එක්තරා යුගයක මිනිස් ජීවිත රස කළ පිරිස අතර “බාබර්” ද සැළකිය යුතු චරිතයකි.
මේ වනවිට බාබර් වරු නැත. ඒ වෙනුවට සිටින්නේ සැලූන් එකේ අයියා, සැලූන් එකේ මල්ලි, සැලූන් එකේ අක්ක ලාය. එකල සිටි බාබර් මාමලා, අංකල්ලා දැන් නැත. එකල බොහෝ බාබර්වරුනටම අනන්‍ය වූ ඇඳුමක් විය. ඒ සුදු සරම හා සුදු කමිසයයි. බොහෝ විට සුදු කමිසය සමග මඩකලපු සරම හෝ පලයකාට් සරම හැඳි අයද සිටියහ. බාබර්වරු අදාළ රැකියාව නිසාමදෝ ඉතා පිළිවෙළට, ප්‍රියමනාපව සිටීමට පුරුදුව සිටි බව බාබර් වතගොත සොයා යන මොහොතෙහි හමුවූ පැරැන්නෝ කීහ. කොණ්ඩය කැපීමේ සිට කොන්ඩ මෝස්තර දැමීම දක්වා වූ අද නවීන පන්නයේ සැලූනයක කරන සියලුම දේ එදා සිදුවූයේ “බාබර්” අතිනි. නිකමට සිතා බලන්න අතීතයේ ගැහැණු පිරිමි සියල්ලෝම කරන ලද සියලුම කොණ්ඩා මෝස්තර අද දවසේද සැකසෙන ආකාරය ගැන.
ආසන්න අතීතයකදී වුව බොහෝ දෙනෙක් ගියේ “බාබර් සාප්පුවට” මිස සැලූනයට නොවේ. බාබර්වරු කරන්නේ කලාත්මක රැකියාවකි. නිර්මාණශීලී හැඟීමක් නැති අයකුට බාබර් රස්සාව ගැළපෙන්නේ නැත.
“මගේ තත්තාගේ, තාත්තාත් කරලා තියෙන්නේ මේ රස්සාවම තමයි. වෙනස මම මේ රස්සාව අලුත් විදිහට කරනවා. අලුත් උපකරණ තියෙනවා. හැබැයි මට අද තියෙන ‘කස්ටමර් බේස්’ එකම ඒ කාලයේ තාත්තලාටත් තිබිලා තියෙනවා. මගේ තාත්තා ගමේ අය නමින් හැඳින්නුවේ කලාතුරකින්. එයාට වයස් බේදයක් නැතුව හැමෝම කිව්වේ බාබර් අයියා කියලා. එයාට රස්සාව මොකක් වුණත් ගමේ අයගේ ලොකු පිළිගැනීමක් තිබුණා. යහමින් හම්බ කළා. එයාගේ නිල ඇඳුමයි, සාමාන්‍ය ඇඳුමයි කියලා දෙකක් තිබ්බේ නැහැ. කොහොමටත් ඇන්දේ සුදු සරම්, ෂර්ට්.”
තිවංක කියන්නේය. ඔහු ගමේ සිට කොළඹට පැමිණ ආසන්න ප්‍රධාන නගරයක නවීන පන්නයේ සැලූනයක් පවත්වාගෙන යන්නේය. අතීතය සමග ජීවත් වීම තිවංක ප්‍රතික්ෂේප කරන්නේය. එහෙත් තම පියා භාවිත කරන ලද බොහෝ උපකරණ තවමත් ඔහු ළඟ සුරැකිව තිබේ.
“මට වෙලාවකට පුදුම හිතෙනවා, තාත්තලා මේවයින් කොහොමද එච්චර නීට් වැඩ කළේ කියලා. ඉස්සර කොන්ඩේ කපන කටර් එකෙන් කොණ්ඩයක් කපනකොට හුඟ දෙනකුට කිති …. පොඩි අයගේ කොහොමත් කපන්න අමාරුයි. අතින් ක්‍රියාත්මක කරන්න ඕන. පොඩි බරක් තියෙනවා. අද විදුලියෙන් ක්‍රියාත්මක වෙන උපකරණ තියෙන්නේ. සැහැල්ලුවෙන් වැඩ කරන්න පුළුවන්”
කුමන නමකින් ඇමතුවද මේ කරණවෑමියා ය
කරණවෑමියා යනු ඕනෑම වර්ගයක හිසකෙස් කැපීම, රැවුල කැපීම හෝ කොට කිරීම තමන්ගෙ වෘත්තිය කරගත්තු පුද්ගලයෙකි. ව්‍යවහාර භාෂාවෙදි අප හුරුව සිටින්නේ බාබර් (barber) යන ඉංග්‍රීසි වචනයටය. එය නිර්මාණය වී තිබෙන්නේ Barba කියන ලතින් වචනයෙනි.
කරණවෑමි කතාවට ඉතා දිගු ඉතිහාසයක් තිබේ. බයිබලයෙහි කොණ්ඩය කැපීම ගැන මේ ආකාරයේ යමක් සඳහන්ව තිබේ.
“Now son of man ” take a sharp sword and us it has a barberzs razor to shave head and your beard”
“දැන් මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ගන්න, එවිට අපට හිසකේ සහ රැවුල කැපීමට රේසරයක් තිබේ”
රෝමයට කරණවෑමී ශිල්පය හඳුන්වා දුන්නේ සිසිලියේ ග්‍රීක කොලණි මගින්. බාබර් සාප්පු ඉතාමත් ඉක්මනින් ව්‍යාප්ත වන්නේ, ජනප්‍රිය වන්නේ එතනින් පසුවය. අපේ රටේ කරණවෑමි සම්ප්රදාය රජ කාලයේ ඉඳන් ම මුල් බැස තිබුණු බව කියැවෙනවා. මුල් යුගයේ “බාබර් සාප්පු” යනුවෙන් දෙයක් තිබුණේ නැත. අදාළ ශිල්පයේ නිපුණතාවක් ඇති උදවිය නිවෙස්වලට ගොස් මුදලට හිසකෙස් සහ රැවුල කැපීම සිදු කෙරිණි.
බාබර් සාප්පුවක් වේවා සැලොන් එකක් වේවා ඕනෑම කෙනකුට මුලින්ම මතක් වෙන්නේ ‘පිළිවෙළ’. බිත්තියෙ සවි කරන ලද විශාල කණ්ණාඩියක්, කතුරු සෙට් එකක්, පුටු කීපයක්, මැෂින් වර්ග කීපයක්, හිස් ආලේපන වර්ග. ඔය හැමදේම හරි පිළිවෙළට මේ සැලොන් එක ඇතුළෙ අඩුක් කිරීම ඊටම අනන්‍ය කලාවක්. බාබර් රස්සාවෙ “ෆැන්ටාස්ටික්” කොටස කෙනකුට අහුවෙන්නෙ ඒ පිළිවෙළත් සමග ගැළපිලා. කොණ්ඩයක් කපා අවසන් වූ පසු ඊළඟ කස්ටමර් එනකොට එතැන කලින් මෙන්ම පිරිසිදුයි. බිම වැටුණු කෙස් සියල්ලම ඉවත් කර පිරිසිදු කිරීමෙන් පසු මිසක “බාබර් අයියා” ඊළඟ කෙනා සමග ගනුදෙනුව පටන් ගන්නේ නැති තරම්.
මෙහිදී මතුවන විචිත්‍රවත් කාරණයක් තිබේ. සාමන්‍යයෙන් පුද්ගලයෙක් මාසෙන් මාසෙට සැලොන් මාරු කිරීමට වඩා වසර ගණනාවක් එකම සැලොන් එකක් එසේත් නැතිනම් එකම කරණවෑමියෙක් සොයා යෑමේ ඇබ්බැහියක් තිබෙනවා. ඊට නා නා විධ හේතු තිබෙන්නට හැකිය. කොණ්ඩය කපා අවසන් වනතුරුම කවරෙකු හෝ වේවා “බාබර්” සමග හැඟීම්බර (Emotionally) ගනුදෙනුවකට යටත් වෙනවා. එතනදි දෙදෙනා අතර ආගිය තොරතුරු, දේශපාලනය, පෞද්ගලික තොරතුරු වැනි ඕනම දෙයක් ගැන නිරායාසයෙන්ම පුංචි “කයියක්” නිර්මාණය වීම වළක්වන්න බැහැ. ඒක එක පැත්තකින් හරි අපූරු දෙයක්. දිනපතා හමු නොවන, මසකට වරක් වගේ හමුවෙන එහෙම මනුස්සයෙක් එක්ක අපේ හැඟීම් බෙදාගන්න එක කොයිතරම් දුරට සංවේදී කාරණයක් ද යන්න මුහුණු පොතේ දැක්ක මේ සටහනකින් ඔප්පු කළ හැකියි.
