බුදුන් වදාළේ බල චක්‍රය වෙනුවට ධර්මචක්‍රයයි!

16

සමස්ත ලෝකවාසී බෞද්ධ ප්‍රජාවගේම අසීමිත ගෞරවයට, නමස්කාරයට, වන්දනාවට, සත්කාරයට පාත්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම හා පරිනිර්වාණය යන බුදු තෙමඟුල කේන්ද්‍ර කරගත් වෙසක් සැමරුම් තවමත් අවසන් වී නැත. බුදුන් වහන්සේගේ පරමාදර්ශී ජීවිතය පිළිබඳව අනන්ත අප්‍රමාණ බුද්ධ ලීලාව පිළිබඳව පන්සාළිස් වසක් මුළුල්ලේ ඉටු කරන ලද යුග පුවර්තක උදාර සේවාව පිළිබඳව මෙම වෙසක් සතියෙහි අනුස්මරණය කෙරේ. එකල දඹදිව් තල ශාක්‍ය ජනපදයෙහි ලුම්බිණි නමැති සල් උයනෙහිදී ලොව පහළ ව බුද්ධගයාවේදී බුද්ධත්වයට පත්ව කුසිනාරා නුවරදී පිරිනිවන් පා වදාළ බුදුහිමියන්ගේ නාමයට, විලාසයට, ගුණයට, සම කළ හැකි උපමා කළ හැකි වස්තුවක් මේ මිහිතලයෙහි තබා විශ්වයෙහි කොතැනක හෝ නොවෙති. කුරා කුහුඹියාගේ පටන් සියලු සතුන් වෙත පතළ මහා කරුණාවෙන් ලොවම නිවා සුවපත් කළ බුදු උතුමෝ ‘සත් හට වන බව දුකට වෙදාණෝ’ යන සුවිශේෂ තේමාවෙන් ද හැඳින්වෙති. උන්වහන්සේ සිය දර්ශනයෙන් ලෝකයාගේ යහපත, අභිවෘද්ධිය සලසා දීමටත් පිරිපත, විපත දුරැලීමටත් කැප වූ මහා කාරුණිකයෝ ්ය. උන්වහන්සේ පිළිබඳව ලියැවුණු සියල්ලෙහි සාරය වන්නේ දුක් තරණයෙන් සියලු කලහ වාද විවාද දුක් කම්කටොලු නිරාකරණය කර සියලු සතුන්ගේ දැවෙන ගිනි නිවා සුවපත් කළ බවය.

ශ්‍රීමත් සර්ව පල්ලි රාධා ක්‍රිෂ්ණන් සූරීහු මේ බුදු උතුමන් පිළිබඳව මෙබඳු අවධාරණයක් කරති. ‘ඉඳුරන් පිනවීමෙහි හිස් බව පසක් කළ ඔවුහු රජ මාලිගයේ සුවපහසු කාමභෝගි ජීවිතය ද බලය ද ධනය ද හැරපියා සත්‍ය ගවේෂණයෙහි නිරත වීමේ අභිලාෂයෙන් අධිෂ්ඨානශීලී විමුක්ති මාර්ගය විවර කර ගත්තාහුය. එසේ සත්‍යය සොයා ගිය මහා පුරුෂයකුගේ බිහිවීම ලෝකය පමණක් නොව විශ්වයටම ශාන්තියකි. බුදුන් වහන්සේ සමකාලීන භාරතීය දාර්ශනිකයන් අතර සුවිශේෂ වූයේ බුදු දහමෙහි දාර්ශනික පදනමත් ස්වාධීනත්වයත් නිසාය. එවක ඉන්දියාවේ ප්‍රචලිතව තිබුණු දේව වාදය ඍජුවම ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ සත්ත්වයාගේ ඉරණම දේව හාස්කමකින් විසඳෙන්නක් නොවන බව ප්‍රකාශ කළහ. සර්වතෝභද්‍ර දෙවියකු, බ්‍රහ්මයකු පිළිබඳ මුල්බැස තිබුණු ආකල්පය දෙදරවාලීමට බුදුන් වහන්සේගේ ධර්මයට හැකි විය. ආගමික දාර්ශනික අන්තවාදයන්හි ගිලී සිටි ඉන්දීය සමාජය නිදහස් චින්තනයකින් පුබුදු කළ බුදුන් වහන්සේ කෙරෙහි සමාජයම අලුත් බලාපොරොත්තුවකින් පසුවිය. බුදුදහම මානව කේන්ද්‍රීය ධර්මයකි. මිනිසා අබියස තිබෙන සත්‍යය, දුක, දුකට හේතුව බුදුන් වහන්සේ විස්තර කරද්දී සමාජ මතු මහලෙහි සිටි බමුණු ආධිපත්‍යයෙහි බලය ද ගිලිහී යන්නට විය. පාරම්පරික විශ්වාස, ඇදහිලි මෙන්ම අන්ධ භක්තිය මුල් වූ බ්‍රාහ්මණ ධර්මය බැහැර කළ ජනතාව බුදුන් වහන්සේට සවන් දුන්හ. තම ධර්මය ‘ඒහි පස්සික’ ‘එව බලව’ යන න්‍යාය අනුව විමසා බැලීමට හැකි නිදහස් දහමක් බව බුදුහු වදාළහ. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳව අවධානය යොමු කළ බටහිර විද්වතුන් පවා බෙහෙවින් ඇගැයුමට ලක් කළේ ද බෞද්ධ මූලාශ්‍රයක් වූ කාලාම සූත්‍රයයි.

ඉන්දියාව පුරා පැතිර යමින් තිබුණු අතෘප්තිමත් රැල්ල වෙනුවට මිනිස් ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් රැගෙන ඒමට ද බුදුන් වහන්සේගේ ඉගැන්වීම්, හේතු විය. බ්‍රාහ්මණ ආධිපත්‍යයේ පීඩනය පුපුරුවා හැරීමට බුදුන් වහන්සේ ගත් පියවර අතිශය තීරණාත්මක විය. ඉන්දියාවේ පැතිර ගිය හින්දු ආධිපත්‍යයේ පදනම තර්කානුකූලව බිඳදැමීම බෞද්ධ දර්ශනයෙහි සාර්ථකත්වයටත් ව්‍යාප්තියටත් හේතු විය. විශේෂයෙන් එවක පැවැති කුල පීඩනය මෙන්ම කාන්තා නිදහස පිළිබඳ බුදුන් වහන්සේ දැක්වූ අවධානය ජනතාවගේ ආකර්ෂණයට ද හේතු විය. බුදුන්ට සමකාලීනව සිටි ෂඩ් ශාස්තෘවරුන් ඇතුළු විවිධ ආගමික පාර්ශ්ව අසාර්ථක වූයේ ද බුදුන් වහන්සේ තුළ වූ ඍජු ප්‍රතිපත්තිමය ගුණය ඔවුන්ට නොවීම නිසාය.

ථෙර ගාථාවල එන සුනීත තෙරුන්ගේ කතාව එවක පැවැති කුල මානයට දැඩි ප්‍රහාරයක් වැන්න. මේ සමාජ පතුලෙන් මතුවූ මනුෂ්‍යත්වයෙහි විශිෂ්ටත්වය පිළිබඳ එක් නිදසුනක් පමණි. මේ සුනීත තෙරුන්ගේ වදන්ය.

‘මම අන්ත අසරණ පවුලකට අයත් දැඩි දුප්පතෙක් වීමි. මට මගේ යැයි කිසිම දෙයක් තිබුණේ ද නැත. මා කළේ නීච කර්මයකි. එනම් කසළ පිරිසිදු කිරීමය. සියල්ලෝම මා හෙළා දුටුහ. කිසිවකු මගේ මුහුණ දෙස වත් නොබැලූහ. යටහත් පහත්ව බයාදුව ජීවත්වීමට මම පුරුදුව සිටියෙමි. දිනක් මම බුදුන් වහන්සේ සහ පිරිවර සහිතව නුවරට වඩිනු දුටුවෙමි. මම මගේ බර හිසින් බිම තබා උන්වහන්සේට වැන්දෙමි. උන්වහන්සේ කරුණාවෙන් මා දෙස බලා සිටියහ. මම බුදු පාමුල වැඳවැටී පැවිදි බව ඉල්ලීමි. එකෙණෙහි උන්වහන්සේ මා වෙත සුරත දිගු කර ‘මහණ මෙහි එනු මැනවැයි කරුණා ස්වරයෙන් කීහ. මා ලද විමුක්තිය එය විය.’

මෙබඳු කතා බුදු සිරිතෙහි අපට හමුවෙයි. ඉන් පසක් වන්නේ බුදුන් වහන්සේගේ සම්ප්‍රාප්තියත් සමගම ඉන්දියානු සමාජය තුළ සිදු වූ මහා පරිවර්තනයයි. මේ පීඩිත සුසුම් හා කඳුළුවලින් නිදහස් වූ ජනතාවට බුද්ධකාලීනව සමාජයෙහි අභිනව නිදහස් සුවයක්, අස්වැසීමක් ලබාගැනීමට ද හැකි විය. කුල ක්‍රමයේ අසාධාරණත්වය පමණක් නොව බ්‍රාහ්මණයන්ගේ පූජා ක්‍රමවල අරුත්සුන් බව ද ජනතාව වටහා ගත්තේ බුදුදහම හා චර්යාධර්ම නිසාය. සමාජයක් ඉදිරියට යෑමට බැඳීම්, තෙරපීම් හා පීඩනයන් නොතිබිය යුතුය යන චින්තනය සමාජගත වීම මානව ශිෂ්ටාචාරයේ අලුත් පියවරක් විය.

බුදුන් වහන්සේ කිසි විටෙක සමාජයෙන් ඈත්ව හෙවත් අබිනික්මන් කිරීමෙන් විමුක්තිය ලබාගත යුතුය යන්න අවධාරණය කළේ නැත. ජීවිතය දුකක් බව දාර්ශනිකව තහවුරු කර ඒ දුකින් මිදෙන මාර්ගය පෙන්වා දීම බුදුදහම පිළිගෙන තිබේ.

ගිහියන්ට හා පැවිදි අයට වෙන වෙනම කරුණු පහදාදීම බුදුන් වහන්සේ අනුගමනය කළ පිළිවෙත විය. එසේම සෑම දෙයකම අනිත්‍ය බව බුදුදහම පෙන්වාදෙන ධර්මතාව හෙවත් න්‍යාමය විය. දුකට හේතු වන කරුණු ජය ගත හැකි මාර්ගයේ උපරිම අවස්ථාව නිවන ය. ඒ නිවන්මඟට මෙහා මිනිස් ජීවිතය සාර්ථක කරගත හැකි සමාජ ආර්ථික වැඩපිළිවෙළක් ද බුදුහු යෝජනා කළහ. සංසාරය යනු පුද්ගලයා නිමග්නව සිටින දුක බවත් ඒ සසරින් එතෙර වීම පරම සුවය බවත් බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ. සාමාන්‍ය ගිහි ජීවිතය ගතකරමින් බොදු පිළිවෙත් අනුව ජීවිතය ගෙවීමත් බුදුහු අනුමත කළහ. ගිහි ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය පමණක් නොව පවුල නමැති ඒකකය ජය ගැනීම යහපත් සමාජයකට අනිවාර්ය දෙයක් බව උන්වහන්සේ විවිධ අවස්ථාවල පෙන්වා දී ඇත. මංගල, වසල, පරාභව, සිඟාලෝවාද වැනි සූත්‍රවලින් වුව ද තහවුරු වන්නේ බුදුන් වහන්සේ යහපත් දැහැමි සමාජයක් සඳහා පරමාදර්ශ පෙන්වා වදාළ බවය.

බුදුන් වදාළේ බල චක්‍රය වෙනුවට ධර්මචක්‍රයයි!

බුදුන් වහන්සේ සමාජ – ආර්ථික හා දේශපාලන කරුණු කෙරෙහි කෙබඳු අවධානයක් යොමු කළේ ද යන්නට නිදසුන් කළ හැකි සූත්‍ර ධර්ම රැසක් ම ඇත. කාමභෝගි ගිහියා සාමාන්‍ය පෘථග්ජන මිනිසකු වුවත් ඔහුගේ නිෂ්පාදන කාර්ය ධාර්මික හා සාහසිකත්වයෙන් මිදිය යුතු බව ද බුදුහු වදාළහ. ආර්ථිකය සදාචාර ප්‍රතිපත්ති මත පදනම් විය යුතු බව ද ධනය බෙදීයෑම සමාජයෙහි සාමය යහපැවැත්මට හේතු වන බව ද බුද්ධ වචනය විය. පාරිභෝගික සමාජය මෙන්ම අධි පරිභෝජන රටාව සමාජයකට විපතක් බව ද බුදුන් වහන්සේ පෙන්වා දෙති. මිනිසකුට වුවමනා මූලික අවශ්‍යතා සපුරාගත හැකි සමාජයක් බව ද උන්වහන්සේ විසින් කරන ලද අවධාරණයයි. දියුණුව යන්න බුදුන් වහන්සේ නිර්වචනය කළේ භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් ලබාගන්නා උසස් තත්ත්වයන් ලෙසය. සමාජ දුකට හේතුව ධනය විෂම ලෙස බෙදී යෑම බව මාක්ස්වාදීන්ට පෙර බුදුහු පෙන්වා දුන්හ. පුද්ගල දේපළ ක්‍රමය මත සමාජය තුළ ගැටුම් ඇතිවිය හැකි බව ද එහි උපරිමය තෘෂ්ණාහරිත සූරාකෑමට ලක්වන සමාජ ක්‍රමයක් ස්ථාපිත වීම බවත් සඳහන් කළ බුදුන් වහන්සේ දානය, පරිත්‍යාගය වැනි යහපත් ධර්මතා සමාජ දේශපාලනයේ පදනම බව ද වදාළහ. සොරකම, බොරු කීම, හිංසාව, ඝාතනය යනාදියට එක් හේතුවක් ලෙස දිළිඳුකම හෙවත් දුප්පත් බව දැක්වූ උන්වහන්සේ චක්කවත්තිසිහනාද වැනි සූත්‍රවලදී එය විස්තර කර ඇත. ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට කරුණු හතරක් වුවමනා බව වරක් උන්වහන්සේ අනේපිඬු සිටුවරයාට අවවාද ලෙස වදාළහ. ප්‍රමාණවත් ධනයක් තිබීම, (අත්ථි සුඛ) ඒ ධනය පවුලේ නෑ මිතුරන්ගේ යහපතට වියදම් කිරීම (භෝග සුඛ) ණය නැති වීම (අනණ සුඛ) සිත, කය පිරිසිදු ජීවිතයක් ගෙවීම (අනවජ්ජ සුඛ) යනු ඒ කරුණු හතරය.

මෙසේ බුදුන් වහන්සේ සමාජය, දේශපාලනය පමණක් නොව යුද්ධය හා සාමය පිළිබඳව ද සෘජුව අදහස් දැක්වූ ශාස්තෘවරයෙකි. යුද්ධය අනුමත නොකළ උන්වහන්සේ සාමය වෙනුවෙන් නිරන්තරවම පෙනී සිටි උතුමෙකි. බුදුන් වහන්සේ වැඩ විසූ කාලයේම ශාක්‍යයන් හා කෝලිය වශිකයන් අතර යුද්ධයකට සූදානමක් විය. ඒ රෝහිණී නදියෙහි ජලය බෙදාගැනීම මුල්කර ගනිමින් ඇති වූ ප්‍රශ්නයක් නිසාය. උන්වහන්සේ මැදිහත්ව එය සමථයකට පත් කළහ. යුද්ධයෙහි ප්‍රතිඵලය මතුවටත් යුද්ධයකට මාවත සකසා ගැනීමක් බවද උන්වහන්සේ කීහ. භගවත්ගීතාව මෙන්ම වීර කාව්‍යවල යුද්ධය අනුමත කළත් බුදුන් වදාළේ යුද්ධය යනු මොනම තත්ත්වයක් යටතේ හෝ අනුමත කළ නොහැකි තත්ත්වයක් බවය. බුදුසමය මානවවාදය අගයන දහමක් බව බුදුන් වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශවලින් තහවුරු වේ. ඉන්දියාවේ අසෝක අධිරාජයාගේ යුද පිළිවෙත වෙනස් වූයේ ද බුදුදහම හා බොදු පිළිවෙත්වල බලපෑම නිසාය. ධර්මයෙන් ලබන ජයග්‍රහණය සනාතන ජයක් බව බුදුදහම තහවුරු කරයි.

මේ වනවිට බුදුන් උපන් දේශය යන විරුදාවලිය නිසාම සාඩම්බර ලීලාවෙන් සිටින ඉන්දියාව යුද අනතුරකය.

ඒ අසල්වැසි පාකිස්තානය සමගය. ඉන්දියාව මෙන්ම පාකිස්තානය න්‍යෂ්ටික බලය ද සහිත ස්වාධීන රටවල් දෙකකි. විශිෂ්ට භාරත පුත්‍රයකු වූ ශ්‍රී නේරු එදා බැන්ඩුන් සම්මේලනයේදී බෞද්ධ දෘෂ්ටිකෝණය මත පදනම්ව යුද්ධය පිටුදැක තිබේ. 1955 වසරේදී බැන්ඩුන් නුවර පැවැති ආසියානු සමුළුවේදී නේරු මෙසේ පවසා තිබේ.

අප යුද්ධය වැළැක්විය යුතුය. සාමය සෑම රටකම ප්‍රතිපත්තියෙහි තීරණාත්මක සාධකය විය යුතුය. මෙය හුදෙක් අලංකාරොක්තියක් නොවේ. කවර හෙයින්ද යත්? අපට ඇත්ත වශයෙන්ම ලෝකය තුළ සැබෑ වෙනසක් සිදුකළ හැකිය. සාමයේ පදනම් ශක්තිමත් කළ හැකිය. ඉන්දියාව සම්බන්ධයෙන් කියතහොත් ඇයට ආක්‍රමණයක් සිදු නොකරන්නේ නම් ඇය අනාගත යුද්ධයක කොටස්කරුවකු නොවනු ඇත. හැම රටක්ම බල කඳවුරු දෙකෙහි එක් පැත්තක් ගන්නේ නම් යුද්ධය වැළැක්විය හැක්කක් නොවනු ඇත. එහෙත් සෑම රටක්ම අවංකභාවයෙන් යුක්ත වන්නේ නම් එය යුද්ධයක් ඇතිවීමේ බිය යටපත් කිරීමට උදව්වක් වනු ඇත. ආසියාවේ හා අප්‍රිකාවේ සදාචාර ශක්තිය ඇත්ත වශයෙන්ම සාමය සඳහා පවත්නා වූ වැදගත් සාධකයකි. පංච ශීල – ගාන්ධිගේ ප්‍රතිපත්තිවලට පදනම් වූ මූලධර්ම පහ ව්‍යාප්ත විය යුතුය. සෑම ශ්‍රේෂ්ඨ අදහසක්ම අලුත් නොවන්නාක් මෙන්ම මෙය ද ඇත්ත වශයෙන් අලුත් දෙයක් නොවේ. කෙසේ වෙතත් සහජීවනය සිත් තුළ බලපෑමක් සිදුකර ඇත. කුමක් හෙයින්ද යත් එය වර්තමාන ප්‍රවණතාවලට වඩාත් අනුකූල වන හෙයින්ය. යුද්ධය වැළැක්වීම සඳහා මෙය හැර වෙන මාවතක් නැත.

ඉන්දියාව හා පාකිස්තානය අතර ඇවිළී යෑමට හැකි මේ යුද ගින්න නිවා දැමීම කෙරෙහි ලෝක බලවතුන්ගේ ද අවධානය යොමුව ඇත. ශ්‍රී ලංකාව ද මේ අසල්වැසි මිතුරු සබඳතා පළුදු වීම අපේක්ෂා නොකරයි. බුදුදහම උපන් දේශය – බුදු දහමින් පිබිදුනු සංස්කෘතික මිතුරා වන ශ්‍රී ලංකාව සමග නිබඳව බැඳුණු රටක් ද වේ. කලකට පෙර එනම් 1962 දී පමණ ඉන්දු-චීන දේශ සීමා අරගලය කරා යොමු වෙද්දීත් ඒ දෙරටේම මිත්‍රශීලී රටක් ලෙස ලංකාව එයට කළ මැදිහත්වීම් ද අපට මතකය.

එවක මෙරටේ අගමැතිධුරය හෙබවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ ආක්‍රමණිකයන් දෙපසට කිරිම සඳහා කළ මැදිහත්වීම් ඇගේ රාජ්‍ය තාන්ත්‍රික භාවය ද විශද කරන්නක් විය. සිරිමාවන්ගේ අදහස වූයේ දැවැන්ත රටවල් දෙකක් යුද්ධයකට මැදිවීම ඒ රටවලට මෙන්ම අසල්වාසි ලංකාවට ද අනතුරුදායක බවය.

ඇත්ත වශයෙන්ම ඒ වනවිට ලොව ප්‍රකට රාජ්‍ය නායකයන් ලෙස සිටි ජනාධිපති නසාර් ජනාධිපති නේවින්, සිහනුක් කුමරු, සුකරිනො ආදීන් ද වහාම සම්බන්ධ කරගත් සිරිමාවෝ සාම දූතිකාව ලෙස තම යෝජනාවට එකඟතාව ද ලබාගත්තාය. චීනය හා ඉන්දියාව ඇගේ අදහසට එකඟ වූ අතර එය ජගත් නායකයන්ගේ ද පැසසුමට ලක්වූ කරුණක් විය.

අප මේ අතීත යුද උණුසුම් හා ඒ පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිහිපත් කළේත් ඉන්දියාව හා පාකිස්තානය යන රටවල් දෙකම මේ විනාශය කරා යන ගමනට අපට යමක් කළ හැකි බව පෙන්වා දීමටය. මෙරටේ හිටපු අගමැතිවරයකු වූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සඳහන් කළේත් නොබැඳි යන වචනය උතුම් පිළිවෙතක් වුවත් මානව සංහතියේ සාමය සමෘද්ධිය හා සතුට වෙනුවෙන් අප ඕනෑම අයකු සමග බැඳී සිටීම වරදක් නොවන බවය.

කෙසේ හෝ හින්දු දර්ශන අනුදත් කෞටිලය්‍යගේ අර්ථ ශාස්ත්‍රය පිළිගත් ප්‍රතිපත්තිය වන බලය හෝ වඩාත් යෝග්‍ය දේ නිවැරදිය යන්න බුදු සමය බැහැර කරයි. බලචක්‍රය ධර්මචක්‍රය නිසා ප්‍රවර්තනය වේ යන්න ඉන්දියාවේ ද අවධානයට ලක් වූවකි. අසෝක අධිරාජයා විසින් අනුගමනය කරන ලද්දේත් බුදු සමයෙන් ඉගැන්වෙන දේශපාලන පිළිවෙත් අනුව ක්‍රියාකිරීම බව පෙනේ. රාජ්‍යය තුළ පිළිබිඹු විය යුත්තේ ද ධාර්මිකත්වයේ ආධිපත්‍යය බව බුදුසමය පිළිගනී.

අවසන් වශයෙන් මේ වෙසක් සිතුම් පැතුම් කෙරෙහි බහුතර ජනතා අවධානය යොමු වෙද්දී දේශපාලනයේ අලුත් උණුසුම පිළිබඳව ද යමක් සඳහන් කළ යුතුය. ඒ වූ කලී පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමග ඇවිළෙමින් තිබෙන ග්‍රාම්‍ය බල තෘෂ්ණාවයි. මෙයට පෙර ද අප විසින් සඳහන් කරන ලද පරිදිම ඒ ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවට මෙන්ම විපක්ෂයට ද තෘප්තිමත් විය හැකි එකක් නොවේ. ආණ්ඩුවේ පසුබැසීම මෙන්ම විපක්ෂයේ අසාර්ථකත්වය ද එයින් පැහැදිලිව දැකගැනීමට ප්‍රබුද්ධ ජනතාවට හැකි වී තිබේ. එහෙත් විපක්ෂයේ ඇතැම් අයගේ ගණිත විජ්ජා අනුව නම් විපක්ෂයට බලය පිහිටුවාලීම සඳහා පැහැදිලි ජනවරමක් ලැබී ඇත. මේ දේශපාලන සෙල්ලම අලුත් දෙයක් නොවේ. එහෙත් ඒ ලෙස එක්විය හැකි යැයි කල්පනා කරන විපක්ෂයේ විවිධ කණ්ඩායම් මෙන්ම ස්වාධින පිරිස් ද විදහා දක්වන්නේ දේශපාලන පරිණතභාවයකට වඩා දේශපාලනයේ මජර මෙන්ම අවස්ථාවාදයක් බව ද පැහැදිලිය. එසේම ආණ්ඩුව ද තමන් සමග එකඟ නොවන දේශපාලන ඩීල්කාරයන් බිලි බා ගැනීමට කල්පනා කරන්නේ නම් එය ද පරිහානියේ ලකුණක් වනු ඇත.

ගාමිණි සුමනසේකර


advertistmentadvertistment