මිනිසාගේ සාර්ථකත්වය මනසේ සාර්ථකත්වයයි

1458

භාවනාව පිළිබඳ දුර්මත

භාවනා කළ යුත්තේ වයස් ගත වූ විටය. භාවනා කිරීමට පැවිදි විය යුතුය. භාවනා කළ යුත්තේ පන්සලක, භාවනා මධ්‍යස්ථානයක, භාවනාව සඳහා වෙන්කළ ස්ථානයක, වනගත ප්‍රදේශයක, නිශ්ශබ්ද වූ ද, සන්සුන් වූ ද ස්ථානයක පමණි. භාවනා කළ යුත්තේ සිල් ගත්විටය. භාවනාව භික්‍ෂූන් වහන්සේලාට අයිති කටයුත්තකි. ගැටලු ඉවත් කොටගෙන, දරුවන්ගේ ප්‍රශ්න විසඳාගෙන, පුතාගේ දුවගේ විභාග අවසන් වීමෙන් පසුව භාවනා කළ හැකිය. පන්සලේ කටයුතු අවසන්කොට පසුව භාවනා කරන්නෙමි යන අදහස් වැරදි සහගතය. ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක සිට භාවනා කළ හැකි බව කල්පනාවට ගත යුතුය.

සතිමත්භාවය, එළඹසිටි සිහිය, මේ මොහොතේ සිත රඳවා ගැනීම, යෝනිසෝ මනසිකාරය, සතිපට්ඨානය පුරුදු කිරීම, සම්ප ජඤ්ඤ භාවනාව සිහිය යනුවෙන් සිංහලෙන් භාවිත වන පදය සතිය යනුවෙන් පාලි භාෂාවෙන් යෙදේ. කල්පනාවෙන්, අවධානයෙන්, සිහි බුද්ධියෙන් කටයුතු කිරීම, කථා කිරීම, සිත යෙදවීම, සිහියට අදාළ වේ. වර්තමානයේ අපට තිබෙන සියලුම ප්‍රශ්න, ගැටලු, අර්බුද, අසහනයන්, පසුතැවීම් සියල්ලක්ම ඇති වන්නේ සිහිය නැතිකම නිසාය. සාමාන්‍යයෙන් අපි පුරුද්දක් වශයෙන් රණ්ඩු දබර කරගත් දේවල්, බැණ ගත් දේවල්, අපහාස වූ දේවල්, මම අපහසුවට පත්වූ දේවල්, පරාජයට පත්වූ අවස්ථා, ලැජ්ජාවට පත්වූ අවස්ථා සහ මට මදි පුංචි කමක් වුණේය, මගේ තත්ත්වය අඩු වුණේය, ලැබිය යුතු ගෞරවය නොලැබුණේය, මා සිතන විදිහට මාව නොපිළිගත්තේය යනාදී දේවල් සිතමින් කල්පනා කරමින් කටයුතු කරමු. එසේ කළ අයට පාඩම් උගන්වන්නට, දඬුවම් කරන්නට, කරදර කරන්නට, පළිගැනීමට, කල්පනා කරයි.

මෙවැනි දේ නිසා මගේ සිහිය අඩු වී ගොස් නිතර අමතක වීම, මානසික පීඩා, නින්ද නොයාම, පොතපත කියවීමට අරුචියක් ඇතිවීම, නිසි පරිදි ආහාර ගැනීමට නොහැකි වීම, එකට වාසය කරන්නන් සමග නොරිස්සුම් සහගත වීම (තරහවෙන් කටයුතු කිරීම) මත් වතුරට, දුම්පානයට, මත්ද්‍රව්‍යවලට යොමුවීම සිදුවිය හැකිය.

මනසේ සතුට, සැහැල්ලුව, ප්‍රීතිය, නිදහස නැති වන්නේ මගේ සිහිය හරි විදිහට පවත්වා ගැනීමට බැරි නිසාය. මේ සඳහා නිතරම සිහියෙන් යුක්තව සතිමත් බවින් යුක්තව, මේ මොහොතේ සිත රඳවාගෙන කටයුතු කරන්නේ නම් බොහෝම පහසුවෙන් ඉහත දැක්වූ ගැටලු විසඳාගත හැකිය. ඒ තුළින් විභාගවලින් ජයගැනීමට, ක්‍රීඩාවලින් ජයගැනීමට, පවුලේ සතුට සන්තෝෂය රැකගැනීමට, වැඩකරන ආයතනයේ පිරිස අතර සතුටින් කටයුතු කිරීමට, තමාට වඩා ඉහළ නිලධාරීන් සමග සුහදශීලි බවක් ඇතිකර ගැනීමට, උසස්වීම් ලබාගැනීමට, සමාධියක් සිතේ ඇතිකර ගැනීමට, සාර්ථකව ජීවිතය ගත කිරීමට පමණක් නොව ධ්‍යාන අභිඥා උපදවා ගැනීමට පවා හැකිවනු ඇත.

මේ සඳහා සරල අභ්‍යාස ක්‍රම තුනක් මම යෝජනා කරමි. එනම්

● සක්මන් භාවනාව

● ආනාපානාසති භාවනාව

● සිහියෙන් වැඩ කිරීම (සම්ප ජඤ්ඤ භාවනාව) යනුවෙනි.

සක්මන් භාවනාව

සක්මන් භාවනාවේ ආනිශංස පහක් බුදුහිමියෝ දේශනා කළහ. 01. ඉවසීමෙන් බොහෝදුර සිහියෙන් ඇවිදීමට හැකිවීම. 02. සෑම දේකටම උත්සාහය වැඩිවීම. 03. ආබාධ (රෝගපීඩා) අඩුවීම. 04. ආහාර හොඳින් දිරවීම. 05. බොහෝකල් පවතින සිතේ එකඟකමත්, (සමාධියක්) ඇතිවීම.

සක්මන් භාවනාව කරන අයුරු

සක්මන් කරන ස්ථානය තෝරාගැනීම. ඕනෑම ස්ථානයක සක්මන් කළ හැකිය. චක්‍රාකාරයෙන් (රවුමක් වටා යන අයුරින්) සක්මන් නොකරන්නේ නම් ඉතා හොඳය. එනම්, තෝරාගත් ස්ථානයක ඍජුව (කෙළින්ම) ඉදිරියට ගොස් නැවත සිටින ස්ථානයට පැමිණීම. සිහියෙන් කිරීම. සක්මන් භාවනාවයි. මෙහිදී අත්දෙක ඉදිරිපසට හෝ පිටුපසට තබාගැනීම කළ හැකිය. ශරීරය දෙපැත්තට (වම දකුණ දෙපැත්ත) ට අත් දෙක තබාගත හැකිය. ඇස් දෙක අඩි තුන හතරක් ඉදිරිපස පොළොව වෙත යොමු කරගන්න. සක්මන් භාවනා කරන ප්‍රදේශය අඩු තරමින් අඩි දහයක් පහළොවක්වත් තිබේ නම් හොඳය. උපරිම වශයෙන් කකුලේ පියවර පනහක් ප්‍රමාණවත්ය. දැන් කකුල ඔසවා බිම තබන විට වම යයි ද දකුණ කකුල ඔසවා තබන විට දකුණ යනුවෙන් ද මනසින් සිහි කළ හැකිය. මෙසේ සක්මන් භාවනාව

● ආහාරයෙන් පසු කළ හැකිය

● නින්දෙන් නැගිට්ටාට පසු කළ හැකිය

● වාඩි වී භාවනා කිරීමට පෙර කළ හැකිය

මීට අමතරව ඕනෑම වෙලාවක සක්මන් භාවනාවේ යෙදිය හැකිය. මෙම සක්මන් භාවනාව අඩුම තරමින් විනාඩි 20ක්වත් කරන්නේ නම් මැනවි. උපරිම වශයෙන් පැයක කාලයක් දක්වා පුහුණු කිරීමට හැකිනම් ප්‍රතිඵල ඉක්මන්වනු ඇත.

ආනාපානාසති භාවනාව

සක්මන් භාවනාව අවසන් කොට සිහියෙන්ම පැමිණ වාඩිවී කොන්ද කෙළින් තබාගෙන හුස්ම ගැනීම සහ හුස්ම පිටකිරීම කෙරෙහි සිත යොමු කිරීම ආනාපානාසති භාවනාවයි. ආශ්වාසය හෙවත් බාහිර සුළඟ නාසිකාග්‍රයේ වැදීගෙන ඇතුල්වන බව සිහියට ගත යුතුය. එසේම නාසිකාග්‍රයේ වැදීගෙන අභ්‍යන්තර වාතය හෙවත් හුස්ම පිටවීම සිහියට ගත යුතුය. හරියට දොරක් ළඟ ඉන්නා කෙනෙකුට පිටත සිට ඇතුළට එන්නා මෙන්ම ඇතුළ සිට පිටතට යන්නා ද පැහැදිලිව පෙනෙන ලෙසිනි. එසේම නාසිකාග්‍රයේ පිටතින් වදින සුළඟ සහ ඇතුළතින් වදින සුළඟ කෙරෙහි වෙනත් කෙනෙකු බලා සිටින්නාක් මෙන් තමා, සිතින් විමසිල්ලෙන් බලා සිටීම ආනාපානසතියයි. ක්‍රමානුකූලව මෙම භාවනාව දියුණු කරගැනීම සිහිය වර්ධනය කරගැනීමට, මේ මොහොතේ සිත රඳවා ගැනීමට මහත් සේ උපකාර වේ. එසේම මරණයට පත්වන බොහෝ දෙනෙක් අසිහියෙන්ම (අයෝනිසෝ මනසිකාරයෙන්) මරණයට පත්වේ. ආනාපානසතිය පුරුදු කරන්නා සිහියෙන් හෙවත් යෝනිසෝ මනසිකාරයෙන්ම මරණයට පත්වන නිසා පරලොව ජීවිතය ද නිවැරදි තැනකට පත්කරගත හැකිය.

සිහියෙන් වැඩ කිරීම (සම්ප ජඤ්ඤ භාවනාව) කායානුපස්සනාවේ තුන්වන භාවනාව සම්ප ජඤ්ඤ භාවනාවයි. මෙහිදී ශරීරය ක්‍රියාකරවන සෑම ආකාරයක්ම හසුවන ලෙසින් මෙම භාවනාව ඉදිරිපත් කොට ඇත. එනම්, උදෑසන අවදි වූ මොහොතේ පටන් රාත්‍රි නින්දට යන මොහොත දක්වා කරන සෑම කටයුත්තක්ම සිහියෙන් කිරීම සම්ප ජඤ්ඤ භාවනාවයි. එනම්,

ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරිපස බැලීම, වෙනත් දිසා බැලීම, අතපය නැමීම දිගහැරීම යන එන, හිඳින නැගිට සිටින, නිදියන නොනිදා සිටින, කථා කරන, කථා නොකරන සහ සිවුරු පිරිකර පරිහරණය කිරීම වැසිකිළි කැසිකිළි සිදුකිරීම පවා ඇතුළත් වන සෑම ක්‍රියාකාරකමක්ම මීට අදාළ වේ.

මෙම භාවනා ක්‍රමය සාර්ථක කරගැනීම සඳහා අප විසින් යෝජනා කරන සරල අභ්‍යාස කිහිපයක් මෙසේ දක්වමු. එනම්, ආහාර ගැනීමේදී බත්කටවල් ගණන් කිරීම. සක්මන් කළ ආනාපානසතිය කළ වෙලාවල් සටහන් කිරීම. තමා තනිවම සිදුකරන කටයුතු (දත්මැදීම, මුහුණ සේදීම ආදි) උපරිම සිහිය යොදවාගෙන කිරීම.

සක්මන් භාවනා ආනාපානසති භාවනා
සිහියෙන් වැඩකිරීම

පෙ.ව. 6.00-6.20 පෙ.ව. 6.20-6.40 පෙ.ව. 6.40-7.10

පෙ.ව. 8.00-8.25 පෙ.ව. 8.25-8.50 පෙ.ව. 8.50-9.00

ප.ව. 12.00-12.25 ප.ව. 12.25-12.50 ප.ව. 12.50-1.50

යනුවෙන් සටහන් කළ හැකි නම් මනාකොට මෙම භාවනාව ක්‍රමානුකූලව දියුණු කරගත හැකිය.

සතර කමටහන්, සතර ආරක්‍ෂක භාවනා (චතුරාරක්‍ඛා භාවනා)

සමථ භාවනාවේ භාවනා ක්‍රම 40කි. ඒ අතරින් සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම කළ යුතු භාවනා ක්‍රම හතරක් ඇත. ඒවාට ඉහත නම් ව්‍යවහාර වේ. 01. ශ්‍රද්ධාව නැතිකම, 02. තරහව, 03. පංචකාමයට ලොල්වීම, 04. මරණයට බිය සහ අලසකම යනු අනතුරු හතරකි. මේ අනතුරුවලින් ආරක්‍ෂාවීමට බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති යන භාවනා හතර ඖෂධ හතරක් වැනිය. ආරක්‍ෂකයින් හතර දෙනෙක් වැනිය. ඒ නිසා චතුඳීආරක්‍ඛා = චතුරාරක්‍ඛා යයි කියති.

බුදුගුණ සිහිකිරීමේ භාවනාව (බුද්ධානුස්සති)

බුදුගුණ නවය එක හුස්මට නොකියා දීර්ඝ හුස්ම නවයකින් සජ්ඣායනා කොට වන්දනා කිරීමට යෝජනා කරමි. එක් එක් බුදුගුණයක් පිළිබඳ වෙන වෙනම අර්ථ දැක්වීමට සෑම බෞද්ධයෙකුටම හැකියාව තිබිය යුතුය. බුදුගුණ දන්නා තරමට බෞද්ධකම තීරණය වන බව සූවිසි මහා ගුණයෙහි දක්වා ඇත. බුදුගුණ වැඩීමේ අනුසස් නවයක් ඇති බව විසුද්ධි මාර්ගයෙහි දැක්වේ.

බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවය වැඩිවීම, ශ්‍රද්ධාව, සතිය, ප්‍රඥාව, පුණ්‍යවන්තකම වැඩිවීම, ප්‍රීතිප්‍රමෝදයෙන් වසන්නෙක් වීම, කුඩාමහත් බිය ඉවසීමට හැකිවීම, දුක් ඉවසීමට හැකිවීම, බුදුන් හා එක්ව වාසය කරමි යයි අදහස් ඇත්තෙක් වීම, බුදුගුණ වඩන ශරීරය දාගැබක් මෙන් පිදිය යුතු තත්ත්වයට පත්වීම, බුදුවීමට සිත යොමුවීම, පව් කිරීමට යාමේදී බුදුන් ඉදිරියෙහි සිටිනා අයුරු දැනී ලැජ්ජා භය ඇතිවීම, සුගතිගාමී වීම යනුවෙනි.

මෛත්‍රී භාවනාව (මෙත්තා)

මිතුරුකම වර්ධනය කිරීම මෛත්‍රීයයි. අනෙකාගේ යහපත සැලසීමට කැමති වීම, සුහද වීම, හිතවත් වීම, මිත්‍ර වීම මෛත්‍රීය වශයෙන් හැඳින්විය හැක. මෛත්‍රී භාවනාව කිරීමේදී සෑම කෙනෙක්ම පළමු කොටම තමාට මෛත්‍රී කිරීමට පුරුදු විය යුතුය. තමාගේ යහපත සලසාගත නොහැකි කෙනෙක් අනුන්ගේ යහපත කෙසේ සලසන්න ද? මේ අනුව මම සුවපත් වෙම්වා. නිදුක් වෙම්වා. නිරෝගී වෙම්වා වශයෙන් ද මම වෛර නැත්තෙක් වෙම්වා. තරහා නැත්තෙක් වෙම්වා වශයෙන් ද මාගේ හිස සුවපත් වේවා. බෙල්ල සුවපත් වේවා. අත්දෙක සුවපත් වේවා යනුවෙන් කොටස් වශයෙන් මෛත්‍රී කිරීමෙන් ද විවිධාකාරයෙන් මෛත්‍රී භාවනාව කළ හැකිය. මේ වචන පමණක් කියමින් හෝ සිතමින් මෛත්‍රී කළ යුතු යැයි වෙන් කොටගත් විශේෂ ක්‍රමයක් නැත. අහං අවේරෝ හෝමි අභ්‍ය පජ්ජෝ හෝමි අනීඝෝ හෝමි යනුවෙන් පිරිත් පොතේ දැක්වෙන පාලි පාඨයක් ද ඇත.

කෙසේ හෝ තමාට මිතුරුවීම සහ අනුන්ට මිතුරුවීම මෛත්‍රිය වශයෙන් හැඳින්විය හැක. මම අකමැති දෙයක් සිදුවන විට මෙන්ම මම අකමැති දෙයක් යම් කෙනෙක් කියන විට සිතේ ඇතිවන්නා වූ නොරිස්සුම් සහගත බවත් සමග ගැටෙන ස්වභාවයක් හැප්පෙන ගතියක් සිතේ ඇති වේ. පටිඝය, තරහව, ද්වේෂය යනුවෙන් හඳුන්වන්නේ එයයි. ඇතැම් විට හේතුවක් නැතුව ද තරහා ඇතිවිය හැක. සිත කියන්නේ පුදුමාකාර දෙයකි. නිතරම ආත්මාර්ථකාමීත්වය රජ කරයි. සිත අකමැති ඕනෑම දේකට තරහා ඇතිවිය හැකිය. ඒ නිසා නිතරම තරහසිතේ භයානකකම, හානිදායක බව, විනාශකාරී බව මැනවින් හඳුනාගෙන තරහා නොගෙන කටයුතු කිරීම බුද්ධිමතාගේ ලක්‍ෂණයයි.

සුවදායක සිතක් ඇතිකර ගැනීම මැනවින් නිදාගැනීම, සුවසේ නින්දෙන් පිබිදීම, නපුරු සිහින නොදැකීම, මිනිසුන්ට දෙවියන්ට ප්‍රියවීම, මුහුණ ශරීරය පැහැපත් වීම වැනි අනුසස් එකොළහක් මෛත්‍රී පිළිබඳ බණ පොතේ දක්වා ඇත. මේ නිසා තරහා ගින්නක් වශයෙන් සලකා මෛත්‍රිය සිසිලසක් වශයෙන් සලකමින් මෛත්‍රියෙන්ම කටයුතු කිරීමට සෑම කෙනෙක්ම සිතිය යුතුය.

පිළිකුල් භාවනාව, කායගතාසති, දෙතිස් කුණප කොට්ඨාශ සිහිකිරීම, පටික්කුල මනසිකාරය, (අසුබ භාවනාව වෙනුවට)

කේසා ලෝමා නඛා දන්තා වශයෙන් ශරීරයේ පවතින කුණප කොට්ඨාස තිස්දෙක සිහිකිරීම පිළිකුල් භාවනාවයි. කය පිළිබඳ සිහිකිරීම යන අර්ථයෙන් කායගතාසති යනුවෙන් ද කුණප කොටස් තිස්දෙක සිහිකිරීම යන අර්ථයෙන් ද්වත්තිංසාකාරය යයි ද මේ එකම භාවනාවම හඳුන්වන වචන කිහිපයක් ඇත. පටික්කූල මනසිකාර යනු පිළිකුල සිහිකිරීම යන්නෙහි පාලි යෙදුමයි. මේ අනුව ශරීරය අසුභ වශයෙන්, පිළිකුල් වශයෙන් සිහිකරමින් ශරීරය කෙරෙහි ඇති අධික ආශාව ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචඉන්ද්‍රියන් පිනවමින් සිටීමට ඇති කැමැත්ත අඩුකර ගැනීම මෙම භාවනාවේ ප්‍රධාන අපේක්‍ෂාවයි.

අසුබ භාවනාව යනු මළ සිරුරෙහි මෘත ශරීරයෙහි ආරම්භයේ පටන් දහවන දිනය දක්වා අපිරිසිදුවීම සිහිකිරීමයි. වර්තමානයේ එය සිදුකිරීමට ඇති අපහසුතාව නිසා පිළිකුල් භාවනාව වැඩීමෙන් එම කාරණය සම්පූර්ණ කර ගැනීමට කටයුතු කළ හැකිය.

