පොලී ආදායම මත රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් වීමට….

355

වත්මන් රජය විසින් පොලී ආදායම මත අයකරනු ලැබූ සියයට 5 ක රඳවා ගැනීමේ බද්ද සියයට 10 දක්වා වැඩි කරනු ලැබූවේය. එහෙත් එම බද්ද ගෙවිය යුතු වන්නේ මාසික තක්සේරු ආදායම මසකට රු.150,000 ක් ඉක්මවන, එසේ නැත්නම් වාර්ෂික තක්සේරු ආදායම රු. ලක්ෂ 18 ඉක්මවන අය පමණක් බව ද රජය පැත්තෙන් ප්‍රකාශ කරන ලදී. එහෙත් ප්‍රශ්නය වූයේ සියලු බැංකු තැන්පත් ගිණුම් හිමියන්ගෙන් බැංකු හා මූල්‍ය ආයතන විසින් එම බදු මුදල කපා ගැනීමයි. එසේ නම් එම බදු බැඳියාවට ලක් නොවෙන අය තමාගෙන් කපාගත් එම බදු මුදල නැවත ලබා ගන්නේ කෙසේ ද යන්න පසුගිය කාලය තිස්සේම මහජනතාවට මතුව තිබූ ප්‍රශ්නයක් විය. මේ ගැන ක්‍රමවේදයක් සකසන බවට රජය විසින් මුලදී ප්‍රකාශ කළත් කලක් තිස්සේම ඒ ගැන කිසිම කතාවක් නොතිබුණි. එහෙත් මේ වන විට ඒ සඳහා කිසියම් විසඳුමක් රජය විසින් ලබා දී ඇත. එය සතුටට කරුණකි. මේ ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් විසින් පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාාරයේ දී මාධ්‍ය හමුවක් ද පවත්වා ජනතාවට කරුණු පැහැදිලි කර තිබුණි. එහිදී කියා සිටියේ ගිණුම් හිමියන්ට (මේ බද්දට යටත් නොවෙන) අදාළ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ස්වයං ප්‍රකාශයක් ලබා දීමෙන් මේ බද්දෙන් නිදහස් විය හැකි බවයි. එම ස්වයං ප්‍රකාශය සමග ටින් අංකය අනිවාර්යයෙන් සඳහන් කළ යුතු වුවත් පවතින තදබදය නිසා ටින් අංකය නොමැතිව මේ දිනවල එය භාරදිය හැකි බවට ද එම නිලධාරීන් පවසා තිබුණි. එසේම මේ වන විට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දුගේ අත්සනින් ද මේ ගැන ප්‍රයෝජනවත් සටහනක් නිකුත්ව ඇත. එම සටහන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය වට්ස්ඇප් සමූහයට යොමුකර තිබුණි.

බැංකු සහ මූල්‍ය ආයතන විසින් තැන්පතු මත පොලී ගෙවීම් සඳහා අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීමේ ක්‍රියා පටිපාටිය සහ තැන්පතු පොලී මත රඳවා ගැනීමේ බද්දට යටත් වන නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති පුද්ගලයින් සඳහා අදාළ ස්වයං ප්‍රකාශ යාන්ත්‍රණය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා මේ සටහන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සකසා තිබේ. මෙම පැහැදිලි කිරීමේ සටහන ප්‍රකාශයට පත් කිරීමෙන් අපේක්ෂා කරනු ලබන්නේ පහත සඳහන් චක්‍රලේඛ දෙක ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව බැංකු, මූල්‍ය ආයතන සහ වාසික පුද්ගලයින් විසින් ඒ සම්බන්ධයෙන් විමසනු ලබන ගැටලු පැහැදිලි කිරීමට බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. එම චක්‍රලේඛ දෙක මෙසේය.

  1. රඳවා ගැනීමේ බද්දට යටත් පොලී ආදායමක් සහිත නමුත් බදු අය කළ හැකි ආදායමක් නොමැති වාසික පුද්ගලයින් සඳහා චක්‍රලේඛය – චක්‍රලේඛ අංක: SEC/2025/E/03 – 2025 මාර්තු 28
  2. බැංකු සහ මූල්‍ය ආයතන සඳහා චක්‍රලේඛය – තැන්පතු මත පොලීය හෝ වට්ටම් සඳහා අත්තිකාරම් ආදායම් බදු අඩු කිරීම – චක්‍රලේඛ අංක. SEC/2025/E/02 – 2025 මාර්තු 28

බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ඉදිරිපත් කරන ස්වයං ප්‍රකාශ ආකෘති පත්‍රයේ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) සඳහන් කිරීමේ අවශ්‍යතාව ගැන සහ එම සටහනේ ඇති තවත් වැදගත් මූලික තොරතුරු කිහිපයක් ගැන මහජනයාගේ දැනුවත්භාවය උදෙසා අපි මෙසේ සටහන් කරමු.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියගේ සටහනේ සඳහන් වන පරිදි ස්වයං ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන පුද්ගලයා විසින් ස්වයං ප්‍රකාශ ආකෘති පත්‍රයේ සිය බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (ටින්) අනිවාර්යයෙන් සඳහන් කළ යුතු ය. කෙසේ වුවද, බැංකු සහ මූල්‍ය ආයතන විසින් එම ටින් අංකයේ නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීම සඳහා තහවුරු කිරීමේ ලේඛන (ටින් සහතිකයේ පිටපත් යනාදිය) ඉල්ලා සිටීමට අවශ්‍ය නොවේ. ටින් අංකය ඉලක්කම් නවයකින් සමන්විතය. එකම ටින් අංකය වෙනත් තැන්පත්කරුවකු විසින් ඉදිරිපත් කර ඇති බව බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් හඳුනාගනු ලැබුවහොත්, අදාළ ස්වයං ප්‍රකාශය වලංගු නොවන සේ සැලකිය හැකි ය. එවැනි අවස්ථාවල දී පමණක් ස්වයං ප්‍රකාශ ඉදිරිපත් කරන එක් එක් තැනැත්තාගේ ටින් අංකයේ නිරවද්‍යතාව පරීක්ෂා කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ටින් සහතිකය ඉල්ලා සිටිය හැකිය.

ටින් අංකය ගැනීමේ තදබදයට පිළියමක්

ටින් අංකය ගැනීම සඳහා ලොකු තදබදයක් ඇති වී ඇති බවද වාර්තා විය. එම අංකය අයදුම් කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩි වීම හේතු කොට ගෙන බොහෝදෙනකු ප්‍රමාදවලට සහ දුෂ්කරතාවලට මුහුණ දී ඇත. මෙම තත්ත්වයට පිළියමක් ලෙස, බැංකු සහ මූල්‍ය ආයතන විසින් අදාළ තැන්පතුකරුවන්ගේ තොරතුරු මයික්‍රොසොෆ්ට් එක්සෙල් වර්ක් ෂීට් එකක රැස් කර සමූහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තුළින් ටින් අංක ලබා දීමට සහාය විය යුතු යැයි තීරණය කර ඇත. එම නිසා යම් ගනුදෙනුකරුවකු ටින් අංකයක් සඳහා ලියාපදිංචි වීමට අපේක්ෂා කරන්නේ නම්, බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් ඒ සඳහා අවශ්‍ය දත්ත නියමිත ආකෘති පත්‍රයේ සම්පාදනය කළහොත් එය ගනුදෙනුකරුවන්ට මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද මහඟු උපකාරයක් වේ. සම්පූර්ණ කරන ලද එක්සෙල් වර්ක් ෂීට් එක විද්‍යුත් තැපෑල හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබාදිය යුතු වේ. බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් මාසික පදනම මත රැස් කර ගන්නා තොරතුරු ඊළඟ මාසයේ පළමු වැඩ කරන දින 10 සම්පූර්ණ වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු අතර එමගින් බදු ගෙවන්නන් ලියාපදිංචි කර ටින් අංක අදාළ තැන්පතුකරුවන් හා බැංකුව වෙත නිකුත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවස්ථාව සැලසෙයි. මේ සමූහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නිමවෙන තුරු බැංකුවට හෝ මූල්‍ය ආයතනයට මෙම කාර්යය සඳහා ටින් අංකය නොමැතිව, මෙම වර්ෂයේ දී පමණක් පුද්ගලයින්ගේ ස්වයං ප්‍රකාශ භාර ගත හැකි බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ගිණුම් කිහිපයක් වෙනුවෙන් ස්වයං ප්‍රකාශ

එකම ආයතනය සහ වෙනස් ආයතන සමග පවත්වාගෙන යනු ලබන ගිණුම් සඳහා ස්වයං ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ දී යම් පුද්ගලයකු විසින් එකම බැංකුවක හෝ මූල්‍ය ආයතනයක විවිධ වර්ගයේ ගිණුම් (ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු, තැන්පතු සහතික යනාදි) පවත්වාගෙන යන්නේ නම්, එම සියලුම ගිණුම් සඳහා එක් ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බවට ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. එහෙත් එම පුද්ගලයා බැංකු හෝ මූල්‍ය ආයතන කිහිපයක ගිණුම් පවත්වාගෙන යන්නේ නම් (එනම් එකම බැංකුවේ විවිධ ශාඛාවන්වල නොවන විට) එම එක් එක් බැංකුව හෝ මූල්‍ය ආයතනය වෙත වෙන වෙනම ස්වයං ප්‍රකාශ භාර දිය යුතු බවට ද දැනුම් දී ඇත.

බද්ධ ගිණුම්වලට ස්වයං ප්‍රකාශය

අදාළ තක්සේරු වර්ෂය සඳහා බද්ධ ගිණුම් හිමියන් අතරින් එක් අයකුගේ (පළමුව සඳහන් කරන ලද ගිණුම් හිමියාගේ) තක්සේරු කළ හැකි මුළු ආදායම රු,1,800,000ට වඩා අඩු නම් ද එම වර්ෂය සඳහාම අනෙක් ගිණුම් හිමියාගේ (දෙවනුව සඳහන් කරන ලද ගිණුම් හිමියාගේ) මුළු තක්සේරු කළ හැකි ආදායම රු.1,800,000 ඉක්මවන්නේ නම් ද, එම බද්ධ ගිණුමෙන් පළමුව සඳහන් කරන ලද ගිණුම් හිමියාට ව්‍යුත්පන්න වන හෝ ව්‍යුත්පන්න වීමට නියමිත පොලී ආදායමේ තම කොටස සඳහා ස්වයං ප්‍රකාශයක් භාර දීමට පළමුව සඳහන් කරන ලද ගිණුම් හිමියා සුදුසුකම් ලබයි. එවැනි අවස්ථාවන්හි දී, බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් දෙවනුව සඳහන් කරන ලද ගිණුම් හිමියා වෙත ආරෝපණය කළ හැකි පොලියේ කොටස මත පමණක් සියයට 10 ක රඳවා ගැනීමේ බද්ද අඩු කළ යුතුය. තව ද, බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් දෙවනුව සඳහන් කරන ලද ගිණුම් හිමියාගේ නමින් රඳවා ගැනීමේ බදු සහතික නිකුත් කළ යුතුය. ඒ සමග ම පොලී ආදායමේ අදාළ කොටස් අදාළ උපලේඛනවල නිවැරදිව පිළිබිඹු විය යුතුය.

මෙහිදී තවත් ප්‍රශ්නයක් විමසිය හැකිය. එනම් ඉදිරිපත් කරන ස්වයං ප්‍රකාශයේ නිරවද්‍යතාව තහවුරු කරගන්නේ කෙසේ ද යන්නයි. මෙහිදී බැංකුව හෝ මූල්‍ය ආයතනය සතු තොරතුරු මත පදනම්ව ස්වයං ප්‍රකාශයේ සපයා ඇති තොරතුරු නිවැරදි බවට සත්‍යාපනය කරගත යුතු වේ. එනම් තැන්පතු හිමියන් විසින් භාර දෙනු ලබන ස්වයං ප්‍රකාශවල වලංගුභාවය බැංකු හෝ මූල්‍ය ආයතන විසින් තහවුරු කර ගැනීමට පදනම් කරගත යුතු නිර්ණායක මෙසේය.

අ. නිල ආකෘති පත්‍රය භාවිත කිරීම – ස්වයං ප්‍රකාශය දේශීය ආදායම් වෙබ් අඩවියෙන් බාගත කරගත් නියමිත ආකෘති පත්‍රය යොදා ගනිමින් ඉදිරිපත් කළ යුතු ය.

ආ. ස්වයං ප්‍රකාශය සම්පූර්ණ වීම – ස්වයං ප්‍රකාශයෙහි බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ නම සහ ලිපිනය, තැන්පතුකරුගේ/ ප්‍රකාශකගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (ටින්), අදාළ ගිණුම් අංක, තක්සේරු වර්ෂය, දිනය සහ ප්‍රකාශකගේ අත්සන ඇතුළුව අවශ්‍ය සියලුම තොරතුරු සම්පූර්ණ කර තිබිය යුතු ය.

වලංගු නොවන ස්වයං ප්‍රකාශ

වලංගු නොවන ස්වයං ප්‍රකාශ සඳහා උදාහරණ මෙසේ සඳහන් කළ හැකිය.

● අදාළ තැන්පතුවලින් වර්ෂයකට ලැබෙන පොලී ආදායම රු. මිලියන 1.8 ඉක්මවන අවස්ථා,

● අත්තිකාරම් පුද්ගල ආදායම් බද්දට යටත් බැංකු සේවකයකු ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළහොත්,

● ප්‍රකාශයකු සිය කලත්‍රයාගේ බදු ගෙවන්නා

හඳුනාගැනීමේ අංකය (ටින් අංකය) භාවිත කර ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සහ පුද්ගලයින් දෙදෙනාම එකම බැංකුවට ස්වයං ප්‍රකාශ භාර දීමට එකම බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය භාවිතා කිරීම.

මේ අප සටහන් කළේ මහජන දැනුවත්භාවය උදෙසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සකසා ඇති සටහනේ ඇති මූලික තොරතුරු ප්‍රමාණයන් පමණක් වන අතර මේ ගැන ඔබට තවත් ගැටලු ඇත්නම් ඒ ගැන එම දෙපාර්තමේන්තුව විමසා හෝ අදාළ බැංකු හා මූල්‍ය ආයතන විමසා දැනගත හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි. මේ අතර මේ ලිපිය ලියමින් සිටින විට මේ ලියුම්කරුට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැන ගැනීමට ලැබුණේ ටින් අංකය නොමැතිව මේ කියන ස්වයං ප්‍රකාශය ලබාදිය යුතු අවසන් දිනය කවදාද යන්න ගැන එම දෙපාර්තමේන්තුව විසින් මහජනයාට යම් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට නියමිතව ඇති බවයි. ඒ අනුව ස්වයං ප්‍රකාශය භාර දීමේ අවසන් දිනයක් තවමත් නියමකර නැත. මේ ගැන මහජනයාට කිසියම් ව්‍යාකූලත්වයක් ඇතිව තිබූ අතර බැංකුවලට ස්වයං ප්‍රකාශය භාර දීම සඳහා පෝලිම් ඇති වී තදබදයක් ඇතිව තිබූ බවට ද ඊයේ (30) සවස වාර්තා විය.

පොලී ආදායම මත රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් වීමට….

සයිබර් අපරාධ අවදානම

නොයෙකුත් ආකාරයේ සයිබර් අපරාධ සිදුවෙමින් තිබේ. එවැනි අත්දැකීම්වලට අප දන්නා කියන අය ද ගොදුරුව තිබේ. මින් එක් ආකාරයක් වන්නේ යම් අයෙකුගේ වට්ස්ඇප් අංකය හැක් කර එම පුද්ගලයා යවන ආකාරයෙන් ඔහුගේ වට්ස්ඇප් සම්බන්ධතා ලයිස්තුවේ සිටින අයට පණිවිඩ යවා හදිසියකට බව පවසමින් මුදල් ඉල්ලා සිටීමයි. එම පණිවිඩය ඇත්තක් බව සිතා පිළිතුරු දුනහොත් හැකර් කරන්නේ වහාම මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලමින් ගිණුම් අංකයක් එවීමයි. මේ ආකාරයෙන් සිදුවෙන මුදල් වංචා ද සිදුවෙමින් තිබේ. අප දන්නා කියන ඇතැම් අය ද මේ හැකරුන්ගේ ග්‍රහණයට පත්ව පීඩාවට පත්ව සිටින අතර එවැනි අත්දැකීමකට පෙරේදා (29) සවස සිට ඊයේ (30) උදේ දක්වා මුහුණ දීමට මේ ලියුම්කරුට ද සිදු විය. පසුගිය කාලයේ ප්‍රධාන පුවත්පතක හිටපු ප්‍රධාන කර්තෘවරයකුගේ වට්ස්ඇප් අංකය ද මේ ආකාරයෙන් හැක්කර මුදල් ඉල්ලා තිබූ බව එම කතුවරයාම මට දුරකථන ඇමතුමක් දී කීවේය. මෙහිදී මුදල් තැන්පත් කිරීම සඳහා හැකරුන් මෙරට ප්‍රධාන වාණිජ බැංකුවල ගිණුම් අංක ලබා දෙයි. මෙලෙස හැකරුන් මුදල් එකතු කරන රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයක ගිණුම් අංක ද අපට සොයාගත හැකිව ඇත. ඒවා ඉදිරි පරීක්ෂණ සඳහා සහ වෙනත් අයගේ ද යහපත පිණිස එම බැංකුවලට සහ මහ බැංකුව යටතේ ඇති මූල්‍ය බුද්ධි ඒකකයට අප ලබාදී ඇත. මෙවැනි සයිබර් අපරාධ සහ වංචා කිරීම සඳහා මෙරට බලපත්‍රලාභී බැංකුවල ගිණුම් යොදා ගන්නා බව එම බැංකු හෝ මහ බැංකුව නොදන්නවා විය නොහැකිය. එහෙත් එම ක්‍රියාවලිය වැළැක්වීම සඳහා එම ගිණුම් සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය හරහා කිසියම් පියවරක් ගත යුතු නොවේ ද?

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]


advertistmentadvertistment