ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නීතීඥ නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ආණ්ඩුව යටතේ කොළඹ ප්‍රදේශයේ සංවර්ධනය යළිත් මහින්ද රාජපක්ෂ මහතා නැවැත් වූ තැනින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා 11 වන දා පැවැති කොළඹ නාගරික මහ සමුළුව අමතමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ශක්තිමත්ම දේශපාලන යාන්ත්‍රණය සහ ශක්තිමත්ම දේශපාලන පක්ෂය ලෙස හඳුන්වන්න පුළුවන්. අපි පසුගිය කාලසීමාව තුළ පැවැති හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කළා. ඒ වගේම තමයි අපි අභියෝගවලට මුහුණදුන් දේශපාලන පක්ෂයක්. අපි අභියෝග හමුවේ පලාගිය දේශපාලන බලවේගයෙක් නොවෙයි. අපි හැමදාම 2005 ත්‍රස්තාවදයට මුහුණදීමේ අභියෝගයේ සිට අද දක්වා රටක්, ජාතියක් ලෙස මුහුණදුන් හැම අභියෝගයකටම සාර්ථකව මුහුණදුන් දේශපාලන බලවේගයක්. අපි විශ්වාස කරන්නේ මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කරන්න ඕන. නාගරික සමාජයේ ජීවත්වන මේ ජනතාවට ජීවිතයට අවශ්‍ය වටිනාකමක් අපි දෙන්න ඕන. ඉතිහාසය ගත්විට බොහෝ විට නායකයන් බිහිවුණේ බස්නාහිරින්. මහින්ද රාජපක්ෂ මහතා බෙත්තර පාලමෙන් එහා පැත්තේ නායකයෙක්.
කොළඹට සංවර්ධනය ගෙනාවේ මහින්ද රාජපක්ෂ යුගයේ. එදා මේ ප්‍රදේශවල පාරවල්වල යන්න නොහැකි තත්ත්වයක් තිබුණේ. පැල්පත් නිවාස එක් කලකදී මුඩුක්කු ලෙස හැඳින්වූවා. තවත් කලක දී පැල්පත් නිවාස කිව්වා. කොරියාව කියා කිව්වා. ඒ ගම්මානවල ජීවත්වන දරුවන්ගේ ජීවිතවලට ගෞරවාන්විත ජීවිතයක් ගතකරන්න පුළුවන් වැඩපිළිවෙළක් ගෙනාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. එතුමාට දැක්මක් තිබුණා. ඉලක්කයක් තිබුණා පැල්පත් නිවාස වෙනුවට මුඩුක්කු සංකල්පය වෙනුවට කොරියාව කියන සංකල්පය වෙනුවට මහල් නිවාසවල ජීවත්වන දෙමාපියන්ගේ දරුවන් බවට පත්කරන්න. ඒ දරුවන්ට ආශාවෙන් ජීවත් වන්න පුළුවන් පරිසරයක් හදන්න පියවර ගෙන තිබෙනවා. ඒ වැඩපිළිවෙල අපි 2005, 2010 සිට ආරම්භ කරගෙන ආවා.අද කවුරු මොනවා කිවුවත් කොළඹට ආවාම මේ දකින හැම ගොඩනැඟිල්ලක්ම සියල්ලම පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි.
කොළඹ වරාය නගරය පාවිච්චි කළේ ඒ සඳහායි. සමහර දේශපාලන පක්ෂ හිතුවා වරාය නගරය හැදුවේ ගොඩනැඟිලි හදන්න කියලයි. සීගිරිය කඩලා ගල් ගෙනවිත් මුහුද ගොඩකරලා අලුත් නගරයක් හදනවා කියලයි කිව්වේ. නමුත් වරාය නගරය තුළ තිබෙන සංකල්පය ඇතැම් දේශපාලඥයන්ට තේරුම් ගත නොහැකි වීම කණගාටුවක්. දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය, දකුණු ආසියාවේ බැංකු පද්ධතිවල කේන්ද්‍රස්ථානය, දකුණු ආසියාවේ විශිෂ්ඨ ගණුදෙනු මධ්‍යස්ථානයක් බවට කොළඹ වරාය නගරය පරිවර්තනය කරන්න අවශ්‍ය වුණා.
ඉදිරියේ දී හදන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව කොළඹ පැල්පත් නිවාසවල ජීවත්වන දෙමාපියන්ට, දරුවන්ට මහල් නිවාස යෝජනා ක්‍රම තවදුරටත් ක්‍රියාත්මක වියයුතු වෙනවා. කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් නිෂ්පාදන ආර්ථිකය, බැංකු පද්ධතිය ආදිය සංවර්ධනය කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නත් අපි කටයුතු කරනවා. බොහෝ දෙනෙක් නෙළුම් කුළුණ පාවිච්චි කරන්නේ පිංතූරවලට දාන්න. නෙළුම් කුළුණ හදනවිට එයින් එහාට ගිය දැක්මක් තිබුණා. ලංකාවේ තාක්ෂණ ගම්මාන 5 ක් බිහිවන විට එම ගම්මාන සමග බිහිවුණු නෙළුම් කුළුණ තුළ මේ රටේ තාක්ෂණ විප්ලවය ඇති කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි සංවිධානය කර තිබුණා. මේ ජනතාව තොරතුරු ක්ෂේත්‍රයේ නිරත කෙනෙක් වෙන්න පුළුවන්. ගිණුම්කරණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. මූල්‍ය අංශවල වෙන්න පුළුවන්. ඉදිරි කාලසීමාව තුළ අපි බිහිකරන ආණ්ඩුවක් තුළින් කොළඹ වරාය නගරයත් නෙළුම් කුළුණත් කේන්ද්‍ර කරගත් තාක්ෂණ ගම්මාන කේන්ද්‍ර කරගත් ඒ ආර්ථික පරිවර්තනය තුළ අපි අපේක්ෂා කරන්නවූ ආර්ථික විප්ලවය ඇති කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය ලබාදෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් රාජ්‍ය ඇමැතිවරුන් වන පියල් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, ඩී.වී චානක, අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ආචාර්ය සරත් වීරසේකර, ගාමිණී ලොකුගේ, ජානක තිස්සකුට්ටිආරච්චි, සංජීව එදිරිමාන්න, ඩී. වීරසිංහ, මධුර විතානගේ, ප්‍රදීප් උඳුගොඩ මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
එරික් ගාමිණී ජිනප්‍රිය