ලක්ෂ 2 1/2ක් ශ්‍රී දළදා සමිඳු පුදති
බුදු සරණ හැර අන් සරණක් අපට කොයින්දෝ
නුවරින් ඇසෙන කතා
“බුදුන් වහන්සේ උත්පත්තිය ලැබූ දඹදිවවත් අපේ ජීවිත කාලයේ වඳින්න යන්න බැරි වුණා. එහෙම එකේ උතුම් සම්බුදු දළදා වහන්සේ වැඳ පුදා ගත්තේ හරිම සතුටු සිතින්. බුදුන් දැක්කා වගේ පුතේ හරිම සතුටුයි. කඳුළුත් ආවා….” යැයි සෙංකඩගල පුරවරයේ උතුම් සිරි දළදා වන්දනාව සඳහා සිරිලක දස දෙසින් පැමිණි සැදැහැවතුන් අතරින් එම හඬ ඊයේ (20දා) ආදරණීය මවකගෙන් අසන්නට ලැබුණි.
සිරි දළදා වහන්සේ සියැසින් දැක වැඳ පුදා ගැනීමට ඊයේ තෙවැනි දිනටත් අතිවිශාල සැදැහැවතුන් පිරිසක් සුදු වතින් සැරසී පෝලිම් තුනකින් සිරි දළදා වන්දනාව සඳහා එක්ව සිටින අයුරු දැකගත හැකි විය.
මෙහිදී අදහස් දැක්වූ සැදැහැවත්හු කීපදෙනෙක් මෙසේ කියා සිටියහ.
- මාතර ප්‍රදේශයේ සිට පැමිණි පියෙක්
“මං ඉතාමත් සතුටු වෙනවා දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගන්න ලැබිච්ච එක ගැන. මේක මට ලැබුණු භාග්‍යයක්.
- හැටන් ප්‍රදේශයේ සිට පැමිණි මවක්
කොච්චර අමාරුවෙන් ආවත් ඇස් දෙකෙන්ම දළදා වහන්සේ දැකලා වැඳ පුදා ගන්න ලැබිච්ච එක ගැන සතුටුයි. බුදුන් වහන්සේ දැක්කා වගේ. අපි 18 වැනිදා ආවේ. දවස් දෙකක් විතර හිටියා. ඒත් සතුටුයි.
- පොලොන්නරුව ප්‍රදේශයේ සිට පැමිණි මවක්
“කියන්න බැරි සතුටක් ආවේ. හැමෝටම කියන්නෙ උතුම් දළදා වහන්සේ ඇවිත් වැඳ පුදා ගන්න කියලයි. මේක දැකීමම ඇති අපේ ජීවිතයට.
- කෑගල්ල ප්‍රදේශයේ සිට වැඩම කළ ස්වාමීන් වහන්සේ නමක්
“මහා සංඝරත්නය හැටියට අප්‍රමාණ සතුටකට පත්වෙලා තියෙනවා. ඒ උතුම් අවස්ථාව සියලු දෙනාම වන්දනා කරගැනීමට මහනුවරට එන්න කියලා මහා සංඝරත්නය හැටියට අපි සියලු දෙනාටම ආරාධනා කරනවා.
- ගාල්ල සිට පැමිණි තරුණ මවක්
ඇත්තටම සතුටුයි. අපි දවස් 2 ක් වෙනවා පෝලිමට ඇවිල්ලා. ගොඩක් කාලයකට පස්සේ උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන්නේ. ඊළඟ සැරේ උතුම් දළදා පෙන්වන කොට අපි හිඳීවිද දන්නේ නැහැ.
- රත්නපුර සිට පැමිණි තරුණ පියෙක්
“ඇත්තටම අපිට අපහසුවක් වුණේ නැහැ. හිසට සෙවණක් සපයන්න හට් ගහලා තිබුණා. අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න ඒ දේවල් ගහලා තිබුණා. ඊට අමතරව අපිට දන්සල් තිබුණා උදේ, දවල්, රෑ. හමුදාවේ මහත්වරුන් ඒ දන්සල් දුන්නා. හරිම පිළිවෙළයි ඔවුන්ගේ වැඩ. ඒ හැම සහයෝගයක්ම අපට ලැබුණා. නිදහසේ අපි උතුම් දළදා වහන්සේ වැඳ පුදා ගත්තා.
- අවිස්සාවේල්ලේ සිට පැමිණි තරුණ මවක්
“ ඇත්තටම මිනිසුන්ට සෙවණ හදලා දෙන්න පුදුම විදිහට සංවිධානය කර තිබෙනවා. එන ජනතාවට බොන්න ජලය හැම තැනකම සකස් කර තිබුණා. දන්සල් සංවිධානය කර තිබෙනවා. ඇත්තටම හොඳ සංවිධාන ශක්තියක් අපි දකිනවා. ජංගම වැසිකිළි කැසිකිළි පහසුකම් පවා සපයා තිබෙනවා. අනිත් එක අසනීපයක් වුණත් ඒ ගැන බලන්න සෞඛ්‍ය මධ්‍යස්ථාන කීපයකුත් ස්ථාපනය කර තිබෙනවා.
- කොළඹ සිට පැමිණි වැඩිහිටි මවක්
“අපේ දෙනෙතින් වැටෙන කඳුළක් පාසා රට රැක දෙන්න දළදා හාමුදුරුවනේ. මැරෙන්න ඉස්සෙල්ලා දළදා වහන්සේ දැකලා වැඳගන්න ලැබීම ගැන සතුටු වෙනවා.
- ගොඩකවෙල සිට පැමිණි තරුණියක්
දවස් තුනක් තිස්සේ ඉඳලා නතරවෙලා තමයි දළදා වහන්සේ වැඳ පුදා ගත්තේ. මම ගොඩක් පිංවන්තයි. නිකං බොරුවට කාලය කන්නෙ නැතුව තරුණ පිරිසට මම කියන්නෙ උතුම් දළදා වහන්සේ වැඳ පුදාගෙන පින් රැස් කරගන්න කියලයි.
- නාවලපිටියේ සිට පැමිණි පුංචි දියණියක්
“දන්ත ධාතූන් වහන්සේ දැක්කම මට ගොඩක් සතුටු හිතුණා. අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නත් එක්කයි අපි ආවේ. මේක පුංචි අපි ලැබූ භාග්‍යයක්.
- තිස්සමහාරාමයේ සිට පැමිණි තරුණියක්
අපි දවස් දෙකක් තිස්සේ ඉඳලා, දළදා වහන්සේ වැඳගත්තා. ඇත්තටම ජනාධිපතිතුමාට හුඟක් ස්තූතිවන්ත වෙනවා. ජීවිතේ කරගන්න පුළුවන් උතුම්ම පින අපි කරගත්තා කියලා හිතනවා. බුදු හාමුදුරුවෝ දැක්කා කියලා පුදුම සතුටක් දැනෙනවා.
- දෙපා අහිමි වූ කෑගල්ල සිට පැමිණි අයෙක්
ලක්ෂ සංඛ්‍යාත සෙනඟක් ඉන්නවා. මම ආබාධිතයි කියලා මම පස්සට ගියේ නැහැ. කොහොම හරි මම උතුම් දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. දැන් මම මැරුණත් කමක් නැහැ.
- අනුරාධපුර සිට පැමිණි වැඩිහිටි පියෙක්
දවස් තුනක් වෙනවා ඇවිත්. අද කොහොම හරි දළදා වහන්සේ වැඳ පුදා ගන්නයි උත්සාහය.
මේ අතර, ඊයේ (20 දා) තුන්වැනි දිනය වනවිට උතුම් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලක්ෂ 7කට ආසන්න පිරිසක් කිරීමට පැමිණ තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සමන්තී වීරසේකර සහ සිරිල් විමලසුරේන්ද්‍ර
ඡායාරූප – සමන්ති වීරසේකර
නිශාන් එස්. ප්‍රියන්ත බුද්ධික ඩී. රණසිංහ