මරණය සිහිකිරීමේ භාවනාව (මරණානුස්සති)

නොමැරෙන කෙනෙකු වශයෙන් සිතීමට කල්පනා කිරීමට අපි පුරුදු වී සිටිමු. මරණය මතක් කිරීම කථා කිරීම ඇතැම් විට අසුබ දෙයක් වශයෙන් සලකයි. මරණය ගැන කියන විට අතින් කට වැසීමට පවා සමහරු පුරුදු වී සිටිති. “ඔයා මැරෙන්නේ නැහැ, මගේ පුතා මැරෙන්නේ නැහැ” කියමින් මරණය සිදුනොවන දෙයක් ලෙස කටයුතු කිරීමට පුරුදු කරවයි.

එසේ වුවත් මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අභිණ්ණං පච්චවෙක්ඛිතබ්බං යනුවෙන් අභිණ් පච්චවෙක්ඛණ සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මරණය සිහිකළ යුතු යැයි දේශනා කොට ඇත. බත් කටක් කෑමට ගතවන වෙලාව සහ එක හුස්මක් ගෙන පිටකරන කාලය ගතවීමට පෙර මරණය සිදුවිය හැකි බව අවධාරණය කොට ඇත. ඒ අනුව “ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියතය. මරණය නියතය” යනුවෙන් නිතරම සිහිකරන්නා තමා මැරෙන කෙනෙක් බව දැනගෙන අවබෝධයෙන් යුතුව ක්‍රියාකරයි. අපවත් වී වදාළ අම්පිටියේ රාහුල හිමියෝ මරණානුස්සති භාවනාව යනුවෙන් කුඩා පොතක් ලියා ඇත. මරණය පිළිබඳ දැනගත යුතු කරුණු රාශියක් එහි දැක්වේ. කෙසේ හෝ නිතර මරණය සිහිකිරීම මරණයට තියෙන බියනැති කරගැනීමට අලසකම, කුසීතකම මගහැර උත්සාහය උනන්දුව වැඩිකර ගැනීමට ප්‍රමාදය අතහැර අප්‍රමාදී වීමට පාපය අතහැර පිනෙහි යෙදීමට හේතුවනු ඇත. මේ නිසා මරණය සිහිකිරීම අනිවාර්ය භාවනාවක් වශයෙන් සෑම කෙනෙකුම කල්පනාවට ගත යුතුය.

මෙම සතර කමටහන් හෙවත් සතර ආරක්‍ෂක භාවනා උපකාරක භාවනා වශයෙන් සහය පිණිස පවතින භාවනා වශයෙන් අකටයුතුකම් දුරුකරන භාවනා වශයෙන් සැලකිය යුතුය. සතර කමටහන් තුළින් භාවනාවට ඇති බාධා දුරුකරගෙන සක්මන් භාවනාව, ආනාපානසති භාවනාව සහ සිහියෙන් වැඩකිරීම හෙවත් සම්ප ජඤ්ඤ භාවනාව දියුණු කරගෙන සතිමත්භාවය වර්ධනය කරගැනීමෙන් පුද්ගලයාට තම ජීවිතයේ ඕනෑම අරමුණක් ජයගත හැකිබව නොබියව පැවසිය හැකිය.

එනිසා මිනිසෙක් වශයෙන් ඉපදුණු අපි හැම කෙනෙක්ම මනස දියුණු කිරීම ප්‍රධාන කටයුත්ත සේ සලකා ක්‍රියා කරන්නේ නම් තිබෙන සියලුම ගැටලු ඉතා පහසුවෙන් දුරුකර ගත හැකි බව බොහෝම පැහැදිලිව පැවසිය හැකිය. තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වන්නේ මේ කරුණ පෙන්වා දීමටයි. ඒ නිසා ත්‍රිවිධ රත්නයේ නාමයෙන් මනස හෙවත් සිත දියුණු කිරීමට කටයුතු කරන මෙන් ඉතා ඕනෑකමින් සහ අප්‍රමාණ කරුණා මෛත්‍රියෙන් යුතුව පවසා සිටිමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, බළන්ගොඩ
ආනන්ද චන්ද්‍රකීර්ති හිමි
අංශාධිපති, ව්‍යවහාරික බෞද්ධ අධ්‍යයන අංශය,
ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර.
0717 450 727 / 0710 663 628


advertistmentadvertistment