පළමු වසර සිසුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දීලා – පේරාදෙණියේ සිසුන් 4 කගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

1449

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සිව්දෙනකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පියවර ගෙන තිබේ.

පළමු වසරේ සිසුන් දෙදෙනකුට ඔවුන් නවාතැන් ගෙන සිටි අක්බාර් නේවාසිකාගාරයට ඇතුළු වී බරපතළ ලෙස පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇත. පසුගිය 12 වැනිදා රාත්‍රියේ මෙම පහරදීම සිදු කර තිබේ. පහර කෑමෙන් තුවාල ලත් සිසුන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයෙන් පසු වූ එක් සිසුවකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

පහරකෑමට ලක් වූ සිසුන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පහර දුන් සිසුන් සිව්දෙනා විද්‍යා පීඨයේ තෙවන හා සිව්වන වසරවල අධ්‍යාපනය ලබන බව හඳුනාගෙන තිබේ. මෙම සිසුන් හතර දෙනාට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලක අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර ශිෂ්‍යභාවය අහෝසි කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබාදෙන තෙක්ය. පහර කෑමට ලක්ව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවාගේ එක් කනකට බරපතළ හානි සිදුව තිබෙන බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය මගින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සමන්තී වීරසේකර


advertistmentadvertistment