“මයිකල් අයියා කියන්නේ වසර 30ක් අඛණ්ඩව මගේ හිස අතගෑව එකම මනුස්සයා. අපි අතර තියෙන්නේ සහෝදර බැඳීමක්. එයා යන යන සැලුන් එකට මමත් ගියා. අන්තිම තැන එයාගෙම එකක්. කොණ්ඩෙ කපන ගමන් මයිකල් අයියා එයාගේ ජීවිතේ මට කියනවා. මම මගේ පෞද්ගලික දේවල් එයා සමග බෙදා ගන්නවා. දේශපාලනේ පවා. මෑත කාලේ කොණ්ඩේ කපන කොට මයිකල් අයියා නිතර කියන කතාවක් තිබුණා. “කොහොම තිබ්බ කොණ්ඩයක් ද? මේ” ඒ තරමට මයිකල් අයියා ට වසර 30ක මගේ ‘කොණ්ඩා මතකය’ ප්‍රබලයි.”
(කපිල එම්.ගමගේ මුහුණු පොතිනි)
මේ හැරුණු විට දැකිය හැකි තවත් ලස්සන කාරණායක් තිබේ. ඒ, බාබර් කෙනෙක්ගේ ඉවසීම උපරිම මට්ටමක තිබෙන්න වුවමනාය යන්නයි. සමහර වෙලාවට රැවුලක් දැලි පිහියෙන් කපනකොට නොඉවසිලිවන්ත මනුස්සයෙක් කළා නම් මුහුණ පුරා දැලිපිහි පාරවල් තිබෙන්නට ඇති හැකියාව වැඩිය. කොණ්ඩය කපනවිට නළල, කන පිටුපස වගේ තැන්වලට හානි සිදු වෙන්නට ඇති හැකියාව වැඩිය. මෙහිදී බාබර්වරයෙක් මේ අනතුරු අවම කරගන්නේ තමන්ගේ ඉවසීම මෙන්ම පළපුරුද්ද කියන කාරණා භාවිත කරමිනුයි.
ඉතා දීර්ඝ කාලයක් තුළ විකාශය වූ කරණවෑමි රැකියාව තුළ විවිධ වර්ගීකරණයන් ගණනාවකට ලක්වී තිබේ. ඔබ යන එන මඟතොටේදී සැලුන් එකක් තවත් එකකට සාපේක්ෂව කොයිතරම් නම් වෙනස්වීම්වලට ලක්ව තිබෙනවාද යන්න දැක ඇතුවාට සැක නැත.
එහිදී වැදගත්ම කාරණය වන්නේ, කවරාකාරයකට වෙනස් වුවද, වෘත්තිමය ස්වභාවය හෝ ඔවුනගේ ආකල්ප තවමත් නොවෙනස්ව පැවතීමය.
පෙට්ටි කඩ සැලෝන්
සැලෝන් සංස්කෘතිය තුළ “පෙට්ටි කඩ සැලුන්” දක්නට නැති තරම්ය. එහෙත් ඈත දුර බැහැර ග්‍රාමීය කලාප වලට පිවිසෙන්නෙකුට ඉඳ හිට හෝ එවැනි තැන් දකින්නට ලැබේ. 80/ 90 දශකයේ අගභාගය වන තෙක්ම මෙවැනි ස්ථාන බොහොමයක් රට පුරා දක්නට ලැබිණි. ලෑලි පටි ගසා නිම කරන ලද කුඩා කාමරයක කොණ්ඩා කැපීමේ අත්දැකීමත් එක්තරා අන්දමක් ආශ්වාදය දනවන්නක්. ඒ යුගයේ චිත්‍රපටියක දෙකක මේ ආකාරයේ සැලෝන් දැකගන්න පිළිවන. විජය කුමාරතුංග, සිරිමාවෝ මැතිණිගේ මල් මාල දාපු පින්තූර, ජෝතිපාලගේ පින්තූර මෙවැනි සැලුන් කාමරයක අනිවාර්ය අංගයක්. ජෝතිපාලගේ, මිල්ටන් පෙරේරාගේ එම්. එස්. ගේ නිහාල් නෙල්සන් වැනි ගායකයන්ගේ ගීත වාදනය වන පොඩි කැසට් එකක් යම් මට්ටමක සාරවත් පෙට්ටි සැලූනයක දකින්නට තිබිණි.
