ආගම් හා ජාතීන් අතර සහජීවනය ඇතිකිරීමට සුදුසු අවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පසුගිය කාලයේ අත්වූ ශෝචනීය ඉරණමට මුල් වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා ඇතුළු ඇතැමුන් කරන ප්‍රකාශ තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය තරයේම ප්‍රතික්‍ෂේප කරන බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පවසති.
උන්වහන්සේ එසේ පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එල්ල වන චෝදනා නිවැරැදි කිරීමේ අරමුණින් බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මේ රටේ ඉතා තීරණාත්මක අවස්ථාවක්. ශ්‍රී ලංකාව ජාතීන් රැසක් ජීවත් වන ආගම් රැසක් අදහන රටක්. අප රට බෞද්ධාගම මුල්කරගත් සෙසු සෑම ආගමක් මෙන්ම මහා සංඝරත්නය ඇතුළු සියලු පූජ්‍ය පූජකවරුන් ගෞරවයට පාත්‍රවිය යුතුමයි. ඉකුත් කාලයේ සිදුවූ ඉතාම ශෝචනීය සිද්ධිය පාස්කු ප්‍රහාරයයි. එම සිද්ධියට වක්‍රාකාරයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට චෝදනා කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියන්නෙ, බුදු දහම නගාසිටුවන්නට කැපවූ නායකයෙක්. කිසිම අවස්ථාවක රටට අයහපත් දෙයක් ඔහුගෙන් සිදු වුණේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිරිපුන් බෞද්ධයෙක්. ඒ නිසා ඒ මහතාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා කිරීම වැරදි බව මා කියනවා යැයි ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ ප්‍රකාශ කළහ.
මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දොස් නැඟීම ආගමික සහජීවනයට අනතුරක් බවද උන්වහන්සේ සඳහන් කළහ.
කෝට්ටේ ශ්‍යාමෝපාලි මහා නිකායේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ අදහස් දක්වමින් මෙසේ පැවසූහ.
ඕනෑම කෙනකුට අප රට තුළ කැමති ආගමක් ඇදහීමේ අයිතිය තියෙනවා. අවස්ථා ගණනාවකදී කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දොස් නගනවා සහ චෝදනා කරනව අසා තිබෙනවා. කවදත් පිරිපුන් බෞද්ධයකු වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා එවැනි ම්ලේච්ඡ ක්‍රියාවකට ඉඩ නොදෙන කෙනෙක්. ඒ මහතාට නිකරුණේ චෝදනා නොකරන ලෙස ඉල්ලා සිටිනවා යැයි උන්වහන්සේ සඳහන් කළහ.
ධර්මසේන වැලිපිටිය, ඥාණතිස්ස ජයවර්ධන -බොරලැස්ගමුව