බූස්ස බන්ධනාගාරයේ එස්.ටී.එෆ්. කළ හදිසි සෝදිසියෙන් ජංගම දුරකථනයක් සහ අමතර කොටස් අත්අඩංගුවට

36

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඉකුත් 23 දා (පෙරේදා) බූස්ස බන්ධනාගාර කඳවුර තුළ කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථනයක් සහ දුරකථන කොටස් කිහිපයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරැණි අංශයේ ඒ වාට්ටුව තුළ සහ විශේෂ අංශයේ පිහිටා ඇති බන්ධනාගාර රෝහල, බන්ධනාගාර නියාමක විවේකගාරය, රැඳවියන් රඳවා සිටින ස්ථාන ආදී සියල්ල දැඩි සෝදිසියකට ලක්කර ඇත. එහි දී බන්ධනගාරයේ පැරණි අංශයේ ඒ වාට්ටුව තුළ ජංගම දුරකථනක් සහ සිම්පතක්ද, බන්ධනාගාර නියාමක විවේකගාරයේ ජනේලයක් මත තිබී ජංගම දුරකථන බැටරියක්ද, සිවිලිම උඩ තිබී පිටත ආවරණය ඉවත් කරන ලද චාජර් කොටසක්ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් බූස්ස බන්ධනාගාර කඳවුරේ උ.පො.ප. ආර්. ජි. සී. කේ. රාජපක්ෂ සහ තිලකරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ ඇත.

බළපිටිය – අනුර යසමිත්


advertistmentadvertistment