පිල්ලෙයාන් සමග රනිල්ට කතා කරන්න ඕනෑ කියා විමර්ශන නිලධාරියකුට ඇමතුමක් දුන්නැයි රනිල්ගේ රැකවලා කන්කසන්තුරේට යවයි

60

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග දුරකථනයෙන් කතා කිරීමට අවශ්‍ය බව පවසා විමර්ශන නිලධාරියකුට දුරකථන ඇමතුමක් දුන් බව කියන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිසියට මාරුකර යවා ඇත.

මෙසේ මාරුකර යවා ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතාය.

ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වසර 23ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග මහතා කියා සිටියේ පිල්ලෙයාන්ට මෙම දුරකථන ඇමතුම ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන නිසා මෙම නිලධාරියා මාරුකර යැවූ බවයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment