පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාර මාලාවේ දී ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා ගැනීමට උත්සාහ කර පසුව දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී බෝම්බය පිපිරී මරණයට පත්වූ පුද්ගලයා වූයේ අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල්ය. ජමීල් මෙම ප්‍රහාරයේ දී ලොකු කාර්ය භාරයක් ඉටු කළ බවට සාක්කි තිබියදී ඒ ගැන නිසි සොයා බැලීමක් මෙතෙක් කර නැත. එසේම පිල්ලෙයාන්ගේ ලේකම්වරයා වූ හන්සීර් අසාත් මවුලානාගේ අනාවරණයත් ජමීල් සම්බන්ධ ඇතැම් කාරණාත් එකිනෙකට ගැටගැහෙන සිදුවීම් දාමයකි. මේ ලිපිය ජමීල් සමග ඈඳුණු සැක සහිත කරුණු ගැනයි.

මුල අබ්දුල් රාසික්ගේ පල්ලිය

කාලයක් විදේශගතව සිට ලංකාවට පැමිණි ජමීල් සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුව සිටි ඊබ්‍රහිම්ගේ පුත් ඉල්හාම් මිතුරන් බවට පත් වන්නේ 2014 වසරේදීය. මේ දෙදෙනාම ආගමික කටයුතු සඳහා බව කියමින් ගියේ මරදානේ පිහිටි ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ පල්ලියකටය. එහි ප්‍රධානියා වූයේ අබ්දුල් රාසික් නම් පුද්ගලයාය. පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසමේදී අනාවරණය වූ පරිදි ජමීල්ගේ ආශ්‍රය සමග ඉල්හාම් වෙනස් වී තිබේ. එසේ හෙයින් ඉල්හාම් සිටි නිවසට ජමීල්ගේ පැමිණීම ඉල්හාම්ගේ නිවැසියන් විසින් තහනම් කර තිබේ. කෙසේ වෙතත් මේ දෙදෙනාගේ යාළුකම නැතිවූයේ නැත. ඔවුන් නිතර මරදානේ පල්ලියට ගියේය.

කටුවාපිටිය පල්ලියේ බෝම්බකරු වූ හස්දුන් සහ ඔහුගේ බිරිඳ පුලස්තිනී මහේන්ද්‍රන් යන දෙදෙනාගේ ආරම්භය ද ශ්‍රී ලංකා තවුහිත් ජමාත් පල්ලිය බව පාස්කු කොමිසමේ දී අනාවරණය විය. ශ්‍රී ලංකා තවුහිත් ජමාත් නායක අබ්දුල් රාසික් 2015 යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ කාර්යාලය කැඳවා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සමග සාකච්ඡා කළ බවට සාක්කි තිබේ. තවුහිත් ජමාත් සංවිධාන නියෝජිතයන් ආරක්ෂක අමාත්‍යාංශයට ද කැඳවා ද සාකච්ඡා කර ඇති බව ජනාධිපති කොමිසමේදී අනාවරණය විය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ජමීල් සම්බන්ධයෙන් සොයා බැලීම/පරීක්ෂණ පැවැත්වීම/ආවේක්ෂණය කිරීම දැනට වාර්තා වී ඇති පරිදි රාජ්‍ය බුද්ධි සේවය, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සහ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය (ටීඅයිඩී) යන ආයතනවලින් සිදු කර තිබේ. ජමීල් සම්බන්ධයෙන් දැනට හෙළිදරව්වී ඇති පරිදි ඉහත ආයතන/ අංශ තුන මගින් සොයා බැලීම් කළ ද මෙම ප්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීම් ඔහු හරහා ලබා ගැනීමට හෝ ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් විය. ජමීල්ගේ සහෝදරයා වන හකීම් මෙන්ම බුද්ධි අංශවල හිටපු ඇතැම් සාමාජිකයන් ද සාක්කි දෙමින් ප්‍රකාශ කර තිබුණේ ජමීල් සමග බුද්ධි අංශ ළඟින් ගනුදෙනු කළ බවයි.

ජමීල්ට අදාළව මෙතෙක් විමර්ශන අංශ මග හැරි සැක සහිත කරුණු ගණනාවක් තිබේ.

ආරක්ෂක කළමනාකරුගේ සාක්කිය

සෑම දිනකම උදෑසන 7ත් 8ත් අතර ඊට පෙර දින රාත්‍රී 12 වන විට හෝටලයට පැමිණි පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යැවීම සාමාන්‍ය පුරුද්දක් බව ටාජ්සමුද්‍රා හෝටලයේ ආරක්ෂක කළමනාකරු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී සාක්කි දෙමින් ප්‍රකාශ කළේය. 2019 අප්‍රේල් 20 වැනිදා සවස ජමීල් පැමිණ ටාජ් සමුද්‍රා හෝටලයේ කාමරයක් වෙන් කරවා ගත්තේය. 2019 අප්‍රේල් 20 වැනිදා රාත්‍රී 12 වන විට කාමර වෙන් කරවා ගත් ලැයිස්තුව ඔහු විසින් 21 වැනිදා උදෑසනම අදාළ අංශ වෙත යොමු කර තිබේ. ඒ වන විටත් රාජ්‍ය බුද්ධි සේවය වෙත 21 වැනිදා ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත තොරතුරු ලැබී තිබිණි. තමන් විසින් තොරතුරු රැස්කරමින් සිටින පුද්ගලයකු වන ජමීල්ගේ නම තිබෙනු දුටු බුද්ධි නිලධාරීන් කුමක් කළේද යන්න ගැන මෙතෙක් කරුණු අනාවරණය වී නැත.

එසේම හෝටලයේ කාමර වෙන් කරවා ගන්නා සියලුම දෙනාගේ ජාතික හැඳුනුම්පත් අංක හෝටල් දත්ත පද්ධතියට ඇතුළත් කිරීම සාමාන්‍යයෙන් අනිවාර්යයෙන් සිදු කරන බව හෝටලයේ ආරක්ෂක කළමනාකරු ජනාධිපති කොමිසමේ දී ප්‍රකාශ කළේය. එහෙත් ජමීල්ගේ ජාතික හැඳුනුම්පත් අංකය එම පද්ධතියේ නොමැති බව පසුව අනාවරණය විය.

කාමරයේ යතුර අතුරුදන්

2019 අප්‍රේල් 20 වැනිදා ටාජ් සමුද්‍රා හෝටලයට ජමීල් පැමිණීමට පෙර 2019 අප්‍රේල් 17 වැනිදා දහවල් 1.45ට පැමිණි ඉන්ෆාස් නම් බෝම්බකරු පැමිණ ඇති බව හෙළිදරව් විය. ඔහු පැමිණියේ කුමන හේතුවක් නිසාද යන්න අනාවරණය වී නැත. ඉන් පසු 2019 අප්‍රේල් 20 වැනිදා සවස 4.17ට පමණ කාමරය වෙන්කරවාගෙන හෝටල් කාමරයට ගොස් යළි හෝටලයෙන් පිටත්වී ගොස් ඇති ජමීල් නැවත පැමිණ ඇත්තේ 2019 අප්‍රේල් මස 21 වැනිදා උදෑසනදීය. උදෑසන පැමිණි ඔහු කාමරය අසලට ගොස් නැවත පැමිණ කාමරය විවෘත කිරීමට අලුත් කාඩ්පතක් ඉල්ලා ඇති බව ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. ඔහුට මුල් අවස්ථාවේ නිකුත් කළ කාඩ්පතට කුමක් සිදුවීද යන්න ගැන මෙතෙක් තොරතුරු නැත.

අප්‍රේල් 21 වැනිදා උදෑසන ටාජ් සමුද්‍රා හෝටලයට ජමීල් යළි පැමිණ (බෝම්බය පුපුරා නොයෑම නිසා හෝ වෙනත් කාරණයක් මත) ඔහු හෝටලයෙන් පිටත්වීමට මොහොතකට පෙර එනම් උදෑසන 8.51ත් 8.54ත් අතර ජමීල්ට දුරකතන ඇමතුමක් ආ බව සීසීටීවී කැමරාවල සටහන් විය. ජමීල්ට එලෙස ඇමතුම් ලබා දුන් පුද්ගලයා කවුරුන්ද යන්න ගැන මෙතෙක් අනාවරණය කරගෙන නැත. කෙසේ වෙතත් චැනල් ෆෝ නාලිකාව මගින් අසාත් මවුලානා නම් පුද්ගලයා ප්‍රකාශ කළේ යුද හමුදා බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තමාට කතා කර ජමීල්ව රැගෙන යන ලෙස දැනුම් දුන් බවයි.

වොයිස් පණිවිඩ 03ක්

පාස්කු ප්‍රහාරයට වසර හයක්!...අභිරහසෙහි සැඟවුණු කතා

තමා හිජ්රා යන බව පවසමින් 2019 අප්‍රේල් 20 වැනිදා උදෑසන 8.30ට ජමීල් විසින් ඔහුගේ බිරිඳ ෆාතිමා ෂිෆානා උමර්කාතාට වොයිස් පණිවිඩයක් යවා ඇති බව විමර්ශනවලදී උමර්කාතා ප්‍රකාශ කර තිබිණි. එලෙස යැව්වේ යැයි ප්‍රකාශ කරනු ලැබූ වොයිස් පණිවිඩවල කුඩා ළමයින්ගේ ශබ්ද ඇසෙන බව ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. වොයිස් පණිවිඩ 8.30ට එව්වේ නම් ඔහු ඒ වේලාවේ සිටියේ ටාජ් හෝටලයේ කාමරයේය. එසේ නම් එම වොයිස් පණිවිඩයේ පසුබිමින් කටහඬ ඇසෙන ළමයින් කවුරුන්ද සහ එම වොයිස් පණිවුඩ පටිගත කළේ සත්‍ය වශයෙන්ම කුමන ස්ථානයකදීද, කුමන දිනයකදීද යන්න මෙතෙක් අනාවරණය වී නැත. පොලිසිය පැමිණියහොත් එම හඬපට පෙන්වන ලෙස එක් වොයිස් පණිවිඩයක තිබිණි.

එම වොයිස් පණිවිඩය එවූයේ යැයි කියන ජංගම දුරකතන අංකය මකා දැමූ බව ජමීල්ගේ බිරිඳ උමර්කාතා විමර්ශනවලදී ප්‍රකාශ කර තිබේ. එම වොයිස් පණිවිඩය පැමිණියේ ජමීල්ගේ සාමාන්‍ය දුරකතන අංකයෙන් නොවන බවද ඇය සඳහන් කර තිබේ. ඒ අනුව මෙම වොයිස් පණිවිඩය එවන ලද්දේ ජමීල් විසින්මද, නැත්නම් කලින් පටිගත කළ හඬපටයක් වෙනත් පුද්ගලයකු විසින් එවන ලද්දේද යන්න ගැනත්, එලෙස එවන ලද අංකය කුමක්ද යන්න ගැනත් මෙතෙක් විමර්ශන මගින් අනාවරණය කරගෙන නැත.

සීසීටීවී මැකිලා

2019 අප්‍රේල් 19 වැනිදා ජමීල් නිවසින් පිටවූ මොහොතට අදාළව සීසීටීවීවල සටහන් වූ දර්ශන 2019 අප්‍රේල් 21 සවස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පරීක්ෂා කර ඇති අතර එම දර්ශන ඇතුළත් ඩීවීආර් යන්ත්‍රය ත්‍රස්ත මර්දන අංශයේ නිලධාරීන් රැගෙන ගොස් තිබිණි. එලෙස රැගෙන යන විට 2019 මාර්තු 31 වැනිදා සිට අප්‍රේල් 21 සවස යන්ත්‍රය ගලවන අවස්ථාව වන තෙක් දර්ශන පටිගත වී තිබී ඇත. එලෙස රැගෙන ගිය ඩීවීආර් යන්ත්‍රයේ 2019 අප්‍රේල් 19 වැනිදා උදෑසන 8.00 සිට 2019 අප්‍රේල් 21 වැනිදා සවස 2.30 දක්වා වූ වීඩියෝ කොටස පමණක් නොමැති බව ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. නිලධාරීන් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණේ ඩීවීආර් යන්ත්‍රය ගලවාගෙන ගොස් අදාළ විමර්ශන සිදුකරන අවස්ථාවේදී අදාළ වීඩියෝ දර්ශන මැකී යන්නට ඇති බවයි. මුලින් අදාළ දර්ශන තිබී ඇති අතර පසුව සමස්ත සීසීටීවී දර්ශනවලින් ජමීල් නිවසින් පිටත්වන දිනයේ සිට ටීඅයිඩී නිලධාරීන් යන්ත්‍රය ගලවා ගන්නා අවස්ථාව වන තෙක් කොටස පමණක් මැකී ගියේ කිසිවකු විසින් ජමීල් සමග පැවැති වෙනත් සබඳතා වසං කිරීම සඳහා කරන ලද ක්‍රියාවක ප්‍රතිඵලයක් විසින් ද යන්න ගැන බරපතළ සැකයක් තිබේ.

2019 අප්‍රේල් 20 වැනිදා සවස ටාජ් හෝටලයට ගොස් ඉන් පිටත්වී ඇති ජමීල් ඉන් පසු පානදුර පිහිටි නිවසකට ගොස් ඇති අතර එතැන් සිට සවස 7ට පමණ පිටත්වී ගල්කිස්ස ටෙම්ප්ලස් පාරේ ස්පෑම් ටවර් වෙත සවස 7.33ට තවත් දෙදෙනකු සමග ගොස් ඇති බවට කරුණු අනාවරණය වුවද එලෙස ගිය දෙදෙනා කවුරුන්ද යන්න ගැන විමර්ශන පවත්වා නැත.

ජංගම දුරකතනය අතුරුදන්

2019 අප්‍රේල් 21 වැනිදා ජමීල් එබනිසා පල්ලිය තුළ සිටියදී ඔහුගේ අතේ ජංගම දුරකතනයක් තිබෙනු පල්ලියේ මවුලවිවරයා නිරීක්ෂණය කර තිබිණි. කෙසේ වෙතත් පල්ලියෙන් පිටතට යද්දී ඔහු පරීක්ෂා කරද්දී ජංගම දුරකතනයක් නොතිබූ බව අමීර් නම් පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියා ඔහු පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රකාශ කර තිබේ. එබනිසා පල්ලිය තුළදී ඔහු සතුව තිබූ ජංගම දුරකතනය පල්ලියෙන් පිටතට පැමිණීමේදී නොතිබීමට හේතුව සහ ඔහු සතුවූ ජංගම දුරකතනය කිසියම් පුද්ගලයකු ලබාගෙන ඇත්ද, එසේ ලබාගෙන ඇත්නම් ඒ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුය.

2019 අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් සුළු වේලාවකට පසු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් ජමීල්ගේ නිවස වෙත යුද හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් යොමු කර ඇතැයි ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. එබනිසා පල්ලිය අසලදී ජමීල්ව පරීක්ෂා කළ පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයාට එලෙස ගිය බුද්ධි නිලධාරීන් දුරකතන ඇමතුමක් ලබාදී හැව්ලොක් බුදුපිළිමයක් අසලට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත්, ඔහු එහි ගිය ද අදාළ පිරිස නොපැමිණි නිසා ඔවුන් අනතුරක් කිරීමට උත්සාහ කළේද යන්න ගැන සැක මතුවී වහාම වැල්ලවත්ත පොලිසියට ආරක්ෂක නිලධාරියා ගොස් ඇති බවත් ජනාධිපති කොමිසමේදී අනාවරණය විය.

ජමීල්, සහරාන් ඇතුළු පිරිස 2019 අප්‍රේල් 20 වැනිදා දහවල් ගිනි අවි සහ වෙනත් ආයුධ රැගෙන පටිගත කළේ යැයි කියනු ලබන දර්ශන ඇතුළත් මෙමරි චිප් අප්‍රේල් 27 වැනිදා කල්මුණේ ප්‍රදේශයේ තිබී සොයා ගෙන අක්කරේපත්තු පොලිසියේ නිලධාරීන් විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දෙනු ලැබ තිබේ. එම දර්ශන අදාළ ප්‍රදේශයට රැගෙන ගියේ කවුරුන්ද යන්න ගැන විමසද්දී ජනාධිපති කොමිසමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ප්‍රකාශ කළේ මඩකලපුව බෝම්බකරු එලෙස රැගෙන යන්නට ඇතැයි සැක කරන බවයි. කෙසේ වෙතත් මඩකලපුව බෝම්බකරු සම්බන්ධ විමර්ශනයේදී ඒ බවට අනාවරණය වී නැත. එසේ නම් එම දර්ශන අදාළ ප්‍රදේශයට රැගෙන ගියේ කවුරුන් විසින් ද යන්න ගැන බරපතළ සැකයක් තිබේ.

බුද්ධි අංශවලින් නිවසක්

පාස්කු ප්‍රහාරයට වසර හයක්!...අභිරහසෙහි සැඟවුණු කතා
පිල්ලෙයාන් පාස්කු කොමිසමට එවූ ලිපියක කොටසක්

ජමීල් සාමාජිකත්වය දැරූ (තවත් බෝම්බකරුවන් තිදෙනකු සාමාජිකත්වය දැරූ) ජේ.එම්.අයි සංවිධානයට සුරේෂ් සලේ මහතා බුද්ධි අධ්‍යක්ෂව සිටියදී යුද හමුදා බුද්ධි අංශ ඒජන්තයකු යොමු කර ඇති බවත්, එම ඒජන්තයාට ජේඑම්අයි සංවිධානයේ සාමාජිකයකුව සිටිමින් ජේඑම්අයි සංවිධානයේ සාකච්ඡා පැවැත්වීම සඳහා විදේශ බුද්ධි අංශයක සහයෝගයෙන් නිවසක් ලබාදී ඇති බව ජනාධිපති කොමිසමේ දී හිටපු බුද්ධි අධ්‍යක්ෂ චූලා කොඩිතුවක්කු මහතා සාක්කි දෙද්දී අනාවරණය විය. ජේඑම්අයි සංවිධානයේ සාමාජිකයකු ලෙස ඒජන්තවරයකු යොදවා සිටියදීත් ඔවුන්ගේ සැලසුම් ගැන අනාවරණය කරමින් එය ව්‍යර්ථ කිරීමට අපොහොසත්වීමත් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් මේ වන තෙක් සිදුවී නැත.

මෙතරම් සැක සහිත කාරණා ගණනාවක් ජමීල් සහ ඔහුගේ කණ්ඩායම වටා ගෙතී තිබේ. චැනල් ෆෝ නාලිකාව මගින් 2023 සැප්තැම්බර් මාසයේදී හන්සීර් අසාත් මවුලානා නම් පුද්ගලයා අනාවරණයක් කළේ මේ අතරතුරදීය. එම අනාවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ ගැන සොයා බැලීමට විනිසුරු අයි. එම්. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙක් කමිටුවක් පත් කළේය. එම කමිටුව ප්‍රසිද්ධියට පත් කළේ හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාය.

අසාත් මවුලානා බන්ධනාගාරයට

කමිටු වාර්තාවේ සඳහන් කර ඇති පරිදි අසාත් මවුලානා 2012 සිට 2022 දක්වා පිල්ලෙයාන් නායකත්වය ද දරණ ටීඑම්වීපී පක්ෂයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කර තිබේ. ඔහු පිල්ලෙයාන් සමග ළඟ ගනුදෙනුවක් පවත්වා ඇති අතර පිල්ලෙයාන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස මුලින්මද, පසුව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. පිල්ලෙයාන් සහ අසාත් මවුලානා අතර ළඟ සම්බන්ධතාවක් තිබුණු බව විනිසුරු ඉමාම් වාර්තාවේ 09 වැනි පිටුවේ සඳහන්ව තිබේ. එසේම අසාත් මවුලානා හට සහරාන් සමග සබඳතා තිබුණු බවට සැක කරන බවත්, අසාත් මවුලානා රටින් පිටවුණේ එම හේතුව නිසා විය හැකි බවත් එම කමිටු වාර්තාවේ සඳහන් වේ. ජෝසප් පරරාජසිංහම් හිටපු මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2015දී අත්අඩංගුවට ගත් පිල්ලෙයාන් 2020 වසර දක්වා රිමාන්ඩ් භාරයේ සිටියේය. ඔහු මඩකලපුව බන්ධනාගාරයේ සිටියදී 2017 මාර්තු 10 සිදු වූ අල්ලියාර් හංදියේ ගැටුමට සැකපිට සහරාන්ගේ සහෝදරයා වූ ශයිනි මවුලවි ඇතුළු පිරිසක් රිමාන්ඩ් කරනු ලැබිණි. ශයිනි සහ පිල්ලෙයාන් ඉතා ළඟින් ආශ්‍රය කළ බවත්, පොත්පත් පවා හුවමාරු කර ගත් බවත් පිල්ලෙයාන් පාස්කු ගැන සෙවූ ජනාධිපති කොමිසමේදී පිළිගත්තේය. පිල්ලෙයාන් බන්ධනාගාරයේ සිටියදී හන්සීර් අසාත් මවුලානා ඔහු බැලීමට මඩකලපුව බන්ධනාගාරයට ගිය බව බන්ධනාගාර නිලධාරීන්ගේ සාක්කි මගින් අනාවරණය වී තිබේ.

එසේ තිබියදී අයි.එම්. ඉමාම් කමිටු වාර්තාවේ 10 වැනි පිටුවේ තවත් වැදගත් කාරණයක් අනාවරණය කර ඇත. එනම් සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන් බෝම්බ අත්හදාබැලීමකදී තුවාල වූ පසු 2018 දී ප්‍රතිකාර කළ වෛද්‍යවරයා සහ අසාත් මවුලානා යන දෙදෙනාම මරදමුනේ මෙන්ම දෙහිවල එබනිසා පෙදෙසේ ද අසල්වාසීන් බවයි. පාස්කු මහමොළකරුවන් ගැන අපරාධ විමර්ශනවලදී මෙතෙක් හෙළි නොවුණු කාරණා ගණනාවක් සමග එය සම්බන්ධිතය.

සහරාන් කොළඹට

විනිසුරු ඉමාම් කමිටු වාර්තාවේ සඳහන් කරන ශෆ්රාස් නම් වෛද්‍යවරයාට 2018 අගෝස්තු මස 27 වැනිදා අලුයම 1.38ට දුරකතන ඇමතුමක් ලැබේ. ඇමතුම ලැබෙන්නේ විදේශයක සිටි මොහොමඩ් අල්ලියාර් මර්ෂුක් රිලා නම් පුද්ගලයාගෙනි. ඔහුගේ සම්බන්ධීකරණය මත වෛද්‍යවරයා ලබා දුන් උපදෙස් අනුව රිල්වාන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීම සිදුවිය. මර්ෂුක් රිලා සහ වෛද්‍ය ශෆ්රාස් එකම පාසලේ මිතුරෝ වූහ. රිලා ලංකාවට පැමිණි පසු සහරාන්ව ද කැටුව 2018 දෙසැම්බර් මාසයේදී වෛද්‍යවරයා හමුවීමට පැමිණි බවත්, සහරාන් සමග තවත් තිදෙනකු පැමිණි බවත් වෛද්‍යවරයාගේ සාක්කියෙන් වැඩිදුරටත් කියැවිණි. කෙසේ වෙතත් සහරාන් සමග පැමිණි අනිත් දෙදෙනා කවුරුන්ද යන්න මෙතෙක් හෙළිදරව් වී නැත.

2018 වසරේ දෙසැම්බර් මාසයේ දී සහරාන් තවත් කිහිප දෙනෙකු සමග මෙම වෛද්‍යවරයා හමුවී ඇත්තේ ඔහුගේ කොළඹ නිවසේදීය. ඔහුගේ කොළඹ නිවස පිහිටා ඇත්තේ දෙහිවල එබනිසා පෙදෙසේ අසාත් මවුලානාගේ නිවස අසලම බව ඉමාම් කමිටු වාර්තාවේ සඳහන් වේ. එසේ නම් සහරාන් ඇතුළු පිරිස වෛද්‍යවරයා හමුවී ඇත්තේ දෙහිවල එබනිසා පෙදෙසේදීය. අසාත් මවුලානාගේ නිවස අසලදීය.

ඉමාම් කමිටු වාර්තාව සඳහන් කරන්නේ මෙම වෛද්‍යවරයාට රටින් යෑමට උදව් කර ඇත්තේ අසාත් මවුලානා බවට පෙනී යන බවයි. අසාත් මවුලානා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන චැනල් ෆෝ නාලිකාව හරහා කළ හෙළිදරව් කිරීමේ යම් පදනමක් ඇති බව කීමට මෙයම හොඳ උදාහරණයකි. අසාත් මවුලානා චෝදනා කරන්නේ යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා 2019 අප්‍රේල් 21 වැනිදා කතා කර ජමීල්ව රැගෙන යන ලෙසට දැනුම් දුන් බවයි. මීට පෙර සඳහන් කළ පරිදි 2019 අප්‍රේල් 21 වැනිදා ටාජ් සමුද්‍රා හෝටලයේදී බෝම්බය පිපිරී නොගිය අතර එදින උදෑසන 8.51ත් 8.54ත් අතර ජමීල්ට දුරකතන ඇමතුමක් ලැබෙයි. එම ඇමතුමෙන් පසු ජමීල් හෝටලයෙන් පිටත්ව දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලට ගොස් බෑගය එහි තබා ඔහු යන්නේ දෙහිවල එබනිසා පෙදෙසේ මුස්ලිම් දේවස්ථානය වෙතය. කොළඹ සිට දෙහිවල දක්වා මුස්ලිම් පල්ලි ගණනාවක් තිබුණ ද ඔහු යන්නේ එබනිසා පල්ලිය වෙතය. ඔහු පුද්ගලයකු එනතුරු දීර්ඝ වේලාවක් රැඳී සිටි අතර තමා රැඳී සිටින්නේ මිතුරකු එන තෙක් බව පල්ලියේ මවුලවිවරයාට ජමීල් ප්‍රකාශ කළ බව ජනාධිපති කොමිසමේ දී අනාවරණය විය. චැනල් ෆෝ චෝදනා ගැන සෙවූ ඉමාම් කමිටුව සඳහන් කරන පරිදි දෙහිවල එබනිසා පෙදෙසේ අසාත් මවුලානාට අයත් නිවසක් තිබේ. එසේ නම් ජමීල් ටාජ් හෝටලයේ සිට දෙහිවල එබනිසා පල්ලියට ගියේ අසාත් මවුලානා හමුවීමට ද, එසේ නැතිනම් ඔහුගේ නියෝජිතයකු හමුවීමට ද?

පාස්කු නූල්බෝලය ලිහන වැදගත්ම සාධකය ජමීල් සහ ජමීල්ගේ දුරකතනයයි. ඒ ඔස්සේ කරන විමර්ශනවලදී තවත් බොහෝ තොරතුරු හෙළිදරව් වනු ඇත.

තරිඳු ජයවර්ධන


advertistmentadvertistment