පෙට්ටි සැලෝනයකදී කොණ්ඩය රැවුල කැපීමට බොහෝ විට පාවිච්චි කළේ, කතුර නැතිනම් දැලි පිහියයි. වතුරෙහි දිය කර සාදා ගන්නා ලද සබන් පෙණ මිශ්‍රණයක් රැවුල කපන්න පහසු වෙන්න යොදා ගැනීම සිදු කළා. අදාළ පුද්ගලයාගේ කොණ්ඩෙ කපා අවසන් වනතුරුම ජෝතිගේ ගීතයේ තාලයට හිස සොලවමින් කොණ්ඩය කැපීම, එහෙමත් නැත්නම් ජෝතිටත් වඩා ටිකක් හයියෙන් පාරිභෝගිකයා සමග දේශපාලනය ගැන හෝ විවිධ කතාන්දර අටෝරාසියක්ම කියවීම බාබර්වරුන්ගේ පුරුද්දක්. කයත් සමග විපර්යාසවලට භාජනය වුණාත් පෙට්ටිකඩ සැලුන් කියන්නෙ බාබර් සාප්පු සංස්කෘතියේ ආරම්භයයි.
මොඩර්න් සැලෝන්
ඕනම දෙයක් නවීකරණය වනවිට, සැලුනය පමණක් නවීකරණය නොවී තිබීමට හැකියාවක් නැත. කාලයක් තිස්සෙ අපි එක්ක සමීප ගනුදෙනුවක් තිබ්බ බාබර් සාප්පු, සැලෝන් බවට පත්වෙන්නෙත් එහෙමය. දැලි පිහිය වෙනුවට මැෂීන් එකක්, සබන් පොත්තක් වෙනුවට ෂේවින් ක්‍රීම් එකක්, කොණ්ඩෙ කැපුවාම පවුඩර් ටිකක් භාවිතය වගේ දේවල් මේ ක්ෂේත්රයට නව මුහුණුවරකින් එකතු වෙනවා. එතැනින් පසු සියලු සැලුන් සැලෝන් වී, බාබර් සාප්පුවේ නව මුහුණුවර ක්ෂණයකින් ජනප්‍රිය වෙන්න ගන්නවා. එය මොඩර්න් සංස්කෘතියේම කොටසක් බවට පත්වන්නේ එසේය.
පිරිමි සැලෝන්, ගැහැණු සැලෝන්
මේ වන විට ගැහැණු සහ පිරිමින්ට වෙන් වෙන් වශයෙන් වෙන් වුණ සැලෝන් බොහොමයක් දක්නට පිළිවන. කොණ්ඩය කපන්න ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන දේ වැදගත්ද කියන කාරණය යමෙක්ට ප්‍රශ්නයක් ඇති කරන්න ඉඩ තිබුණද, සැලෝන් රැකියා ක්ෂේත්රයේ සදාචාරාත්මක රාමුවලට අනුව මේ වෙන්වීම සිදුකර තිබේ. බොහෝ වෙලාවට ගැහැණු සැලෝන් සේවාව සපයන්නේ කාන්තාවකි. පිරිමි සැලෝනයක සේවාව සපයන්නේ පිරිමියෙකි. කාන්තා සැලෝනයක තුළ සම්පූර්ණයෙන්ම කාන්තාවකට සරිලන ආකාරයට ඔවුන්ගේ සිත් ඇද බැඳගන්නා රූප රාමු සහ අනෙකුත් අංග උපාංගවලින් සමන්විත වේ. පිරිමි සැලූනයකදීත් ඔවුන්ට ආවේණික වර්ණ, රූප රාමු ආදී සියලු දේ ගැළපීමට ලක් කරනවා.
යුනිසෙක්ස් සැලෝන්
යුනිසෙක්ස් සැලෝන් ගැහැණු පිරිමි දෙපිරිසටම විවෘතය. යුනිසෙක්ස් කියන වචනයේ අර්ථයම ඒ තුළ තිබේ. මේවායේ සේවාව සපයන්නන් හැටියට කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශ්වයම කටයුතු කරනවා. කාන්තා සහ පිරිමි කියලා බෙදීමට ලක් කරන ලද සැලූනයකට යෑමට අකමැති අයෙක් සිටීනම් ඔහුට හෝ ඇයට යුනිසෙක්ස් සැලෝනයකට ගොස් තමන්ගේ කොණ්ඩය, රැවුල කපාගැනීමේ හැකියාව තිබේ.
