කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා පීඨයේ ශාස්ත්‍රපති උපාධිධාරිනියක් වන ඉඳුවරී රජිකා සමරසිංහ 2005 වසර සිට අද දක්වා සිය සමාජ විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රය වන ‘වත්ත ජනාවාස’ පිළිබඳ අඛණ්ඩ පර්යේෂණවල නිරත වේ. ඒ අනුව ඇය ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ වත්ත ජනාවාස සහ දුඟී බවේ සංස්කෘතිය යන කෘතිය සහ ඒ හරහා ඉදිරිපත් කළ ‘වත්ත ජනාවාස’ පිළිබඳ නිර්වචනය මේ දක්වා විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යාර්ථින් විසින් පරිහරණය කරන මූලාශ්‍ර බවට පත් වී ඇත. මේ වනවිට මුද්‍රණයේ නොමැති එම කෘතිය පරිශීලනය සඳහා සොයන විද්‍යාර්ථීන්ගේ බලවත් ඉල්ලීම මත, කතුවරිය විසින් සකස් කරන ලද එම කෘතියේ ඇතුළත් කරුණුවල සාරංශයක් මෙහි පළ වේ.

=====================================

‘වත්ත ජනාවාස’ කී පමණින් ඔබට සිහියට නැඟෙනු ඇත්තේ පැල්පත් හෝ මුඩුක්කු ජනාවාසයන්ය. බැලූ බැල්මට පැල්පත් සහ මුඩුක්කුවල ඇති ලක්ෂණ වත්ත ජනාවාස තුළද දැකිය හැකිය. ටකරන්, පොලිතින්, ලී ආදී දේවල්වලින් වටකරගෙන සාදා ගන්නා කුඩා වාසස්ථානයක් තුළ පිරිමින්, ගැහැනුන්, දරුවන් අවම මානව අවශ්‍යතා ඉටුකර ගැනීමට පවා අපහසුවෙන් ජීවත්වන ප්‍රදේශ පැල්පත් හෝ මුඩුක්කු ජනාවාස ලෙස හඳුනාගත හැකිය.

එහෙත් ‘වත්ත ජනාවාස’ මේ පැල්පත් මුඩුක්කු ජනාවාසයන්ට වඩා වෙනස් පසුබිමක් ඇතිව ගොඩනැඟී ඇත. මෙහිදී ද ‘වතු ජනාවාස’ සහ ‘වත්ත ජනාවාස’ යනු පැහැදිලි වෙනස්කම් සහිත ජනාවාස දෙකකි. අප දන්නා තේ වතුවලට අයත් ලැයිම් නිවාස ‘වතු ජනාවාස’ ලෙස හැඳින්වෙන අතර ඒවා ‘වත්ත ජනාවාස’වලින් වෙනස්ය. වතු සහ වත්ත ජනාවාස පැහැදිලිවම එකිනෙකට වෙනස් සංස්කෘතික ලක්ෂණ සහිත වර්ග දෙකකි.

‘වත්ත’ යන්න සාමාන්‍ය සමාජ ව්‍යාවහාරයේ පවතින නාමයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ ‘වත්ත’ යනුවෙන් හැඳින්වෙන්නේ අපගේ නිවස ගොඩනඟා ඇති භූමියයි. නගරයට වනවිට මේ වත්ත ඉතා කුඩා වන අතර, ගමට යනවිට එය අක්කර ගණනාවක් විශාල විය හැකිය. එම වත්ත තුළ වගාවන් හෝ වනලැහැබවල් දැකිය හැකිය. නමුත් මෙම ‘වත්ත ජනාවාස’ ඊට හාත්පසින් වෙනස් වේ. එහිදී ‘වත්ත’ ලෙස හැඳින්වෙන්නේ නිවාස සමූහයක් ඇතුළත් වන ප්‍රදේශයකි. වත්තේ වැසියන් හඳුනාගැනීමේ පහසුව පිණිස එම වැසියන් විසින්මිවත්ත නම යොදා ව්‍යවහාර කිරීම තුළින් ‘වත්ත’ නම ප්‍රසිද්ධියට පත්වී ඇති බව පෙනේ.

මෙවැනි වත්ත ජනාවාස නගරයේ මෙන්ම ගම්වල ද ඇත. එය සමාජ හා මානව පර්යේෂකයන් විසින් අනිවාර්යයෙන්ම පර්යේෂණ කළ යුතු සහ අවධානය යොමු කළ යුතු- එහෙත් ප්‍රමාණවත් තරමින් අවධානයට ලක් නොවූ ක්ෂේත්‍රයකි.

මහා සංස්කෘතියෙන් වෙන් වූ උප සංස්කෘතියක් ලෙස වත්ත සංස්කෘතිය හඳුන්වා දියහැකිය. වත්ත ජනාවාසයන්ට ආවේණික වූ, මහා සංස්කෘතියෙන් පැහැදිවලිවම වෙනස්කම් දක්වන ලක්ෂණ රැසක් වත්ත ජනාවාස සතු වේ.

  1. නිවාස අයිතිය හා නිවාස සකසා ගැනීම
  2. මුදල් පරිහරණය හා ජීවනෝපායන මාර්ග
  3. සිතුම් පැතුම් හා ආකල්ප
  4. පවුල් සංස්ථාව ගොඩනැඟීම
  5. අන්තර් පුද්ගල සබඳතා පවත්වන ක්‍රමවේද වෙනස් වීම

යනාදී කරුණුවලදී මොවුන් මහා සංස්කෘතියෙන් පැහැදිලි ලෙස වෙනස් වේ. එසේම සමාජ කටයුතුවලදී මහා සමාජයට බලපෑමක් එල්ල කිරීමට වත්ත ජනාවාස සමත්වෙයි. එමෙන්ම මහා සමාජයේ අවශ්‍යතා ඉටු කර ගැනීමට වත්ත වැසියන් යොදා ගන්නා අවස්ථා ද සුලබය. මේ නිසා වත්ත ජනාවාස හඳුනාගැනීමේ දී එහි පසුබිම සොයා බැලීම වැදගත් වේ.

වත්ත ජනාවාස ඉතිහාසය

ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් වීමෙන් පසුව ජනයාගේ ස්වයංපෝෂී අර්ථ ක්‍රමය බිඳ වැටිණ. ස්වදේශිකයන්ට එතෙක් අයිතිව පැවති ඉඩම් අහිමි විය. මේ නිසා ඔවුන්ට රැකියා සොයාගෙන නගර බලා සංක්‍රමණය වීමට සිදු විය. කුලී වැඩ සොයාගෙන පැමිණෙන මේ ගැමි ස්වදේශිකයන් බොහෝ දෙනාගේ වාසස්ථානයන් වූයේ ගම හා නගරය අතර මැද පිහිටිිගැමිරික කලාපයයි. රජයට අයත් වූ භූමිය තුළ අනවසරයෙන් වහලක් සෙවිලි කරගත් කූඩාරමක් තුළ ඔවුන් ජීවත් වීම ආරම්භ විය. එසේ මූලික අවශ්‍යතා හෝ නිසි ආකාරව ඉටු නොවන වාසස්ථානවල පදිංචි වී, නගරයට පැමිණ කුලී වැඩ කර මුදල් උපයමින්, එම ස්ථාන තුළම දරු පවුල් ඇති කරගනිමින් නව ජනාවාස ක්‍රමයක ආරම්භය සිදු විය. එම පවුල් ඔවුන්ගේ දරුවන්ට උරුම වීමෙන් වත්ත ජනාවාස බිහි විය. මෙම ජනාවාස ඉතිහාසය සොයා බලනවිට, ඔවුන්ට ස්ථිර ඔප්පු නොමැත. පියා හෝ මවගෙන් ඉඩම දරුවන්ට හිමි වේ. ඒ ආකාරයෙන් වත්ත ජනාවාස වර්ධනය වී වර්තමානය දක්වාම පවතියි. මූලික සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කර ගැනීමට පොදු වැසිකිළි, පොදු ජල කරාම භාවිත කරයි. ඇතැම් කාලවල රජය ඉදිරිපත් වී මේ ජනාවාස වැසියන්ට නිවාස සාදාගැනීමට ආධාර දී ඇත. නමුත් ඔවුන් එම නිවාස විකුණා මුදල් ලබාගෙන, කෙටි කලකින් එම මුදල් විනාශ කර ගෙන සුපුරුදු තත්ත්වයෙන්ම ජීවත් වීමට පෙළඹීම නිසා වත්ත වැසියන් නඟා සිටුවීම සඳහා ආයෝජනය කිරීමට රජයන් හෝ වෙනත් සමාජ සේවා අංශ ඉදිරිපත් නොවීම දැකිය හැකිය.

සාමාන්‍යයෙන් මෙසේ ශ්‍රී ලංකාව තුළ වත්ත ජනාවාස බිහිවීම ආරම්භ වුවද වර්තමානය වනවිට ප්‍රධාන වත්ත ජනාවාස වර්ග 2ක් හඳුනාගත හැකි වේ. එනම්,

  1. ගැමිරික කලාප ආශ්‍රිතව බිහි වූ මුල් වත්ත ජනාවාස
මොකක්ද මේ වත්ත?වත්ත ජනාවාස පිළිබඳ සමාජ විද්‍යාත්මක විවරණයක්

මෙහිද අයිතිය අනුව ප්‍රබේද 3ක් හඳුනාගත හැකි වේ.

i පාරම්පරිකව වත්ත බෙදී යෑමෙන් ඇති වූ වත්ත ජනාවාස

ii. අනවසරයෙන් පදිංචි වීමෙන් සෑදුණු වත්ත ජනාවාස

iii. සංවර්ධන යෝජනා ක්‍රම යටතේ ඉඩම් අයිතිය පවරා දෙමින් නීත්‍යානුකූලව පදිංචි කර ඇති වත්ත ජනාවාස

  1. ඇතැම් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද වත්ත ජනාවාස

මෙම ජනාවාස මෑත දශක කිහිපයක සිට ඇති වෙමින් තිබේ. තමන්ට අයත් විශාල ඉඩම තුළ පහසුකම්වලින් තොර වූ කූඩාරම් වැනි නිවාස සාදා ඒවායේ පවුල් නතර කරගෙන කුලී ලබාගැනීම මෙහි ලක්ෂණයයි. ඉඩම් අයිතිය පවතිනුයේ එක් පුද්ගලයකුටයි. නමුත් එහි පවුල් 25-40ක් පමණ කුලී ගෙවමින්, ඇතැම්විට එම වත්ත තුළම ව්‍යාපාර පවත්වමින් එහිම වසර ගණනාවක් මුළුල්ලේ ජීවත් වෙති.

මෙම වර්ග දෙකම වත්ත ජනාවාසවලට අයත් වේ. එකම උප සංස්කෘතියේ කොටස් ලෙස අපට හඳුනාගත හැකි වේ.

මේ වනවිට බොහෝ වත්ත ජනාවාසවල නිවාස දියුණු මට්ටමක පැමිණ ඇති නමුත් දිළිඳුබවේ විෂම චක්‍රයට මේ බොහෝ දෙනා නතු වී ඇත. එසේම වත්ත ජනාවාස තුළ පෙර පැවති මහා සමාජයෙන් වෙන් වූ උප සංස්කෘතික ලක්ෂණයන් නොවෙනස්ව විවිධ නවීන ලක්ෂණ ද අත්පත් කරගනිමින් පවතිනු දැකිය හැකිය.

වත්ත ජනාවාස පිළිබඳ නිර්වචන

මා විසින් 2006 වර්ෂයේ වත්ත ජනාවාස පිළිබඳ පර්යේෂණ ආරම්භ කරනවිට, වත්ත ජනාවාස පිළිබඳ ලියැවුණු මූලාශ්‍රයක් සොයාගැනීමට පවා අසීරු විය. හමු වූ එකම මූලාශ්‍රය, බොහෝ කලකට ඉහතදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා මහතා සමාජ විමසුම සඟරාවට මේ ගැන ලියූ ලිපියක් පමණි. එයින් පසුව වත්ත ජනාවාස පිළිබඳ කිසිදු පර්යේෂණයක් සිදු වූ බවට සාධක හමුනොවිණි. වත්ත ජනාවාස පිළිබඳව මහා සමාජය තුළ පවතින නිෂේධනාත්මක අදහස් සහ වත්ත ජනාවාස ආශ්‍රිතව පවතින අනාරක්ෂිත බව හේතුවෙන් කිසිවෙක් අවදානම් දැරීමට ඉදිරිපත් නොවීම ද ඊට හේතු වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මා වත්ත ජනාවාස පිළිබඳ පර්යේෂණ ආරම්භ කරන විට බොහෝ දෙනෙකුගෙන් මට ලැබුණු ප්‍රතිචාරද දිරිගන්වනසුලු ඒවා නොවේ. වත්ත ජනාවාසයක අවදානම් කලාප බොහෝ තිබුණත්, ඒවායේ නීතිය හා ආධිපත්‍ය වෙනම තලයක පැවතුණත් එහිද ජීවත්වන්නේ තවත් මානව කොටසකි. ඔවුන් එහි සංස්කෘතිය අනාගතයට රැගෙන යමින් ඉතිහාසයට බොහෝ කරුණු එක්කරයි.

ලෝකයේ ද ලංකාවේ වත්ත ජනාවාස ලක්ෂණවලට යම් තාක් දුරට නෑකම් කියන වත්ත ජනාවාස පවතී. ඇමරිකානු මානව විද්‍යාඥ ඔස්කා ලෙවිස් (Oscar Lewis s 1914-1970) මේ පිළිබඳව බොහෝ අධ්‍යයනයන් සිදු කර ඇත. ඔහු ඉදිරිපත් කරන ‘දිළිඳුබවේ සංස්කෘතිය’ පිළිබඳ න්‍යාය වත්ත ජනාවාස හඳුනා ගැනීමට ඉවහල් වේ.

මා පර්යේෂණ සිදුකරන වකවානුව වනවිටත් මෙම වත්ත ජනාවාස පිළිබඳ නිසි තොරතුරු අනාවරණයක් හෝ ‘වත්ත ජනාවාස’ හඳුන්වා දීමක් සිදු වී නොතිබිණි. ඒ අනුව, මේ සඳහා සිංහල භාෂාවට සහ ශ්‍රී ලංකාවට උරුම වූ‘වත්ත’ යන වදන ඇසුරින් ‘වත්ත ජනාවාස’ ලෙස මෙය නිර්වචනය කිරීමට හැකි විය.

“වත්ත ජනාවාසයක් යනු විශාල වත්තක් පරම්පරික උරුමයක් ලෙස ඉඩම් අයිතිය පවරා හෝ ඉඩම් අයිතිය පවරා නොමැතිව ඉඩම් බෙදී යෑමෙන් හෝ බලහත්කාරයෙන් පදිංචි වීමෙන් හෝ තාවකාලික පදිංචිය සඳහා කුලී ගෙවමින් එම සමාජය වෙත පැමිණීමෙන් හෝ එකිනෙකා අතර ඥාතීත්වය ඇතිව හෝ නැතිව සාමූහිකව ජීවත්වන ප්‍රදේශයකි.” (සමරසිංහ, රජිකා, ශ්‍රී ලංකාවේ වත්ත ජනාවාස සහ දුගීබවේ විෂම චක්‍රය, 2012, පි. 35) මෙම නිර්වචනය මේ ආකාරයෙන් වඩාත් සංක්ෂිප්ත කළ හැකිය:

“වත්ත ජනාවාසයක් යනු, ආවේණික උපසංස්කෘතිය පවත්වාගෙන යමින් මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් කටයුතු කරන මිනිසුන් වෙසෙන ප්‍රදේශයකි.”

වත්ත ජනාවාස උප සංස්කෘතිය

වත්ත ජනාවාස තුළ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ඒ හා බැඳුණු උප සංස්කෘතියයි. වත්තට ආගන්තුකයකු ලෙස පිවිසෙන ඔබට පෙනෙන දේ තුළ ඇති නොපෙනෙන දේ, කියන දේ තුළ සත්‍ය වශයෙන් ගැබ්වෙන දේ වටහා ගැනීම අසීරු වනු ඇත. වත්ත භාෂාව අවබෝධ කරගැනීම ආගන්තුකයකුට අභියෝගයකි. ඇතැම්විට ඔබට ඔවුන් හා සත්‍ය වශයෙන් සහ ගැඹුරින් සම්බන්ධ විය නොහැකි වුවහොත් ඒ පිළිබඳ කිසිදු දිනෙක තේරුම්ගත නොහැකි විය හැක.

අනෙක් අතට වත්ත ජනාවාසිකයින් දුඟී බවේ විෂම චක්‍රයට ගොදුරු වූ පිරිසකි. අඩු ආදායම, අඩු ඉතුරුම්, අඩු ආයෝජනය, අඩු වියදම්, අධික ණයගැතිභාවය, ක්‍රය ශක්තිය හීන වීම, ආහාර හිඟය, මන්ද පෝෂණය සහ ලෙඩ වීම, වැඩකළ නොහැකි බව තුළ චක්‍රාකාර ජීවිතයක් ඔවුන් උරුම කරගෙන සිටියි. ඇතැම්විට එම උරුමය ඔවුන් ආභරණයක් කරගෙන සිටින අවස්ථා ද දැකගත හැක. මේ නිසා ඔවුන්ට සත්‍ය වශයෙන් එයින් මිදීමට අවශ්‍යද නැද්ද යන්න පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු වේ. වත්ත ජනාවාස දිගින් දිගට ම පැවැතීමට මෙය ප්‍රමුඛ හේතුවකි. එයට කදිම උදාහරණයක් නම්, මා වත්ත ජනාවාස පිළිබඳ පර්යේෂණ ආරම්භ කොට දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් වත්ත ජනාවාසවල තත්ත්වය වෙනසක් නොවී තවමත් එලෙසම පැවතීමයි. එදා වත්ත දරුවන් තුළ පැවති පැතුම් තලය සහ ආර්ථික මට්ටම අද වනවිටත් අද දරුවන් තුළත් එලෙසම පවතී. ඉහළ පැතුම් තලයක් සහ එය ඉෂ්ට කර ගැනීමට දක්වන උනන්දුව අතර පිරවිය නොහැකි හිඩැසක් අදටත් මොවුන් තුළ ඇත.

ඉතිරි කොටස ලබන සතියේ

ඉඳුවරී රජිකා සමරසිංහ


advertistmentadvertistment