නිලන්ත පමණක් තාමත් ගෙවා නෑ
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ රුපියල් මිලියන 75ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබේ.
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරමාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම මගින් පාස්කු වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරමින් අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඬුල්ලක් 2023.01.12 එකී වන්දිය ගෙවන ලෙසට පූජිත් ජයසුන්දර මහතාට නියම කොට තිබිණි. සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් 2019.04.21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට ගොදුරුව මියගිය හා බරපතළ තුවාල ලැබූ පිරිසගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් හා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා විසින් ඉදිරිපත් කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් සම්බන්ධයෙන්
විභාගයක් පැවැත්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු සත්පුද්ගල විනිසුරු මඬුල්ල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පස්දෙනකුට පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවන ලෙසට නියෝග කොට තිබිණි.
එලෙස වන්දි ගෙවීමට නියම වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුපියල් මිලියන 100ක වන්දියත්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 50ක වන්දියත්, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඔහුට නියම වූ රුපියල් මිලියන 10ක වන්දියත් ගෙවා නිමකර ඇති අතර මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇති රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ නිලන්ත ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ රුපියල් මිලියන 75ක වන්දි මුදල මේ දක්වා ගෙවා අවසන් කර නොමැති බව වාර්තා වේ.
සිය සේවාදායකයා වන පූජිත් ජයසුන්දර මහතා
පසුගිය අගෝස්තු 30 වැනිදා සම්පූර්ණ වන්දි මුදලම ගෙවා අවසන් කළ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතාද තහවුරු කළේය. තම අධිකරණය විසින් නියම කළ පරිදි සියලුම වගඋත්තරකරුවන් වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති දැයි සලකා බැලීමට සහ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති පිරිසට එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීම සඳහා ලබන 27 වැනිදා එම මූලික අයිතිවාසිකම් පෙත්සම් යළි කැඳවීමට නියමිතය.