සැලෝන් ඇන්ඩ් ස්පා
සැලෝනයක් සමගම ස්පා නිර්මාණය වීම වර්තමානයේදි බහුලව දකින්නට ලැබේ. මෙහිදී බොහෝ විට සේවා සපයනු ලබන්නේ කාන්තා සහ පිරිමි වෙන් වෙන් වශයෙනි. කායික තෙරපුමක් (Physical Therapy) අවශ්‍ය කෙනෙක්ට මෙවැනි සැලෝනයකට ගිය විට තමනට අවශ්‍ය සේවය මිලදී ගැනීමේ හැකියාව ලැබේ. අනෙකුත් සැලෝනයන්ට වඩා පහසුකම් අතින් ස්පා සැලෝන් බොහෝ ඉදිරියෙනි. එමෙන්ම ආයුර්වේද ඔසු මගින් සුවඳවත් කර ඇති ස්පා සැලූන යමෙකුට ප්‍රිය හැඟීමක් ඇතිවෙන අකාරයෙන් පවත්වාගෙන යන්නේය. ආයුර්වේද ප්‍රතිකර්ම, චීන කටු චිකිත්සා ක්‍රම, වැක්ස් වර්ග වැනි බොහෝ ක්‍රම මේ ස්පා තුළ භාවිත කරන්නේය. කොණ්ඩය සහ රැවුලයි කැපීමට වඩා වෙලාව ගතවෙන මේ සැලූන කලින්ම වෙලාව වෙන් කර ගැනීමට මුල් තැන දී තිබේ.
බ්‍රයිඩල් සැලෝන්
බ්‍රයිඩල් සැලෝන් යනු යුවලකගේ විවහයකදී, ඒ වෙනුවෙන්ම වෙන් වුණ හැඩගැන්වීම් සිදුකරන ස්ථානයකට. මෙහිදී මනාළ යුවළට අවශ්‍ය ඇඳුම් ආයිත්තමේ සිට, මල් කලඹ, කොණ්ඩ මෝස්තරය, හැඩගැන්වීම ආදිය දක්වාම සේවාව සපයගන්න හැකියාව ලැබේ. බ්‍රයිඩල් සැලූනයකින් සේවය ලබාගන්නා විට පෙර දැනුම්දීමක් කර දිනය වේලාව වෙන්කර ගැනීම අනිවාර්යය. සේවා ගණනාවක් එකම ස්ථානයකින් සැපයීම මෙන්ම, වැය වන කාලය සහ ශ්‍රමයත් වය වීම වැඩි නිසා මේ සැලූනයන්හි අයකිරීම්ද මිලෙන් වැඩිය.
Luxury සැලෝන්
Luxury සැලෝනයන් ප්‍රධාන නගර කේන්ද්‍රකරගෙන තැනින් තැන විවෘත වීම සුලභය. මෙවැනි සැලෝනයන් ඇතුළත තරු පන්තියේ හෝටලයක් තරම්ම සුඛෝපභෝගි බවක් දක්නට ලැබේ. අලංකාර විදුලි බල්බ, ටයිල් කරන ලද බිත්ති. බිත්ති පුරා විශාල කණ්ණාඩි, සුවඳවත් මල් වර්ග, නොමිලේ වයිෆයි ආදී සුවිශේෂ අංග ගණනාවක් මෙහි දක්නට ලැබේ. සේවය සපයන අතරේ කෙටි ආහාරයක්, කෝපි කෝප්පයක් පිළිගන්වන්නත් මේ සැලූනයකදී ඔබට අවස්ථාව ලැබේ. තරු පන්තියේ සැලෝනයක් බොහෝ දෙනෙක් තෝරාගන්නෙම තමන්ගේ උසස් සමාජ තත්ත්වය, සුඛෝපභෝගී බව පෙන්වීමටය. ඊට අමතරව එයින් ලැබෙන අත්දැකීම ලබාගන්නත් බහුතරයක් දෙනා මේ ලක්ෂරි සැලෝන් තෝරාගනිති.
ඉදිරි කාලයකදී අපට “බාබර්” මුණ නොගැසෙන්නටම පුළුවන. ඒ මිහිරි, රසවත් අත්දැකීම අතීතයට පමණක් සීමා වූ එකක් වන්නට පුළුවන. එහෙයින් සැලූනයක සුව පහසුව අසුන් ගෙන කොණ්ඩය රැවුල කපාගන්නා අතරවාරයේ “මෝඩර්න් බාබර්වරයා” සමග “චැට්” කරන්න.
පවනි වාසනා