මීට අවුරුදු දෙසීයකට පමණ පෙර හින්දු ලබ්ධික පකීර් කෙනෙක් බුද්ධගයාවට ගියේය. මහාබෝධි විහාරය සම්බන්ධයෙන් ඔහුට කිසිම අයිතිවාසිකමක් නොවූ නමුදු හෙතෙම ඒ අසල කුඩා විහාරයක් නැංවීය. බුද්ධගයා මහා විහාරය රැකබලා ගැනීමට එකල කිසිවකු නොසිටියෙන් එයට පුද කළ වස්තූන් අත්පත් කරගැනීමට සාමන්දිගිර් නමැති මහන්තා ද ඔහුගේ උරුමක්කාරයන් ද කටයුතු කරන ලදී. මේ ශුද්ධ විහාරය මහන්තාගේ පාලනයට පත්වූයේ මෙසේ අයුතු ලෙස එය අත්පත් කර ගැනීම හේතුකොට ගෙනය. ඊට පසු පත් වූ මහන්තාවරු ද විහාරය අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් නොදැක්වූහ.

මහන්තාගේ පාලනය බිඳ නැවතත් බුද්ධගයාව බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට අයිතිය ලබා ගැනීමේ අවස්ථාව සැළසුනේ අප රටේ උපන් වීරෝධාර යුග පුරුෂයකු නිසා ය. ඒ සිංහල බෞද්ධයන්ගේ අසහාය වීරයා වන අනගාරික ධර්මපාලතුමා ය. “සිංහලයිනි එක්වව් බුද්ධගයාව බේරාගනිව්”යන හඬ ලොව පුරා නැඟූ අනගාරික ධර්මපාලතුමා ලංකාවෙන් භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගෙන එහි වැඩ වාසය කිරීමට සැලැස්වූයේ ද බුද්ධගයාවේ එවක අයිතිය දැරූ මහන්තාගෙන් පමණක් නොව එකල ඉන්දියාව පාලනය කළ බි්‍රතාන්‍ය ජාතික පාලකයන්ගේ ද විවිධ බාධක මධ්‍යයෙහි ය. එවක බුද්ධගයාව අයිති කර ගෙන සිට මහන්තාට විරුද්ධව නඩුමගට බැස නැවත බුද්ධගයාව බෞද්ධයන්ට ලබා ගැනීම සඳහා එතුමා කටයුතු කළේය. 1933 පමණ වන විටත් බුද්ධගයාව මහන්තා නම් හින්දු භක්තිකයා යටතේ පැවති බවත් එම පුදබිමේ ගරුත්වය කෙලෙසමින් පැවති බවත් අනගාරික ධර්මපාලතුමාගේම ලිපියක මෙසේ සඳහන් වෙයි. “තථාගත බුදුරජාණන් වහන්සේ සියලු කෙලසුන් නසා පස්මරුන් පරදවා බුද්ධත්වයට පත් ස්ථානය ආපසු ලබා ගැනීමට කාලය පැමිණ ඇති බව සැලකිය යුතුය. බුදු සමය අදහන්නන්ගේ පූජනීය පුදබිමක් වන මෙහි මලක් පහනක් පුදන්නට බෞද්ධයෙක් නැත. එබැවින් එය රාත්‍රි කාලයේ ඝනාන්ධකාරයෙහි නිමග්න වී පවතී. “ආසියාවේ බෞද්ධයිනි නිදිගැට හැරපියා නැගටිව්! නැගිට යුෂ්මතුන්ගේ පූජනීය පුදබිම මහන්තාගේ වැඩකරුවන්ට කිළිට කරන්ට ඉඩ නොතබා බලා ගනිව්!” (ධර්මපාල ලිපි ආචාර්ය ඩබ්ලිව්. පී. ආනන්ද ගුරුගේ)

අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේරා ගැනීම සඳහා බුද්ධගයාවට පැමිණියේ පළමුවෙන් 1891 වර්ෂයේදීය. එය ධර්මපාලතුමා මෙලෙස සටහන් කර තිබේ. “1891 ජනාවරි මස 22 දසා බෝමැඩ අපගේ පැමිණීම විය. එදින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන වජ්‍රාසනයට මාගේ දනට හිස නැමූ කළ අපමණ ප්‍රීතියක් පැමිණ උතුම් චිත්ත ප්‍රසාදයක් මට ඇතිවිය. 1891 ජනවාරි 22 දා සිට දෙසැටසක් එහි යැවීමි. 1891 ජනවාරි මස 22 පටන් මේ දක්වා (1923) ම (බුද්ධගයාව) බෝමැඩ බෞද්ධයන්ට ලබාදීමට මවිසින් උත්සාහ කළ නමුත් සඵලනොවීම දුකට කාරණයකි.”

ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා අනගාරික ධර්මපාලතුමා විසින් බුද්ධගයාව ඇතුළු ඉන්දියාවේ පුදබිම් බෞද්ධ ජනතාව සතු කිරීමේ මහඟු ජාතික සේවාව ගැන ඔහුගේ ධර්මපාල ලිපි ග්‍රන්ථයේ මෙසේ සටහන් කර තිබේ. “අනගාරික ධර්මපාලතුමාගේ අද්විතීය වික්‍රමය වනාහි බුද්ධගයාව බෞද්ධයන්ට ආපසු ලබා ගැනීම සඳහා ගත් ප්‍රයත්නයයි. “බුද්ධගයාව බේරා ගනිව්” යන පාඨයෙන් එකල සකල ලෝකවාසී බෞද්ධයන්ගේ සිත් මෙම ප්‍රයත්නය කෙරෙහි යොමු කෙරිණි. මහා බෝධි සමාගම පිහිටුවන ලද්දේ මේ කාර්යය ඉටුකර ගැනීම පිණිස ය. ධර්මාශෝක කාලයේ සිටම ලංකාව ඉන්දියාවට ණය ගැතිව සිටියේ බුදුසමය හා බෞද්ධ සංස්කෘතිය මෙහි තිබුණු නිසා ය. අනගාරික ධර්මපාලතුමා ගේ මේ අප්‍රතිහත ධෛර්ය නිසා ඒ ණය ගෙවා ගැනීමට සිංහල බෞද්ධයන්ට ඉඩ ලැබුණි.

අද අප නැවත අනගාරික ධර්මපාලතුමා ගේ මෙහෙය සිහි කරන්නේ බුද්ධගයාව පිළිබඳ සටනක් නැවත ඇතිව තිබෙන නිසාය. මහා බෝධි විහාරයේ පාලනය සම්පූර්ණයෙන්ම බෞද්ධයන්ට පවරන ලෙස ඉල්ලා පෙබරවාරි 12 වැනිදා සිට උපවාසයක් ආරම්භ වී තිබේ. ඒ සඳහා ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලින් මහා සංඝරත්නය මෙන්ම බෞද්ධ ප්‍රජාවද සම්බන්ධ වී තිබේ. මේ ව්‍යාපාරයට සහයෝගය පිණිස පුනේ නගරයේදී දහස් ගණනක් සහභාගිවූ පාගමනක්ද පසුගියදා පැවැත්විණි. ඉන්දීය බෞද්ධ සංසදයේ ප්‍රධාන ලේකම් ආකාෂ් ලාමා හිමියන් පසුගිය දිනක මෙසේ පවසා තිබිණි. “මෙය මහාබෝධි විහාරය ගැන පමණක් නොවේ; එය අපගේ අනන්‍යතාවය සහ අභිමානය ගැන ය. අපි අපගේ ඉල්ලීම් සාමකාමීව ඉදිරිපත් කරමු. රජයෙන් ලිඛිත සහතිකයක් ලැබෙන තුරු, මෙම විරෝධතාව දින නියමයක් නොමැතිව පවතිනු ඇත. මහාබෝධි පන්සල බ්‍රාහ්මණයන්ගේ පාලනය යටතේ පවතින අතර, අපගේ ඉල්ලීම් අඛණ්ඩව නොසලකා හරිනු ලැබේ. අපගේ ව්‍යාපාරය පැත්තකට දැමීමට ද උත්සාහයන් පවතී.

මේ කණ්ඩායමේ ප්‍රධාන අරමුණ 1949 දී සම්මත කරනු ලැබූ බුද්ධගයා විහාර කළමනාකරණ කමිටුවේ සංයුතිය වෙනස් කර එයට පත්කරන සියලු දෙනාම බෞද්ධයන් පමණක් කිරීමය. ආකාෂ් ලාමා හිමියන් පවසන්නේ “මහාබෝධි විහාරයේ පාලනයෙන් බ්‍රාහ්මණ සහ බෞද්ධ නොවන අය ඉවත් කරන ලෙස ඉල්ලා අපි පෙබරවාරි 12 සිට විරෝධතා දක්වමින් සිටිමු.” යනුවෙනි.

බුද්ධගයා විහාර කළමනාකරණ කමිටුව හින්දු භක්තිකයන් හතර දෙනකුගෙන්, බෞද්ධයන් හතර දෙනකුගෙන් සහ ගයා දිස්ත්‍රික් මහෙස්ත්‍රාත්වරයාගේ සභාපතිත්වයෙන් සමන්විත වේ. මේ මහෙස්ත්‍රාත් යනු දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියාය. බුද්ධගයා විහාර වෙබ් අඩවියට අනුව, වත්මන් කමිටුවේ මුළු සාමාජිකයන් හත් දෙනකු සිටින අතර, හින්දු භක්තිකයන් තිදෙනකු සහ බෞද්ධයන් හතර දෙනකු සිටී. “බුදුන් වහන්සේ මුළු ලෝකයටම සාමයේ පණිවිඩය ලබා දුන් නමුත් මෙහි සිටින හින්දු පූජකවරු බෙර සහ අනෙකුත් උපකරණ සමග අඛණ්ඩව ශබ්දය ඇති කරන අතර එමඟින් බෞද්ධ භික්ෂූන්ට භාවනා කිරීම දුෂ්කර වේ. එම නිසා ඉන්දීය ආණ්ඩුව බුද්ධගයා විහාරස්ථාන පනත අහෝසි කර, විහාරස්ථානයේ කළමනාකරණය සම්පූර්ණයෙන්ම බෞද්ධයන්ට භාර දිය යුතුය.” ආකාෂ් ලාමා හිමියන් අවධාරණය කරයි.” මහාබෝධි මහාවිහාරය වේගයෙන් බ්‍රාහ්මණීකරණය වෙමින් පවතී. විහාරස්ථානයේ කළමනාකරණය සහ උත්සව සඳහා බ්‍රාහ්මණ චාරිත්‍ර වාරිත්‍රවල බලපෑම වැඩි වෙමින් පවතින අතර, එය බෞද්ධ ප්‍රජාවේ ඇදහිල්ලට සහ උරුමයට දැඩි ලෙස හානි කරයි මහාමායා දේවියගේ ප්‍රතිමාව අන්නපූර්ණා දේවිය ලෙසත්, බුද්ධ ප්‍රතිමාව පාණ්ඩවයන්ගෙන් කෙනකු ලෙසත් සඳහන් කිරීමෙන් හින්දු පූජකවරු සංචාරකයන් නොමඟ යවති. පහන් දැල්වීම සඳහා නම් කරන ලද ස්ථාන පවා ශිවලිංගයක හැඩයට කපා ඇත.” යනුවෙන්ද උන්වහසේ පවසයි.

චතුර පමුණුව


advertistmentadvertistment