙම ග්‍රන්ථය සකස් කිරීමේ දී ථේරවාද බුදදහම වන ත්‍රිපිටකයේ මූලාශ්‍ර ලෙස සැලකෙන පාලි නිකාය ග්‍රන්ථ මෙන්ම මහායාන බෞද්ධ සම්ප්‍රදායයේ ඇතැම් මූලාශ්‍ර ද ඔහු පරිශීලනය කොට ඇත. මෙම ප්‍රයත්නයේ දී මිහිපිට සමස්ත මානව සංහතිය තුළ ලෝක සාමය උදාකරලීම උදෙසා බුදුදහම තුළින් ප්‍රධාන අරමුණු දෙකක් සපුරාලීමට විශේෂ අවධානය යොමුකර ඇත. එනම් ගත වූ විසි වැනි සියවසේ අග භාගයේ ඇරඹුණු හා මෙම තෙවැනි සහස්‍රයේ මුල් දශක දෙක තුළ, ලොව පුරා පැතිර යන අති බිහිසුණු කෲර ලෝක ත්‍රස්තවාදය, මානව හා සත්ව හිංසනය, යුද්ධය, පරිසර විනාශය හා කොවිඩ් – 19 වැනි වසංගත රෝග පැතිර යෑම වළක්වා භීතියෙන් තොර සාමකාමී දැහැමි දිවිපෙවෙතක් ගත කළ හැකි සෞභාග්‍යයෙන් පිරි ලොවක් ඇතිකර ගැනීමට සම්බුදු වදන හා එමඟින් විකසිත වන විශ්ව සාම පණිවිඩය උපයෝගී කරගන්නේ කෙසේ දැයි විමසා බැලීමයි. දෙවැන්න නම් විශ්වයේ වසන මිනිසාගේ හා අනෙකුත් ජීවීන්ගේ නියම ස්වභාවය හා ඉරණම පිළිබඳ සැබෑ විස්තරයක් ගෙන දෙන සම්බුදු වදන තුළින් ගිලී සිටින මිනිසාට දැහැමි ජීවන මාර්ගය හා ඉන් ලද හැකි ප්‍රතිඵල පිළිබඳ විද්‍යා ආලෝකය දල්වාලීමයි.

මෙම පරමාර්ථ දෙක සපුරාලීම සඳහා බුදු දහමේ ඉතා වැදගත් ධර්ම කරුණු නවීන දැනුමෙන් ද, සමකාලීන දර්ශනය තුළින් ද, විද්‍යාවේ නව සොයා ගැනීම්වලින් ද සනාථ වන අයුරු පැහැදිලි කිරීමට මෙම ග්‍රන්ථයෙන් ප්‍රයත්නයක් දරා ඇත.

කොටස් දෙකක්

නොබෙල් සාම ත්‍යාගයටත් ගිය ඉරු දින දහම් පාසල් ගුරුතුමාගේ නිබන්ධනය
හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයාගේ නිර්දේශිත ලිපිය

සම්පූර්ණ පොත ප්‍රධාන කොටස් දෙකකට බෙදා ඇති අතර, එම කොටස් දෙකට අනුරූප වූ තේමාවන් දෙකකින් ද සමන්විත ය. පළමු කොටසේ තේමාව නම් අකාලික දහමක් වන බුද දහමේ නවීනත්වය තුළින් මානව සංහතියට උකහා ගත හැකි බුදුන්වහනසේගේ විශ්ව සාමය පිළිබඳ පණිවිඩයයි. මෙම කොටසට අදාළ මුල් පරිච්ඡේද අටෙන් මිනිසාගේ අභ්‍යන්තරික සාමය හා බාහිර සමාජයේ සාමකාමී පැවැත්මට සබැඳෙන විවිධාංග අළලා බුදුදහමේ ආකල්ප ගෙනහැර දක්වා ඇත. පොතේ දෙවැනි කොටසට, නමවැන්නේ සිට දොළොස්වැන්න දක්වා දිවෙන පරිච්ඡේද හතර ඇතුළත් වේ. එම කොටසේ තේමාව වන්නේ විශ්වයේ වසන මිනිසාගේ ස්වභාවය හා ඉරණම පිළිබඳ බුදුදහමින් ඉදිරිපත් කෙරෙන යථාර්ථවාදී න්‍යායයන් ගැන සඳහන් වන කරුණු නවීන දැනුම ද ඇසුරින් ප්‍රකාශයට පත් කිරීමයි.

ග්‍රන්ථයේ පළමු කොටසේ පරිච්ඡේද අටෙන් පොදුවේ මානව වර්ගයාගේ සාමය පිළිබඳ ඉගැන්වීම අවධාරණය කර ඇත. එහි ආරම්භයේ එන පළමු පරිච්ඡේදයෙන් බුදුන්වහන්සේගේ දිවිය හා දහම පිළිබඳ හැඳින්වීමක් සහ සම්බුද්ධත්වයේ අති උතුම් මෙහෙවර පැහැදිලි කර ඇත. බුද්දක නිකායට අයත් ධම්පදයේ 194 ගාථාවෙන් ද, සුක්ත නිපාතයේ 683 ගාථාවෙන් ද බුදුන් වහන්සේම දේශනා කොට ඇති පරිදි, සම්මාසම්බුදුවරයෙකු මෙලොව පහළ වීම මනුෂ්‍ය වර්ගයාට ඉමහත් සැපතක් ගෙන දෙන්නේ ය. මේ අනුව බුද්ධානුශාසනාව අප අනුගමනය කරන්නේ නම් එය මිනිසාගේ ආධ්‍යාත්මික ශාන්තිය (අභ්‍යන්තරික සාමය) පිණිසත්, බාහිර සමාජයේ සාමකාමී පැවැත්ම හා අභිවෘද්ධිය සඳහාත් උපයෝගී කරගත හැකිය. දෙවන පරිච්ඡේදයෙන් බුදුන් වහන්සේගේ අද්විතීය, අත්‍යුදාර, පූජනීයත්වය හා ශ්‍රේෂ්ඨත්වය ගැන කරුණු ඉදිරිපත් කරයි. මෙමඟින් නවීන ලොව මානව චින්තනයට ලබාගත හැකි ආදර්ශ පිළිබඳ පැහැදිලි දැනුමක් ලබාදෙයි. තෙවන පරිච්ඡේදයෙන් බුදු දහමේ සම්භවය කවදා සිදුවී දැයි විමසමින් එය මානව ශිෂ්ටාචාරයේ අති විශේෂ සිද්ධිය ලෙස සලකා එහි ඇති වැදගත්කම විසි වැනි සියවසේ බටහිර ලොව පිළිගත් මහා බුද්ධිමතුන් දෙදෙනා වන මහා දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල් හා අතිවිශිෂ්ට භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් යන දෙදෙනා මුල් බුදුදහම පිළිබඳ සිදුකර ඇති ප්‍රකාශනවලින් සනාථ වන අයුරු දත හැකි වේ. සිව්වැනි පරිච්ඡේදයෙන් බුදුන් වහන්සේ මානව සංහතියට දෙසූ විශ්ව සාම පණිවිඩය, විස්තර වශයෙන් සාකච්ඡා කර ඇත. පස්වැනි පරිච්ඡේදයෙන් නූතන ලොව පවතින ත්‍රස්තවාදය, මානව හිංසනය හා යුද්ධය පිළිබඳ බුදුදහමේ ආකල්පය ගැන කරුණු විමසා ඇත. සවැනි පරිච්ඡේදයෙන් මිනිසාගේ සමාජ, ආර්ථික, දේශපාලන දියුණුව හා පරිසර සංරක්ෂණය පිළබඳ බෞද්ධ ආකල්පය විස්තර කෙරේ. හත්වැනි පරිච්ඡේදයෙන් බුදුදහමින් හෙළිවන විශ්ව සාධාරණ නීතිය ගැන කථා කරයි. අටවැනි පරිච්ඡේදයෙන් බටහිර ලොව සමකාලීන මහා දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල්ගේ ආගම පිළිබඳ විමර්ශනය තුළ බුදුදහමට අදාළ වන තැන ගැන කරුණු සාකච්ඡා කරයි.

ග්‍රන්ථයේ දෙවන කොටසින් විශ්වය, සොබාදහම, මිනිසා හා ඔහුගේ ඉරණම පිළිබඳ බුදුදහමේ පැහැදිලි කිරීම ඉදිරිපත් කර ඇත. මෙම පැහැදිලි කිරීමට අදාළ කරුණු නම වැන්නේ සිට දොළොස්වැන්න දක්වා දිවෙන පරිච්ඡේද හතර තුළින් විස්තර කර ඇත. මේ අනුව නව වැනි පරිච්ඡේදයෙන් බුදුදහමේ හා සමකාලීන විද්‍යාවේ සංකල්ප පිළිබඳ ඥාන ශක්තිය විමසා බැලීම සාකච්ඡා කොට ඇත. දසවැනි පරිච්ඡේදයෙන් විශ්වයේ වසන මිනිසා සහ පොදුවේ සත්ත්වයා, පිළිබඳ කර්මවාදය, භව රීතිය හා සංසාරික පැවැත්ම පිළිබඳ බුදුදහමේ විද්‍යානුකූල විවරණය ඉදිරිපත් කරයි. එකොළොස්වැනි පරිච්ඡේදයෙන් බුදු දහමේ පටිච්ච සමුප්පාද දහම ගැන කරුණු පැහැදිලි කරමින් එය හා නවීන විද්‍යාවේ හේතුඵලවාදය අතර පවතින සමානතා ගැන කතා කරයි.

ග්‍රන්ථයේ දොළොස්වැනි අවසාන පරිච්ඡේදයෙන් බුදුදහමේ නිර්වාණ ධර්මය පිළිබඳ හැඳින්වීමක් ඉදිරිපත් කර ඇත.

ග්‍රන්ථයේ දෙවන කොටස අවසානයේ එන නිගමනය තුළින් කතුවරයා මුළු මහත් ලොව සිටින මානව සංහතියට යෝජනා කරන්නේ බුදුන් වහන්සේ පළමු දම් දෙසුම වන ධම්මචක්ක පවත්තන සූත්‍රය, ඉන් අනතුරුව අරිය පර්යේෂණ සූත්‍රය හා චක්කවත්ති සිහනාද සූත්‍රය යනාදී මුල් බුදු දහමට ඇතුළත් සූත්‍රවලින් ඉදිරිපත් කර ඇති ධම්මචක්ක චක්කවත්ති ධර්ම රාජ්‍ය සංකල්පය අනුව යමින්, ලෝක සාමය හා දියුණුව උපරිම ලෙස පවත්වා ගත හැක්කේ සමස්ත ලෝකයම ඇතුළත් දැහැමි පාලනයක සෙවන ඇති චක්කවත්ති නම් වූ ජගත් රාජ්‍යයක දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කමයි. එබඳු ජගත් රාජ්‍යයක යුද සංවිධානවල අවශ්‍යතාව පැන නොනගී. මුළු ලොව වසන සියලු මානව වර්ගයාට සමානාත්මතා පදනම තුළ ආර්ථික හා සමාජ සාධාරණය ඉටුවනු ඇත.

වසර 2300 කට පමණ පෙර ඉන්දියාවේ පහළ වූ චණ්ඩාශෝක අධිරාජයා බුදුදහම වැළඳ ගැනීමෙන් පසුව වත්මන් යුරෝපා මහාද්වීපයටත්, වඩා විශාල පෙදෙසක පිහිටි තම අධිරාජ්‍යය පාලනය කරන ලද්දේ බුදුන්වහන්සේ දෙසූ ධම්මචක්ක – චක්කවත්ති ධර්ම රාජ්‍ය සංකල්පයට අනුගත වීමෙනි. ඒ බව, නූතන ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය යන රටවල, සංස්කෘත, ප්‍රාකෘත, ග්‍රීක හා ආර්මේනියානු ආදී ප්‍රාදේශීය භාෂාවන්ගෙන් ස්ථාන 30 ක පමණ පිහිටුවා ඇති සෙල්ලිපි සනාථ කරයි. මේ අනුව, බුදුන්වහන්සේ ඉදිරිපත් කොට ඇති මෙම චක්කවත්ති දේශපාලන ක්‍රමය ලෝක ඉතිහාසයේ අනුගමනය කළ පළමු අධිරාජ්‍යා ධර්මාශෝක රජු බව තම නිගමනය තුළින් කතුවරයා මොනවට පැහැදිලි කරයි. බුදුන් වහන්සේ මුල් බුදුදහමේ සූත්‍රවලින් ඉදිරිපත් කර ඇති ධම්මචක්ක චක්කවත්ති ධර්ම රාජ්‍ය සංකල්පය මහායාන බුදු සමයට අයත් මහාවස්තු ග්‍රන්ථයේ “ බලචක්‍රම්හි නිස්රාය ධර්ම චක්‍රම් ප්‍රවර්තතේ ” යනුවෙන් “ස්වාධිපත්‍යය” යනු දැහැමි – නීතිගරුක පාලනයකට අනුගත වීමේ අවශ්‍යතාව ලොව වැසියනට තිබිය යුතු බවත්, එබැවින් පාලන බලය රඳා පවතින්නේ දැහැමි නීතිගරුක පාලනයක් මත බවත්” යනුවෙන් පැහැදිලි කර ඇති බව කතුවරයා තම නිගමනය මගින් ඉතා හොඳින් පෙන්වා දී ඇත.

ලොව සියලුම ආගමික හා රාජ්‍ය නායකයන් වෙත ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ සියලුම ජාත්‍යන්තර සාම සංවිධාන වෙත ද මෙම කෘතියේ විශේෂ පිළිගැන්වීම සිදු කර තිබේ.

චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment