ඖෂධවල වියදමට පමණක් හැකි නම් පෙට්ටියට මුදල් දමන්න

බටහිර වෛද්‍ය විද්‍යාවට බැරි ලෙඩත් සුව කරලා…

ලෙඩ දුක් යනු අප කාටත් පොදු ධර්මතාවයකි. මිනිසුන් වන අප සෙම්ප්‍රතිෂ්‍යාවක්, කැස්සක් වැනි සාමාන්‍ය රෝග තත්ත්වයකදී වුවද වෛද්‍යවරයකු මුණගැසෙනුයේ ඊට ප්‍රතිකාර ලබාගැනීමටය. එහෙත් මිනිසාට වැළඳෙන්නා වූ ඇතැම් රෝගවලට කොතරම් ප්‍රතිකාර කළ ද නිට්ටාවටම සුවය නොලැබෙන්නේය. කොතකුත් වෛද්‍යවරු හමුවී මුදලට ප්‍රතිකාර ලබා ගත්ත ද සුවයක් නොලැබෙන ගානය. ඇතැම් විට වෛද්‍යවරුන්ට රෝගය කුමක් දැයි නිශ්චිතව හඳුනා ගැනීමට ද නොහැකි වන අවස්ථා ද අප සමාජයේ ඕනෑ තරම්ය. තව ද මුදල් හිඟකම නිසා අද වන විට බොහෝ රෝගීන් ප්‍රතිකාර ලබාගැනීමට පවා අතපසු වී බොහෝ පීඩා විඳින්නේය. එහෙත් අප මේ කියන්නට තනන කතාව හුදෙක් මුදල් මතම නොවැටී දේශීය වෙදකම තුළින් ශරීරයේ හට ගන්නා වූ බොහෝ රෝගවලට ප්‍රතිකාර කරන ජීවකයකු ගැනය.

රටේ අසරණ රෝගීන් වෙනුවෙන් කැපවෙන මේ ඉසිවරයා අපට හමුවන්නේ කුරුණෑගල මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයෙනි. ඔහු නමින් කේ. එම්. ධනසිරි වර්ණකුලසූරියය. අප යන විටද මැල්සිරිපුර පන්සියගම පිහිටි බෙහෙත් ශාලාවට දිවයිනේ නන් දෙසින් බොහෝ රෝගීහු පැමිණ සිටියහ. පාරම්පරිකව දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර කරන මේ වෛද්‍යවරයා ප්‍රදේශයේ කා අතරත් ප්‍රචලිත වන්නේ ‘පන්සියගම ධනසිරි වෙද මහත්තයා’ යනුවෙන් ය. පුරා දසක තුනකට අධික කාලයක සිට සර්වාංග වෙදකමෙහි නියැලෙන මේ ජීවකයා ප්‍රතිකාරවලට නිශ්චිත මිලක් නොතබන්නේ ය. ඔහු තම ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ පෙට්ටියක් තබා ඇත්තේ අසරණ රෝගීන්ට මොනයම් හෝ ආකාරයකින් පිළිසරණක් වන්නට ය. ධනසිරි වෙද මහත්තයාගේ ප්‍රතිකාරයන්ට ද නිශ්චිත මිලක් නියම නොවන ගානය. එහි විශේෂත්වය වන්නේ ඔහුගෙන් ප්‍රතිකාර ලැබූ ඕනෑම රෝගියකුට දැරිය හැකි මුදලක් වෙතොත් ඒ පෙට්ටියට දමා යා හැකිවීමය.

මුදලට වඩා මනුස්සකම අගයන පන්සියගම වෙදදුරු

අතමිටේ යහමින් මුදල් නොගැවසෙන බොහෝ රෝගී ජනතාවට පිහිටක් වන්නේ පන්සියගම දනසිරි වෙද මහත්තයා බව එහි ගිය අපට අවබෝධ වන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. බොහෝ මුදල් නොමැතිව අසරණ ලාභයට පත් වූ රෝගීන් මේ වෙදදුරුගෙන් ප්‍රතිකාර ගෙන තමන්ට දැරිය හැකි මුදලක් එහි තබා ඇති පෙට්ටියට දමා යන්නේ ඔහුගේ මිනිසත්කම අගයමින්ය. පිං දෙමින් ය. එහි යන එන ඕනෑම කෙනෙකුට ධනසිරි වෙද මහතාගේ මේ උත්තම ක්‍රියාව සියැසින්ම දැක බලා ගත හැකි වන්නේ ඔහුගේ මේ රාජකාරිය දේව කාරියක් වූ නිසාමය. අප මේ කියන වෙද මැදුර පිහිටා ඇත්තේ ‘සෙත්සෙවන වෙදමැදුර’, ගලටබැඳිවැව, පන්සියගම, මැල්සිරිපුර යන ලිපිනයේය. අද වනවිටද ඔහුගේ ප්‍රතිකාර මගින් සුවය ලැබූ රෝගීන් ගණනද විසල්ය. දේශීය වෙදකම තුළින් රටේ රෝගීන් සුවපත් කරන ධනසිරි වෙදදුරු තම ප්‍රතිකාර ක්‍රමයන් ගැන මෙසේ කියන්නට විය.

“මගේ ළඟට එන බොහෝ රෝගීන් බටහිර වෛද්‍ය කර්මයට පවා සුව කර නොහැකි යයි කියූ අය. ඒත් දේශීය ප්‍රතිකාර ක්‍රම අපි ඔවුන්ට නියම සුවය ලබා දෙනවා. ගොඩක් රෝගීන් එන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවී මුදල් වියදම් කරගෙන. ඇත්තටම ඒ අය ගොඩක් අසරණ වෙලා තමයි අපි ළඟට එන්නේ. එහෙම එන අයට අපි ප්‍රතිකාර සඳහා නිශ්චිත මුදලක් අය කරන්නේ නැහැ. මගේ වෙද මැදුරේ තියෙන පෙට්ටියක් තියලා තියෙන්නේ ඖෂධ සඳහා යන වියදමට. ඒකත් තමන්ට තියෙන මුදලක් පමණයි රෝගීන්ට ඒකට දමන්න පුළුවන්.”

ධනසිරි වෙදදුරුගේ ප්‍රතිකාර ක්‍රමයන් කොතරම් සාර්ථකද කිවහොත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය වලින්ද සුවය නොලද රෝගීන් ඔහුගේ ප්‍රතිකාර ක්‍රමයන් මගින් සුවපත් වන්නේය. එවැනි අවස්ථාද බොහෝමයක් ඇතත් ඒ සියල්ල මෙහි සඳහන් කළ නොහැකි වුවද තම වෛද්‍ය කර්මයේ විස්කම් කීපයක් ගැන හේ මෙසේ අපට කියන්නට විය.

“එක්තරා රෝගියෙක් මගේ ළඟට ආවේ මෙරට ප්‍රධාන පෙළේ රෝහල්වලින් පවා රෝගයට ප්‍රතිකාර ගෙනයි. මේ රෝගියා දණහිසේ ආබාධයකින් පෙළුණු අයෙක්. රෝහල්වලින් කියල තිබුණේ ඔහුගේ සැත්කමක් මගින් බද්ධ කළ යුතු බවයි. ඒත් මගේ ළඟට ආපු මේ රෝගියාට මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ සම්පූර්ණ සුවය ලබාදුන්නා. තවත් රෝගියෙක් ආවා අංශභාග රෝග තත්ත්වය වැළඳුන අයෙක්. ඒ රෝගියත් සෑම තැනකින්ම ප්‍රතිකාර අරගෙන සුවයක් නැති තැන තමයි මගේ ළඟට ආවේ. ඔහුටත් මම මගේ තෙල් බෙහෙත් සත්කාරයන් මගින් පූර්ණ සුවය ලබාදුන්නා. ඒ වගේම තමයි මම කිසිම රෝගියකුට ප්‍රතිකාර සඳහා නිශ්චිත මිලක් අය කරන්නේ නැහැ.”

“අපගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ පෙට්ටියක් තබා තියෙන්නේ ඖෂධ සඳහා යන වියදමට විතරයි. ඒකට හේතුව ඖෂධවලට ඉහළ මිලක් යෑමයි.” වෙදදුරු අපේ කතාවට සමුදුන්නේ එසේ ය.

මේ දේශීය වෛද්‍ය කර්මයන් තුළ ඔහු කළ හපන්කම්වලින් අල්පමාත්‍රයක් පමණි. තවද ආතරයිටීස්, අම්ලපිත්තය, ඇදුම, හතිය, කුෂ්ට රෝග, සන්ධි රෝගවලට ද ප්‍රතිකාර කර රෝගීන්ට සුවය ලබාදෙන්නට අප කතා කරන ධනසිරි වෙද මහතා දක්ෂ වෙදැදුරෙකි. ධනසිරි වෙදදුරුගේ තවත් එක් වෛද්‍ය මධ්‍යස්ථානයක් ගලේවෙල නගරයේ ‘ඉසිවර වෙද මැදුර’ නමින් පිහිටා ඇත්තේ දිවයිනේ නන් දෙසින් ඇදී එන රෝගී ජනතාව වෙනුවෙන්මය. අද සමාජයේ මුදල් මතම සේවාව ලබාදෙන්නට බොහෝ වෛද්‍යවරුන්, වෙදදුරන් සිටියද පන්සියගම ධනසිරි වෙද මහතා මුළු රටටම ලබාදෙන්නේ උතුම් ආදර්ශයකි. එවැනි වෙදදුරන් මේ මොහොතේ රටට අවැසිය.

හසිත අඹතැන්න


advertistmentadvertistment