ඉන්දීය පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක පොඩි ලැසී නමැත්තා මේ මස අගදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ පොලිසිය අතර පැවති සාකච්ඡා මේ වනවිට අවසන් කර ඇති අතර ගුවන්යානා පහසුකම් ලබා ගැනීමත් සමගම පාතාල නායකයා මෙරටට රැගෙන එන බව එම ආරංචි මාර්ග කියා සිටියේය.
බොහෝවිට මෙම අපරාධකරු ලබන 30 වැනිදා රැගෙන ඒමට නියමිතව ඇති බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පිරිසක් ඒ සඳහා ඉන්දියාවට යෑමට සූදානමින් සිටිති.
මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු රට පුරා සිදු වූ දරුණු අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කාලයක් තිස්සේ බන්ධනාගාරගත කර සිටි පොඩි ලැසීට මීට මාස කීපයකට පෙර අධිකරණයෙන් ඇප ලැබිණි.
එසේ ඇප ලබා ගැනීමෙන් පසු ඔහු මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා ගියේය. පොඩි ලැසී ඉන්දියාවේ සැඟවී සිටියදී ඔහු ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගෙන රටින් පිටවීමට උත්සාහ කරද්දීය.
පොඩි ලැසී මෙරටට රැගෙන ඒමෙන් පසුව ඔහුට එරෙහි විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.
හේමන්ත රන්දුණු
|