සිය මියගිය පුත්‍රයාගේ ශීතකළ ශුක්‍රාණු සාම්පල දෙමාපියන්ට භාර දෙන ලෙස අධිකරණය නියෝග කිරීමෙන් පසු, තමන්ට ආදේශක ක්‍රමයකින් (surrogacy) මුණුබුරකු ලැබිය හැකි නිසා එම දෙමාපියන් අතිශයින් සතුටු වූ බව ඉන්දීය යුවළක් පවසා තිබේ. මෙම සුවිශේෂී දිල්ලි මහාධිකරණ තීන්දුව පැමිණියේ වසර හතරක නීතිමය අරගලයකින් පසුවයි. “අපි හරිම අවාසනාවන්තයි, අපට අපේ පුතා නැතිවුණා. නමුත් අපට අධිකරණයෙන් ගොඩක් වටින තෑග්ගක් දීලා තියෙනවා. දැන් අපට අපේ පුතාව ආපහු
ලබාගන්න පුළුවන් වෙයි,” යනුවෙන් මව වන හාබිර් කෞර් බීබීසී වෙත පැවසුවාය.
2020 දෙසැම්බර් මාසයේ දී දිල්ලියේ ගංගා රාම් රෝහල විසින් සඵලතා රසායනාගාරයේ ගබඩා කර ඇති යුවළගේ පුත්‍රයාගේ ශුක්‍රාණු නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව කෞර් මහත්මිය සහ ඇගේ සැමියා ගුර්වින්දර් සිං අධිකරණයට පෙත්සමක් ගොනු කළහ.
යුවළගේ 30 හැවිරිදි පුත්‍රයා වන ප්‍රීත් ඉන්දර් සිංට 2020 ජුනි මාසයේ දී රුධිර පිළිකා ස්වරූපයක් (Non-Hodgkin’s Lymphom) ඇති බවට රෝග විනිශ්චය කර තිබූ අතර, ප්‍රතිකාර සඳහා රෝහල්ගත විය. ප්‍රතිකාරය නරක විදිහට එයාගේ ශුක්‍රාණුවල ගුණාත්මකභාවයට බලපායි කියලා, එයාට කිමෝතෙරපි පටන්ගන්න කලින් ශුක්‍රාණු ගබඩා කරන්න කියලා රෝහලෙන් උපදෙස් දුන්නා යැයි ගුර්වින්දර් සිං බීබීසීයට පැවසුවේ ය.
අවිවාහකව සිටි ප්‍රීත් ඉන්දර් ඊට එකඟ වී ඔහුගේ ශුක්‍රාණු සාම්පල 2020 ජුනි 27 දා ශීත කරන ලදී. ඔහු සැප්තැම්බර් මුල දී මියගියේය.
මාස කිහිපයකට පසු, ශෝකයට පත් දෙමව්පියන් ඔවුන්ගේ පුත්‍රයාගේ ශීත කළ ශුක්‍රාණු වෙත ප්‍රවේශවීමට සොයා බැලූවිට රෝහල විසින් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. ඉන්පසු යුවළ විසින් දිල්ලි මහාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.