භාෂා 110ක් කතා කරන විපතේ දී පිහිට වන යෙහාන් පියතුමාට මොකද වුණේ

1157

මෙට්‍රොපොලිටන් පියතුමන් ලියූ ග්‍රන්ථ 400කට වැඩියි…

සුනාමි ව්‍යසනයේ දී ලංකාවේ ලක්‍ෂයකට මාස 3ක් කන්න දීලා, නිවාස 200ක් හදලා…

දුෂ්කර පාසල්වල දරුවන්ට දිවා ආහාරය සමග නොමිලේ ටියුෂන්…

පානීය ජලය නැති ගම්වලට පිරිසිදු ජලය…

ලෝකයේ ස්වභාවික විපත කොතැනද යොහාන් පියතුමා එතැන…

මඟමරුවකුට බිලිවී ස්වර්ගස්ථ වනවිට වයස අවුරුදු 74යි…

විපත කොතැන ද? මෝරන් මෝර් ඇතනේසියස් යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන් එතැන ය. ලෝකය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටි යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන් කොහේ හෝ රටක ස්වභාවිකව ඇති වූ විපතක් හේතුවෙන් අසරණ වන ජනතාව නඟාසිටුවීමට සිදු කළ සේවය පත්තර පිටුවකට ලඝු කිරීමට නොහැකි තරම් ය. එතුමන් කළ සේවය පොත් සිය ගණනක් ලිවිය හැකි මහා සමාජ සද්කාරයකි.

කේරළයේ නිරනම් ගමේ දිළිඳු පවුලක උපත ලැබූ මෝරන් මෝර් ඇතනේසියස් යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන් අධ්‍යාපනයේ විවිධ කඩඉම් අසීරුවෙන් ජය ගෙන හිනිපෙත්තට පැමිණිවිට ප්‍රධාන අරමුණ වී ඇත්තේ අසරණ ළමයින්ට රැකවරණය ලබාදීම සහ නිසි අධ්‍යාපනය ලබාදීම ය. ලොව පුරා දිළිඳු ජනතාව නඟාසිටුවීමට කටයුතු කිරීම ය. 2002 වර්ෂයේ දෙසැම්බර් 13 වැනිදා ඉන්දියාවේ නාග්පූර් පිහිටි දෙව්සත්හල් දේවස්ථානයේ දී සාමාජිකයන් 120 දෙනකුගෙන් සැදුම්ලත් බිලීවර්ස් චර්ච් පෙරදිග සභාවේ හි තෙදිනක් පුරා පැවැති විධායක රැස්වීමේ දී සාකච්ඡා වූ කරුණු මත බිෂොප් ධුර පාලන ක්‍රමය වැළඳගතයුතු බව ද ප්‍රථම බිෂොප්වරයා ලෙස ආචාර්ය කේ. පී. යොහැන්නන් එම සභාවේ මෙට්‍රොපොලිටන් පියතුමන් බවට ඒකච්ඡන්දයෙන් පත්වීමත් සමග සමාජ සහ සාක්‍ෂරතා, සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂක, නිපුණතා සංවර්ධන, ව්‍යාපාර බලගැන්වීමේ (ග්‍රාමීය ප්‍රජා සංවර්ධන) පුනරුත්ථාපන, සහන සේවා ව්‍යාපෘති සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘති ඇතුළු සමාජ සද්කාරයන් රාශියක් ක්‍රියාත්මක කර ඇත. මෝරන් මෝර් ඇතනේසියස් යොහාන් මෙට්‍රොපොලිටන් පියාණන්ගේ සමාජ සේවයට බලපෑ සංවේදී සිද්ධීන් කිහිපයක් ගැන අප දැනුවත් ය. එහෙත් ඒ සියලු කතන්දර මේ සටහනට බර වැඩිය.

භාෂා 110ක් කතා කරන විපතේ දී පිහිට වන යෙහාන් පියතුමාට මොකද වුණේ

බිලීවර්ස් පෙරදිග සභාව යනු වසර 2000කට වඩා පැරැණි අපෝස්තලික ඉගැන්වීම්, සම්ප්‍රදායන්, ඇදහිල්ල සහ ක්‍රියාපිළිවෙත් ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යන ජගත් කිතුනු සභාවේම එක් පාර්ශ්වයකි. එම සභාවේ ස්වාමි වන ජේසු ක්‍රිස්තු සමිඳුන්ගේ මහා ආඥාව තුළ සවිමත් ලෙස ගැඹුරටම මුල් බැසගත්, සම්මත ව්‍යවස්ථාවක් යටතේ කටයුතු කරන දේහයට ආවේණික ස්වයං පාලනයක් යටතේ පාලනය වන්නකි. වසර 2000කට අධික කාලයක සභා ඉතිහාසය පුරාවට දුසිම් ගණනක් වූ කිතුනු නිකායන් අපෝස්තලික බිලීවර්ස් ඊස්ටන් සභාව ද ඓතිහාසික වූද ව්‍යවස්ථාපිත බිෂොප් පෙළපතක් පවත්වාගෙන එන්නකි. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි බිලීවර්ස් චර්ච් පෙරදිග සභාවේ මව් ශාඛාවේ ප්‍රථම බිෂොප් ධුරයේ වැඩ භාරගත් යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමා විසින් කෙටි කාලයක් තුළ මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක බිලීවර්ස් ඊස්ටන් ශාඛාවන් විවෘත කරමින් එම රටවල දිළිඳු ප්‍රජාව නඟාසිටුවීමට විශාල වැඩ කොටසක් ආරම්භ කර ඇත.

1994 වර්ෂයේ දී ආරම්භ කරන ලද කඳානේ ශාන්ත පේදුරු ආසන දෙව්මැඳුර ප්‍රධාන කොටගෙන මෙරට පුරා බිලීවර්ස් පෙරදිග සභාවට අයත් මීසම් 38ක් ක්‍රියාත්කව පවතී. මෙරට රදගුරු පියතුමන් වනුයේ ගී වර්ගීස් මෝර් මාතාරියොස් පියාණෝ ය. ලංකාවේ සහ අප්‍රිකාවේ පරිපාලනය භාරව කටයුතු කරනුයේ ද එම රදගුරුතුමන් ය. මේ වෙනකොට ලෝකයේ රටවල් 18ක් තුළ බිලීවර්ස් පෙරදිග සභාවට අයත් පදවි 80ක් තුළ මීසම් 20,000කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක පවතී. ඒ සියලු මීසමක් ම ආරම්භ කර ඇත්තේ යොහාන් මෙට්‍රොපොලිටන් පියාණන්ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ ය. එමෙන්ම බිලීවර්ස් චර්ච් පෙරදිග සභාවේ විධායක සභාව විසින් තෝරාපත් කර ගත් බිෂොප්වරු විසින් ඒ, ඒ රටවල බිලීවර්ස් ඊස්ටන් චර්ච් හි පරිපාලන කටයුතු සිදු කරගෙන යන අතර, සෑම මීසමකම ඉරුදින දේව මෙහෙය ඇතුළු සෙසු දේව මෙහෙයන් පවත්වාගෙන යනු ලැබේ. ‘මනුෂ්‍යයා ට උපකාර කිරීම මනුෂ්‍යයාගේ පරම යුතුකම’ ක්‍රියාවට නංවමින් එම මීසම්වලින් ලොව පුරා කර ගෙන යන සමාජ සද්කාරයන් ද අතිවිශාල ය. ආසියාතික රටවල පමණක් නොව, අප්‍රිකාව, ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 18ක ස්වභාවික විපත්වලින් අසරණ වූ ජනතාවට පිහිට වීමට බිලීවර්ස් චර්ච් පෙරදිග සභාව කටයුතු කර ඇත.

භාෂා 110ක් කතා කරන විපතේ දී පිහිට වන යෙහාන් පියතුමාට මොකද වුණේ
මෙට්‍රොපොලිටන් පියතුමන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග

එම සභාවට නායකත්වය ලබාදෙන යොහාන් මෙට්‍රොපොලිටන් පියාණන්ගේ දැක්ම වනුයේ මනුෂ්‍යයාට ගරු කිරීම ය. මනුෂ්‍යයාට සැලකීම ය. යම් මනුෂ්‍යයෙක්ට දයාව, කරුණාව දක්වන්නේ ද ඒ තුළින් ඉස්මතු වනුයේ දේව ප්‍රේමය බව පියාණන්ගේ පරමාදර්ශය යි. 2004 වර්ෂයේ දී ඇති වූ සුනාමි ව්‍යසනයේ දී දෙවන වරට ලංකාවට පැමිණි යොහාන් මෙට්‍රොපොලිටන් පියාණෝ විපතට පත් සෑම ප්‍රදේශයක් ම ආවරණය වන ආකාරයට සහන කඳවුරු පවත්වාගෙන ගියහ. 800ක් 1000කට ආසන්න අවතැන් මිනිසුන් ජීවත් වූ කඳවුරු 10කට වැඩි සංඛ්‍යාවකට අවශ්‍ය ආහාර මාස තුනක පමණ කාලයක් ලබාදීමට යොහාන් මෙට්‍රොපොලිටන් පියාණෝ මූලිකත්වය ගෙන කටයුතු කළහ. අනතුරුව සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමි වූ පවුල් 200කට ආසන්න සංඛ්‍යාවකට නව නිවාස ලබාදීමට ද මෙට්‍රොපොලිටන් පියාණන් කටයුතු කර තිබිණි. ජාති, ආගම් භේදයෙන් තොරව මනුෂ්‍යයාට පිහිට වීම පරමාදර්ශය කර ගත් මෙට්‍රොපොලිටන් පියාණන් සුනාමි ව්‍යසනයෙන් පසු මෙරට සිදු වූ සෑම ස්වභාවික විපතක දීම ක්‍ෂණයෙන් ක්‍රියාත්මක වෙමින් හැකි උපරිමයෙන් අසරණ ජනතාවට සරණක් වීමට පසුබට නොවූහ. 2017 වර්ෂයේ දී පළාත් කිහිපයක ඇති වූ ගංවතුර සහ නාය යෑම් ව්‍යසනයේ දී ද මෙරටට පැමිණ විපතට පත් ප්‍රදේශවල සංචාරය කරමින්, අසරණ මිනිසුන්ගේ සුවදුක් විමසමින් පැදුරු, කොට්ටයේ සිට සියලුම උපකරණ සහ ආහාර ලබාදීමට අධ්‍යාත්මික පියාණෝ කටයුතු කළහ. පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දී ද විපතට පත් ජනතාවට සිදු කර ඇති සේවය එක පරිච්ඡේදයකින් අවසන් කළ නොහැකි තරම් ය. කොරෝනා ව්‍යසනයේ දී මෙරට පමණක් නොව, ලොව පුරා රටවල පීඩාවට පත් ජනතාවට විවිධාකාරයෙන් උපකාර කිරීමට මෙට්‍රොපොලිටන් පියතුමන් කටයුතු කර තිබිණී. එමෙන්ම ආර්ථික අර්බුදයෙන් ගැටලු දැලක පැටලෙනවිට මෙරටට බෙහෙත් ආනයනය කිරීමට උපකාරී වී ඇත්තේ සමාජ සද්කාරයන් සඳහා යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන් මෙරටට ඒවා ඇති ඩොලර් බව මහ බැංකු වාර්තාවලින් පෙන්වා දෙයි.

2020 වර්ෂයේ දී නුවරඑළිය සහ පොළොන්නරුව මන්දපෝෂණ දිස්ත්‍රික්ක වශයෙන් නම් කිරීමත් සමග එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දිළිඳු පවුල් 10,000කට රුපියල් 37500ක් පමණ වටිනාකමින් යුත් වියළි ආහාර මලු ලබාදීමට කටයුතු කරනු ලැබිණි. එමෙන්ම 2014 වර්ෂයේ සිට මේ දක්වා ‘බලාපොරොත්තුවේ පාලම’ වැඩසටහන යටතේ මෙරට දුෂ්කර පාසල් කිහිපයක දරුවන්ට වර්ෂයට ම අවශ්‍ය සම්පූර්ණ පාසල් උපරකණ ලබාදෙමින්, පාසල් දිනවල දිවා ආහාරය ලබාදී නොමිලේ ‘ටියුෂන්’ ලබාදීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කර තිබේ. ඊට අමතරව මෙරට බොහෝ පළාත්වල දිළිඳු පවුල්වල දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ වාර්ෂිකව ලබාදෙනු ලැබේ. එම ව්‍යාපෘතියේ අරමුණ වනුයේ ප්‍රතිලාභ ලබන සෑම පවුලකම එක දරුවෙක් හෝ විධිමත් අධ්‍යාපනයක් ලබාගෙන සමාජයේ වැඩදායී පුරවැසියෙක් වෙනවා දැකීමය. එමෙන්ම දුෂ්කර පාසල්වලට අවශ්‍ය උපකරණ, ගොඩනැඟිලි ලබාදීම ද සිදු කරති. මෙරට විවිධ ප්‍රදේශවල පවතින පානීය ජල ගැටලුවට විසඳුම් ලෙස ජල ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර තිබේ. ඒ තුළින් මේ වනවිට ප්‍රදේශ රාශියක පානීය ජල ගැටලුවට සාර්ථක පිළියම් ලැබී ඇත. ජල උල්පත් බහුල සිංහරාජ රක්ෂිතය මායිමේ දෙණියායේ ගම්මාන කිහිපයක පවුල් 700කට සහ පාසල්, රෝහල් සහ රාජ්‍ය ආයතන කිහිපයකට පානීය ජලය ලබාදී ඇත්තේ ඉන්දියාවේ ජීවත් වූ යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ය. අනුරාධපුර, මොනරාගල දිස්ත්‍රික්ක ඇතුළු මෙරට ප්‍රදේශ කිහිපයක ජල ව්‍යාපෘති 50කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක ය. එම ජල ව්‍යාපෘතිවලින් පවුල් ලක්‍ෂ ගාණකට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදී ඇත. එක ජල ව්‍යාපෘතියක වියදම රුපියල් මිලියන 60, 70කට වැඩිය. එමෙන්ම රට පුරා රෝහල් රාශියකට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම තවත් එක් විශේෂ සමාජ සද්කාරයකි. ගර්භිණී මාතාවන්ට පෝෂණ මලු සහ දරු ප්‍රසූතියට අවශ්‍ය උපකරණ කට්ටල බෙදාදීම යොහාන් මෙට්‍රොපොලිටන් පියාණන්ගේ සමාජ සද්කාරයෙන් සුවිශේෂී ව්‍යාපෘතියකි.

යොහාන් මෙට්‍රොපොලිටන් පියාණන්ගේ සමාජ සද්කාරය ආරම්භ වනුයේ මෙරටින් නොව, ඉන්දියාවෙනි. පියාණන්ගේ සංකල්පයකට අනුව ඉන්දියාවේ වීථි දරුවන් රැකබලාගනිමින් සමාජයේ වැඩදායී පුරවැසියන් බවට සවිබල ගැන්වීම සඳහා ‘ආශා හෝම්’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර දැන් බොහෝ කාලයකි. එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස මේ වෙනකොට සරණක් නොමැතිව අයාලේ ගිය දරුවන් දහස් ගාණක් උස් මිනිසුන් ලෙස ඉන්දියාවේ ආර්ථිකයට විශාල දායකත්වය ලබාදෙන බව ද වාර්තා වේ. එමෙන්ම ඉන්දියාවේ පානීය ජල ගැටලුව අතිශය උග්‍රය. ‘ජේසුගේ ළිඳ’ ව්‍යාපෘතිය ආරම්භ කරමින් එරට පුරා ප්‍රදේශ රැසක පානීය ජල ගැටලුවට සාර්ථක විසඳුම් ලබාදීම ද විශේෂත්වයකි. එමෙන්ම ඕනෑම රටක විපතට පත් ජනතාවට, දිළිඳු ජනතාවට උපකාර කරනුයේ එරට රජයේ අදාළ ආයතන සම්බන්ධ කරගෙන උපරිම විනිවිදභාවයෙන් යුක්තව ය. සරණක් වනුයේ උපකාර ඇවැසි තැනට පමණි. නිකරුණේ සතයක් හෝ වියදම් නොකිරීම මෙට්‍රොපොලිටන් පියාණන්ගේ පරමාදර්ශයකි. අදට ද ලොව පුරා රටවල දැවැන්ත සමාජ සද්කාරයන් සිදු කරගෙන යනුයේ මනා කළමනාකාරිත්වයකින් යුක්තව යටි අරමුණුවලින් තොරව විශ්වසනීය ආකාරයට එම කටයුතු කරගෙන ගිය නිසා ය. එමෙන්ම හුදෙක් එම සමාජ සුබසාධනය ආගම් ප්‍රචාරණ ව්‍යාපෘති නොව, මානුෂීය සද්කාරයක් බව ලොව පුරා බැතිමතුන් පිළිගෙන තිබේ. යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන් මනුෂ්‍යයා කෙරෙහි දැක් වූ ආදරය, අනුකම්පාව ගැන අවබෝධයෙන් සිටින බැතිමතුන් එම මානුෂීය සද්කාරයට හැකි උපරිමයෙන් දායකත්වය ලබාදීමට ද පසුබට නොවෙති. මෙට්‍රොපොලිටන් පියතුමන් මනුෂ්‍යත්වයේ නාමයෙන් තවත් කෙනෙක් ඉදිරියේ හඬා වැටෙමින් යමක් ඉල්ලා ගැනීමට ද පසුබට නොවෙති.

ග්‍රන්ථ 400කට වැඩි සංඛ්‍යාවක් එළිදක්වා ඇති මෙට්‍රොපොලිටන් පියාණෝ භාෂා 110න් ‘ආත්මීය යාත්‍රා’ නමින් ගුවන් විදුලි වැඩසටහනක් කරගෙන ගියහ. එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගිකව පැන නඟින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන සහ ගැටලුවලට විසඳුම් ලබාදෙන ආත්මීය යාත්‍රා ගුවන් විදුලි වැඩසටහන හරහා මෙට්‍රොපොලිටන් පියතුමන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ඇති බව ද වාර්තා වේ. දික්කසාදය පාපයක් ලෙස හඳුන්වන යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන් ‘විවාහය සහ ලිංගිකත්වය’ පිළිබඳ ග්‍රන්ථයක් ද එළිදක්වා ඇත. ‘ළදරුවෝ නොමරන්න’ ග්‍රන්ථයෙන් ගබ්සාව සම්බන්ධයෙන් ද දීර්ඝව සාකච්ඡා කර ඇති මෙට්‍රොපොලිටන් පියතුමන් ගබ්සාව පිළිකුළෙන් හෙළා දකින බව එහි අන්තර්ගත කර තිබේ. යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන් රචනා කරන ලද පොත්පත් අතර එම පොත් දෙක සුවිශේෂී ග්‍රන්ථ ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ඇති බව ද සැබෑය. මිනිසාට මෙන්ම ගහට, කොළට ආදරය කළ මෙට්‍රොපොලිටන් පියතුමන් ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළ කේරළයේ තිරුවල්ලා ප්‍රදේශයේ පිහිටි බිලීවර්ස් ඊස්ටන් දෙව්මැඳුර පිහිටි අක්කර 1500ක භූමිය වනඋද්‍යානයක් ලෙස පවත්වාගෙන යෑමට විශාල පරිශ්‍රමයක් යොදා තිබෙන බව ද වාර්තා වේ. එම භූමිය තුළ වාහන ගමන් කිරීම තහනම් කර ඇති යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන් දෙව්මැඳුර පිහිටි උද්‍යානය පුරා සංචාරය කර ඇත්තේ පාපැදියෙනි. ලංකාව පුරා සඳුන් පැළ ලක්‍ෂයක් සිටුවීම සහ මෙරට පුරා වනව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර ඇත්තේ යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන්ගේ පූර්ණ අධීක්‍ෂණයෙන් යුක්තව ය.

“දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන මේ පරිසරය ඊළඟ පරම්පරාවට සුරක්‍ෂිත කර දීම අපේ වගකීම…” යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන් මන්තරයක් ජප කරන අයුරින් නිතර ඒ ගැන අන් අයට පැවසීම පරිසර හිතකාමී බව ලොවට පසක් කිරීමක් බව සැබෑය. ශරීර සෞඛ්‍ය ගැන නිරන්තරයෙන් උනන්දු වූ යොහාන් මෙට්‍රොපොලිටන් පියාණෝ වයස අවුරුදු 74ක් නීරෝගි සම්පත්තියෙන් ජීවත් වූහ. සෑම දිනකම පාන්දර 4.00ට අවදි වී පැයක් පමණ ඇවිදීම පුරුද්දක් කර ගෙන සිටියහ. පසුගිය 08 වැනිදා හිමිදිරි පාන්දර මෙට්‍රොපොලිටන් පියතුමන් ඇමෙරිකාවේ ටෙක්සාස්හි බිලීවර්ස් ඊස්ටන් දෙව්මැඳුර ආසන්නයේ මාර්ගයේ ඇවිදමින් සිටිය දී අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මෙට්‍රොපොලිටන් පියතුමන් යටකර ගෙන ගොස් තිබිණි. ක්‍ෂණයෙන් ක්‍රියාත්මක වූ ආරක්‍ෂක අංශ විසින් රෝහල්ගත කළ ද ඒ වනවිටත් මෙට්‍රොපොලිටන් පියතුමන් ජීවිතය අතහැර තිබිණි.

මානව අයිතිවාසිකම් තුළ සංහිඳියාව, යුක්තිය සාධාරණත්වය හා සාමය, සමානාත්මතාව, සමාජ සාධාරණත්වය පැතුම් සහ ඉවසීම පූර්ණ නව පරම්පරාවක් නිර්මාණය කිරීම ආදිය තුළ ගැඹුරින් ආයෝජනය වී සිටින බිලීවර්ස් ඊස්ටන් සභාවේ ඒකායන අරමුණ ලෝකය සැබෑ දයාව කරා මෙහෙයවීම ය. පරිසරයට ප්‍රේම කිරීම ය. එවැනි උතුම් දැක්මක් සහිතව ලොව දිළිඳු සහ අසරණ ජනතාවගේ ගැලවුම්කරු ලෙස මිනිසාට සේවය කිරීම, පරිසරය ආරක්‍ෂා කිරීම ජීවිතය කර ගෙන සිටි යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන් නොසිතූ මොහොතක ජීවිතය අතහැර යෑම මුළු මහත් ලෝක ප්‍රජාවට ම අතිශය පාඩුවකි.

ලොව පුරා කෝටි, ප්‍රකෝටි දිළිඳු දරු පවුල්වල කුස ගිනි නිවීම, හිසට සෙවණක් ලබාදීම සහ නැණපහන් ආලෝවත් කළ පිනෙන් යොහාන් මෙට්‍රොපොලිටන් පියතුමන් දෙවියන් අතරට ගොස් ඇති බව අපගේ විශ්වාසයයි. පියතුමාගේ මනුසත් දැක්ම ඉදිරියට ක්‍රියාත්මක වෙනවා දැකීම අපගේ බලාපොරොත්තුවයි.

එමෙන්ම ඔබේ ගමේ පානීය ජල ගැටලු, වෙන යම් පොදු ප්‍රශ්න තිබේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාර්ගයෙන් කඳානේ ශාන්ත පේදුරු ආසන දෙව්මැඳුරට දැනුම් දෙන්න. ගමේ ගැටලුවට පිළිතුරු නියත ය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment