විධායක ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමන් සූදානම් බවත් සාම්ප්‍රදායික බෙදීම්වලින් තොර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමද සහාය තමන් බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ලද අතර ඔහුගේ ඉදිරි ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහා ව්‍යවස්ථානූකූලව පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකින් අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගත යුතු බව ඔබ දැනටමත් දන්නා කරුණකි.
ශ්‍රී ලාංකේය ජනතාව ඉතිහාසයේ පෙර අත්නොදුටු දේශපාලන, ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් රැසක් අත්විඳිමින් සංක්‍රාන්ති සමයක් ගතකරමින් සිටී. ආර්ථික අර්බුදයක් ඔස්සේ පැන නැඟුණු ජනතා විරෝධය දේශපාලන බල අධිකාරින් බිඳ දමන්නට සමත් වී ඇත. ඒ හේතුවෙන් ම මේ වන විට ජනතා අපේක්ෂාවන් ගේ දිශානතිය වෙනස් වී ඇත.
මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට ජනතාව තවදුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව මම තරයේ විශ්වාස කරමි. කුඩා පාසල් දරුවා ගේ සිට විශ්‍රාමික වැඩිහිටියා දක්වා පවතින අර්බුදවලට තිරසාර විසඳුමක් ලබාගැනීමේ නොනිත් ආශාවකින් හා උනන්දුවකින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දියුණු සංස්කෘතික සමාජයක් ලෙස මේ සියල්ලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානුකූල දේශපාලන රාමුවක් තුළ ය.
දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී ඇති මා සෑම විටම මෙරට ජනතාවගේ පැත්තේ සිටගෙන ඇති බව නොරහසකි. වත්මනෙහි පවතින දේශපාලන ව්‍යාකූලත්වයන් පාර්ලිමේන්තුව තුළින් කඩිනමින් විසඳාගත යුතු බව අවිවාදිත සත්‍යයකි. පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් අප සියලු දෙනා එකඟ වන ආර්ථික සැලසුමක් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත මහා සංඝරත්නය ප්‍රමුඛ සහෝදර ආගමික නායකයන්, තරුණ දේශපාලන ක්‍රියාකාරීන් ගේ සහ වෘත්තියවේදීන් ගේ සහාය ලබාගත යුතු ය. මා ඔවුන් සියලු දෙනාගේම සහාය සහ එකඟතාව ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයෙකු බව සහතික කර කිව හැකි ය.
දේශපාලන පාට කණ්ණාඩිවලින් බැහැරව සමස්ත පොදුජන යහපත උදෙසා මෙන්ම ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවංක චේතනාව පෙරදැරිව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සූදානම් බව මම මෙරට ජනතාවට ගෞරවයෙන් දන්වා සිටින අතර ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහාය ද අපේක්ෂා කරමි.
නීතියේ ආධිපත්‍යය හා ජාතින් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මේ මාතෘ භූමිය රැගෙන යෑමට කළ හැකි, කළ යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා මම එක සිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.