රණවීරට – මිල්රෝයිට නැවත වරෙන්තු
කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරාගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් හතරදෙනා තවදුරටත් ලබන මැයි මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඊයේ (21 වැනිදා) පස්වරුවේ නියම කළාය.
තවද දැනට සැඟවී සිටින සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා යළි වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව එම දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නැවතත් වරෙන්තුවක් ද මහෙස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරනු ලැබුවාය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ හෙයින් එම නියෝගය ඔවුන්ට බන්ධනාගාරය මගින් දන්වන බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
මේ නඩුව ඊයේ පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නවීන් වීරකෝන්, හිටපු රාජ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛi ජයන්ත සිංහබාහු කබ්රාල් හා මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන හතරදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. විජේතුංග හා පොලිස් සැරයන් ඩෙන්සිල් යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවූ අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥවරුන් වන දේශාල් පෝල් හා විශ්ව රාජපක්ෂ යන මහත්වරු පෙනී සිටියහ.
දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා කැලණිය – මංගලා මදුරප්පෙරුම