මත්කුඩු හා පාතාලය අහුන්ගල්ලේදී ගැටෙයි

302

වෙඩි වරුසාවකින් ලොකු පැටීගේ මාමා අනූනවයෙන් බේරෙයි

අහුංගල්ල නගරයට ඊයේ (09දා) අලුයම කඩාවැදුණු සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු ලොකු පැටී නමැති පාතාල නායකයාගේ සමීප ඥාතියෙකුට වෙඩි තබා පලාගොස් ඇත.

මෙම ප්‍රහාරයෙන් ‘ත්‍රිබීල් ලොක්කා’ නමින් හඳුන්වන ලොකු පැටීගේ මාමා කෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

‘කුඩු මධූෂා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කාරිය සහ ලොකු පැටීගේ කල්ලිය අතර කලක පටන් ගැටුම් පවතින අතර මෙම ප්‍රහාරය එහි ප්‍රතිඵලයක් විය හැකි බවට පොලිසිය සැක පහළ කරයි. කුඩු මධූෂාගේ පුත්‍රයන් විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට ද පොලිසිය සැක පහළ කරයි.

ලොකු පැටීගේ මාමා බව කියන පුද්ගලයා අහුංගල්ල නගරයේ ත්‍රිරෝද රථයක සිටියදී ඊයේ අලුයම 5.45ට පමණ එහි කඩාවැදී ඇති පාතාල සාමාජිකයන් දෙදෙනකු ඔහුට පිස්තෝල අවියකින් වෙඩි තබා පලාගොස් තිබේ. මෙම ප්‍රහාරයෙන් ලොකු පැටීගේ මාමා අනූනවයෙන් දිවි ගලවාගෙන ඇතත් ඔහුගේ අතකට වෙඩි වැදී ඇත.

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය මෙහෙයවූ බව කියන ලොකු පැටී නමැත්තා මේ වනවිට බෙලරූෂ් රාජ්‍යයේ දී පොලිසියට හසුවී එරට බන්ධනාගාරගත කර සිටියි.

ලොකු පැටීගේ පාතාල කල්ලිය සහ කුඩු මධූෂා මෙහෙයවන මත්ද්‍රව්‍ය කල්ලිය අතර කාලයක සිට ගැටුම් පවතී. මේ වනවිට පුද්ගලයන් කීපදෙනෙකුම මෙම ගැටුම් නිසා ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

කුඩු මධූෂා ද මේ වනවිට ඩුබායි රාජ්‍යයට වී මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බවද පොලිසිය කියා සිටියි.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. රන්දෙණිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අහුංගල්ල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, කමල් ශ්‍රී ලියනගේ


advertistmentadvertistment