හන්තානට පායන සඳ නෙළුම් පොකුණේ බබළයි
මේ ප්‍රසංගය මට නැවුම් අත්දැකීමක් – ජනනි පීරිස්

ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් වසරකට ආසන්න කාලයක් නිහැඬියාවකින් පසු යළිත් වේදිකාවට ගෙන එන “හන්තානට පායන සඳ” ප්‍රසංගය එළැඹෙන 12 වැනිදා සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාගත කෙරේ. මහින්ද බණ්ඩාර සංගීතවත් කරන මෙම ප්‍රසංගයේ ගායනයෙන් සහාය වන්නේ උමාරියා සිංහවංශ සහ අමරසිරි පීරිස්ගේ දියණිය වන ජනනි පීරිස්ය. “හන්තානට පායන සඳ” ප්‍රසංගය ගැන මේ කතා බහ අමරසිරි පීරිස් මහතා සහ ජනනි පීරිස් සමගය.

ජනනි කියමු බලන්න මේ දවස්වල මොනවද කරන්නේ කියලා?

මම ඇත්තටම වෘත්තියෙන් ගුරුවරියක්. විෂයක් හැටියට පෙරදිග සංගීතය තමයි මම උගන්වන්නේ. මගේ පළමු පත්වීම කොළඹ දේවි බාලිකා විද්‍යාලය. අවුරුදු 13ක් මම එහි සේවය කළා. දැන් මම දෙහිවල ප්‍රෙස්බෙටේරියන් මහා විද්‍යාලයට ආවා. පසුගිය මාස 6ක කාලයක් තාත්තාගේ අසනීපයත් එක්ක පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ආවා. යළිත් මම ප්‍රෙස්බෙටේරියන් මහා විද්‍යාලයේ සේවය කරනවා.

මගේ නමින් යූටියුබ් චැනල් පහක් විතර තියෙනවා - අමරසිරි පීරිස්

තාත්තාට දැන් සුවයිද?

ඔව් දැන් තාත්තට සම්පූර්ණයෙන්ම සුවයි. තාත්තා සංගීත ක්‍ෂේත්‍රයේ මාස අටක විතර කාලයක් වැඩ කළේ නැහැ. දැන් මාස දෙකකට විතර උඩදී තමයි සින්දු කියන්න පටන් ගත්තේ.

‘හන්තානට පායන සඳ’ ප්‍රසංගය ගැන අමරසිරි පීරිස් මහතා හඬ අවදි කළොත්?

මගේ මුල්ම ප්‍රසංගය පැවැත්වූයේ 2004 වසරේදී. බිෂොප් විද්‍යාලයේ ශාලාවේදී තමයි ඒක පැවැත්වුණේ. පිට පිට දවස් දෙකක් එම ප්‍රසංගය පැවැත්වුණා. එම ප්‍රසංගය ඉතා සාර්ථකව පැවැත්වුණා. ඉන්පසු මම ලංකාවේ ලොකු ගමනක් ගියා. ඒ වගේම විදෙස් රටවල් හත අටකමත් ප්‍රසංග පැවැත්වූවා. මගේ ප්‍රසංගයකට නමක් යොදාගන්න මම මුලින්ම ගියේ අරිසෙන් අහුබුදු මහත්මයා ළඟට. එතකොට මගේ අමරසිරි පීරිස් කියන නමට ගැළපෙන විදිහට ‘සත්සැරි අසිරිය’ කියලා නම යෙදුවා. පසුව ප්‍රසංග සංවිධායකවරු කිව්වා සර් මේ නම ටිකක් දිග වැඩියි කියලා. අන්තිමේ කෙටි නමක් යොදමු කිව්වා. අන්තිමේ මට පසුගිය කාලයේ ඒ ගැන ලොකු ප්‍රශ්නයක් වුණා. යුද හමුදා වෛද්‍ය බළකායෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මගේ ප්‍රසංගයක් සංවිධානය කළා. අන්තිමේ ඒගොල්ලෝ මේ ප්‍රසංගයට කන්‍යාවි කියලා නම යෙදුවා. ඒ නමටත් ලොකු ප්‍රශ්න මතුවුණා. අන්තිමේ මම ‘හන්තානට පායන සඳ’ කියලා නම වෙනස්කර ගත්තා. අන්තිමේ ඒ නම හින්දා ප්‍රසංග වාර ගණනාවක් පැවැත්වූවා.

මැයි 12 වැනිදා කරන ප්‍රසංගය මුල්ම වතාවට තමයි නෙළුම් පොකුණ රඟහලේදී පවත්වන්නේ. ඒක මට මහඟු අවස්ථාවක්. ප්‍රවීණ ගී පද රචක නිලාර් එන්. කාසිම් තමයි මේ වැඩේට මුල පිරුවේ. මේ ප්‍රසංගයට උමාරියා සිංහවංශ වගේම මගේ දුව ජනනි පීරිස් සහභගි වෙනවා. සංගීතය මෙහෙය වන්නේ මහින්ද බණ්ඩාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දය. ප්‍රසංගය මෙහෙයවනවා සමන් අතාවුදහෙට්ටි.

මේ ප්‍රසංගයට උමාරියා සම්බන්ධ කරගන්න හිතුවේ ඇයි?

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමග ඇය ගායනා කළ ගීත ශ්‍රවණය කළහම මට හිතුණා ඇය හරි දක්‍ෂයි කියලා. අමරදේව සමග ගීතයක් ගායනා කරනවා කියන්නේ ලෙහෙසි පහසු අවස්ථාවක් නෙමෙයිනේ. ඉතිං මට හිතුණා මගේ ප්‍රසංගයට ඇයවත් සම්බන්ධ කර ගන්න. මගේ ආරාධනාව ඇය පැකිළෙන්නේ නැතිව භාර ගත්තා.

ඇය මට කිව්වා මම අංකල්ගේ ප්‍රසංගයට ගැළපෙන විදිහටයි ඇඳුම් පවා අඳින්නේ කියලා. ඒකෙන් තේරෙන්නේ මාත් එක්ක කොහොමද වේදිකාවේ ඉන්නේ කියලා කියන කාරණාවයි.

උමාරියා සමග කරන මේ ප්‍රසංගයට ඔබේ රසික රසිකාවියන් මොනවද කියන්නේ?

මේ වෙනකොට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මීට පෙරත් ඇයත් සමග ප්‍රසංග පවත්වලා තියෙනවා. ඉදිරියේදීත් ප්‍රසංග කිහිපයකට සහභාගිවීමට නියමිතයි. මම උමාරියා සමග පවත්වපු ප්‍රසංගවලදී ගොඩක් වෙලාවට රසික රසිකාවියෝ ඉල්ලනවා ඇය අමරදේවයන් සමග කළ ගීතය ගායනා කරන්න කියලා. මමත් ඒ ගීතය ගායනා කරන්න හරි ආසයි. ඉතිං මම මේ ප්‍රසංගයේදීත් උමාරියා සමග ඒ ගීතය ගායනා කරනවා.

සරස වසන්තය ගීතය මගේ දුවත් සමග මේ ප්‍රසංගයේ දී ගායනා කරනවා. ඒ වගේම සමන් සුගන්දනී කියන ගීතයත් ගායනා කරනවා. මම හිතනවා මේක නරඹන්න එන අයට නවමු අත්දැකීමක් ලබන්න පුළුවන් කියලා.

මගේ නමින් යූටියුබ් චැනල් පහක් විතර තියෙනවා - අමරසිරි පීරිස්

ප්‍රේමසිරි කේමදාස සංගීතඥයා ඔබේ ජීවිතයට සුවිශේෂී චරිතයක් නේද?

ප්‍රේමසිරි කේමදාස මහත්තයා මට ‘ළඳුණේ’ ගීතය ගායනා කරන්න ඉඩ නොදුන්නා නම් මම අදටත් ගායකයෙක් නෙමෙයි. මොකද මා ළඟ තිබුණු හුඟක් දේවල් මා තුළම රඳවා ගන්න සිද්ධ වුණා. ගුවන් විදුලිය තුළ, බාහිර සමාජය තුළ මා ප්‍රිය නොකරන බොහෝ දේවල් මේ ක්‍ෂේත්‍රය තුළ තිබුණා. ඒ නිසා මගේ හැකියාවත් මා තුළම හකුලා ගත්තා. මට සින්දු කියන්න ඕනේ නෑ කියලා හිතුණ අවස්ථා තිබුණා. ඒ නිසා ඒ අදහස මම අතහැර ගත්තා. මම එකම වැඩසටහනක් සිදු කළා. ඒ ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනක් එච්චරයි.

ඉතිං දවසක් ගීත පටිගත කිරීමකදී කේමදාස මාස්ටර් කිව්වා ගීතයක් තිබෙනවා පටිගත කරන්න කියලා. ඒ වෙලාවේ ප්‍රසිද්ධ ගායකයකුට සූදානම් කරලා තිබුණ ගීතයක් මට ගායනා කරන්න කිව්වා. එතුමාගේ දුරකථන සංවාදයකදී මට තේරුණා මේක වෙන ප්‍රසිද්ධ ගායකයෙකුට හදපු ගීතයක් කියලා. මම ඒ වෙලාවේ කිව්වා මාස්ටර් මම මේක කියන්නේ නැහැ කියලා. මේක වෙන කෙනෙකුට හදපු සින්දුවක් කියලාත් මට දැනුණා. ඒ වේලාවේ ගී පද රචක රන්බණ්ඩා සෙනෙවිරත්නත් කිව්වේ “ඒකට කමක් නෑ අමරේ, අපි මේක කියමු” කියලා. එහෙම තමයි ළඳුනේ ගීතය නිර්මාණය වෙන්නේ. ඒ ගීතය ගායනා කළාට පසුව තමයි මට මේ හැම පැත්තම විවෘත වුණේ. මේ ගීතය ගායනා කළේ 1989 වසරේ. මට අවුරුදු 40යි වයස. ඊට පසුව මට සිරිමැඳුර චිත්‍රපටයේ කන්‍යාවි ගීතය ගායනා කරන්න අවස්ථාව උදා වුණා. ඊට පසුව මම ගායනා කළ හැම ගීතයකටම සම්මානයක් ලැබිලා තියෙනවා. ඕසීඅයිසී සම්මානය තුන් වතාවක් ලැබිලා තිබෙනවා. එතකොට ජනාධිපති සම්මාන උළෙලේදී හතර වතාවක් සම්මානයට පාත්‍ර වෙලා තිබෙනවා. රාජ්‍ය සම්මාන හතරක් ලැබිලා තිබෙනවා. මට ලැබුණු සම්මාන තියන්න ඉඩක් නෑ ගෙදර සම්මාන මේසයේ.

ඔබගේ ගීත සියල්ලම වගේ ජනප්‍රියයි?

මගේ ගීත ප්‍රචාරය කරගන්න මම කවදාවත් යූටියුබ් හදාගෙන නෑ. මගේ නමින් යූටියුබ් චැනල් පහක් විතර තියෙනවා. කවුරු ඒවා හදලා ද කියන්න දන්නේ නෑ. ඒවායින් ඒගොල්ලො හොඳට හම්බකරගෙනත් තියෙනවා. හැබැයි ඒකෙන් මට පොඩි වාසියක් තියෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාරයෙන් තමයි අමරසිරි පීරිස් කියලා කෙනෙක් ඉන්නවා කියලා දැන ගත්තේ. නැත්නම් කවුරුත් දන්නේ නෑ. මොකද මම නාලිකාවල චැට් වැඩසටහන්වලට යන්නේ නැහැනේ. විශේෂයෙන් මට තරුණ රසික ප්‍රජාවක් මගේ පිටිපස්සෙන් ඉන්නවා. මට ඉන්නේ මෙහෙම බුද්ධිමත් රසික ප්‍රජාවක්.

බොහෝ කලාකරුවෝ මේ විදිහට යූටියුබ් කරනවාට විරුද්ධයි. ඔබ ඇයි මේ වැඩේට විරුද්ධත්වයක් පාන්නේ නැත්තේ?

ඕකට ඉතිං කියන්නේ අන්තර්ජාලය හරහා සිදුවන සයිබර් ක්‍රයිම් කියලනේ. ඕවාට නීතිමය පියවරක් ගන්න ක්‍රමයකුත් නැහැනේ. අන්තර්ජාලයේ තිබෙන දැවැන්ත ප්‍රශ්න ඕවා තමයි. නඩු හබවලට ගියත් ඒවා බොහොම අසාර්ථකයි.

අනික දැන් කවර් සොන්ග් කියලත් දෙයක් තිබෙනවා. සමහර වෙලාවට මගේ ගීතත් කිසිම අවසරයක් නැතිව එහෙම කවර් සෝන්ග් කරලා තිබෙනවා. වෙන රටවල කවර් සොන්ග්ස් එකක් කරන්නේ කිසියම් වැඩපිළිවෙළක් ඇතිවයි.

ඇතැම් නාලිකාවන් තිබෙනවා ඒවා කටයුතු කරන්නේ මංකොල්ලයක ස්වභාවයෙන්. ඒක හරි වැරදියි. එහෙම කරන්න එපා කියලයි කියන්න ඕනෑ. ඒකට මතවාදයක් ගොඩනැගෙන්න ඕනෑ. කලාකරුවෙක් ගීතයකට හැඩතල සොයාගන්නේ බොහොම මහන්සි වෙලා. ඒක කවුරුත් කියලා දෙන්නේ නෑ. ගීත රචනාවක් දීල ඒක සංගීතවත් කළාට පස්සේ ඒ සංගීතඥයාට අපිට කියලා දෙන්න පුළුවන් සුළු ප්‍රමාණයයි තියෙන්නේ. අනෙක් කාරණාව ගීතයේ හැඩතල සොයාගන්න ඕනෑ අපිමයි. පසුව තමයි රසිකයා තුළ කම්පනයක් ඇතිවෙන අකාරයට මේක හැඩගස්වන්න ඕනෑ. ඒක කරන්නේ ගායකයා හෝ ගායිකාවයි. ඉතිං ඕක කවුරුත් තෝරාගන්න ඕනෑ. අලුත් දරුවෝ ඕක ඉතිං ගිරවෙක් වගේ කියනවා. ඒකෙන් ඒගොල්ලොත් කර ගන්නේ අපරාධයක්. දෙපයින් නැගිටින්න පුළුවන් වෙන්න ඕනෑ. අද ඒක වෙන සංස්කෘතියක්, උප සංස්කෘතියක් වෙලා. මේ වෙනකොට අලුත් පරපුර උනන්දුවෙන්නේ නෑ අලුත් ගීතයක්, අලුත් තනුවක් නිර්මාණය කරගන්න.

අදටත් අපි අපේ ගුරුවරුන්ට ගරු කරනවා නේ. ඒ වගේම පැරණිම ගායකයන්ටත් අපි ගරු කරනවා. මොකද ඔවුන් ගමනක් ඇවිත්, ඒගොල්ලෝ මේක අපේ අතට දීලයි තියෙන්නේ. ඉතිං අපි දැනගන්න ඕනෑ ඒ මිනිස්සුන්ට ගරු කරගෙන මේ ගමන යන්න. අද එහෙම කිසිම දෙයක් නෑ. මේ යන රැල්ල, මේක නොනවත්වා මහෝඝයක් වගේ යන රැල්ලක් තියෙන්නේ. සංස්කෘතිය වෙනස් වෙනවා කියන කාරණාවත් ඇත්ත. ඉස්සර සංස්කෘතික දෙයක් ගත්තහම සෑහෙන කාලයක් තියෙනවා නේ. අද එහෙම නෙමෙයි. අද තියෙන දෙය හෙට නෑ. හෙට තියෙන දෙය අනිද්දා නෑ. සියල්ල වෙනස්වීමකට ලක්වෙමින් තමයි මේ ගමන යන්නේ. එතකොට ඔවුන්ට මුල අමතක වෙනවා. ඒක හින්දයි මම එදා ඉඳලා කියන්නේ මොන දෙයක් කරන්න ගියත් ඒකේ අක්මුල එහෙම නැතිනම් මූලාශ්‍ර හස්තය එයා කියලා.

ඔබේ නිර්මාණ ජීවිතයේ වැඩිපුරම ප්‍රතිචාර ලැබුණ ගීත ගැන කතා කළොත්?

අදටත් මට ළඳුනේ ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වේදිකාවෙන් බහින්න බෑ ළඳුනේ ගීතයේ කොටසක් හෝ ගායනා නොකර. මම සහභාගි වුණු හැම ප්‍රසංගයකදීම එම ගීතය ගායනා කරලා තිබෙනවා. ළඳුනේ නොකියපු ප්‍රසංගයක් නැති තරම්.

‘හන්තානට පායන සඳ’ ප්‍රසංගයත් සමග තමයි ජනනි පීරිස් යළි කලඑළි බසින්නේ?

තාත්තා මහරගම යූත් සෙන්ටර් එකේ කරපු ‘හන්තානට පායන සඳ’ කියන ප්‍රසංගයෙන් තමයි මම ප්‍රසංග වේදිකාවට ගොඩ වුණේ. ඒ වගේම ඒක පුද්ගල ප්‍රසංග කිහිපයකටත් සහභාගි වෙලා තිබෙනවා. නමුත් මේ මාසේ 12 වැනිදා පවත්වන මේ ප්‍රසංගය මට නැවුම් අත්දැකීමක්. ඊට අමතරව රූපවාහිනී නාලිකාවන්වලින් පවත්වපු ‘ලෙය සහ ළය’ වගේ වැඩසටහන්වලටත් සහභාගි වෙලා තිබෙනවා.

අමරසිරි පීරිස්ට පවුලේ දරුවෝ කීදෙනෙක් ඉන්නවාද?

මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. එක පුතයි ඉන්නේ. එයා ඉතාලියේ වෙරෝනාවල සේවය කරන්නේ. දුවලා හතර දෙනෙක් ඉන්නවා. ජනනි දුව තමයි වැඩිමහල් දුව. පුතා මේ දවස්වල ඔපෙරා ගායනය පිළිබඳව හදාරනවා. අනෙක් දුවලා දෙන්නත් විදෙස්ගත වෙලා ඉන්නේ. පොඩි දුව මාත් සමග ගෙදර ඉන්නවා.

මගේ අලුත් ගීත පනහක් විතර තියෙනවා. නමුත් මම එදා ඉඳලා ගායනා කරපු පැරණි ගීතවලට තමයි අදටත් ඉල්ලුම තියෙන්නේ. මම අලුත් ගීතයක් දානකොටම එපා එපා කියනවා. මොකද අර ගීත අපිට නැතිවෙලා යනවා කියලත් සමහරු කියනවා. ඒක මට විදෙස් සංචාරවලදීත් ලොකු ප්‍රශ්නයක්. අදටත් මගේ පරණ සින්දු ටික තමයි ඉල්ලන්නේ. එක අතකින් ඒක හොඳයි. මොකද ඒ තරම් ඒ ගීතවලට ආදරෙයි. මෙවර ප්‍රසංගයේදීත් නවමු ගීත දෙකක් ගායනා කරනවා.

දිනේෂ් විතාන
ඡායාරූප – මනුල විතානගේ

advertistmentadvertistment
advertistmentadvertistment