විදුලි බිල වැඩි කළ යුතු නැහැ – මහජන උපයෝගීතා කොමිසම

86

දැනට තිබෙන දත්තවලට අනූව විදුලි ගාස්තු වැඩි කිරීමට අවශ්‍ය නැතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලි ගාස්තු යළි ඉහළ දැමීමක් සම්බන්ධයෙන් තාමත් විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර නැතැයිද එලෙස මිල සංශෝධනයක් කරන්නේ නම් ලංවිම ඉටුකළ යුතු කොන්දේසි කිහිපයක් තිබෙන්නේ යැයිද ඒ මහතා ඊයේ (01 දා) කොළඹ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සියයට හතළිහකින් හා ගල් අඟුරු මිල ගණන් ආදිය අඩුවී තිබුණත් ඊට සාපේක්‍ෂව මෙරට මිල ගණන් පහළ ගොස් නැතැයිද ඒ මහතා කීය.

මේ වන විට තෙල් සඳහා වැඩි මිලක් ගෙවා එම ප්‍රමාණය පාරිභෝගිකයන්ගෙන් මණ්ඩලය අයකර ගන්නා බවත් විදුලි බලාගාරවලට අවශ්‍ය නැප්තා සහ දැවිතෙල් (ෆර්නස්) ලංවිම කෙළින්ම මිලදී ගන්නේ නම් දැනට දරන රුපියල් කෝටි හතළිස් දහසක (බිලියන 400) රුපියල් කෝටි විසිදහස බිලියන විසිදහස දක්වා අඩුකරගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ වනවිට විදුලි බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් (ෆර්නස්) ලීටරයක් තෙල් සංස්ථාවෙන් මිලදී ගනු ලබන්නේ රුපියල් 320 කට යැයිද නැප්තා ලීටරයක් මිලදී ගන්නේ රුපියල් 160කට යැයිද ජනක රත්නායක මහතා කීවේය. ලංකා ඛනිජතෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 150 ක් ලාභ ලබන මොහොතක විදුලි බලාගාර සඳහා අවශ්‍ය නැප්තා හා දැවිතෙල් ලංවිමට කෙළින්ම ආනයනය කර ගැනීමට හැකි නම් වියදම් අඩු වන බවද ඔහු කීවේය.

කෙසේ වෙතත් දැනට තිබෙන දත්තවලට අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමට අවශ්‍ය නැතැයි ද ඒ මහතා තවදුරටත් පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment