යතුරුපැදියෙන් ආ දෙදෙනෙක් නාහාහේන්පිටදී වාහනයට වෙඩි තබා හල්ලොලුවට පහරදී ලිපි ගොනුවක් පැහැරගෙන

13

සත්‍ය අසත්‍යතාව සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා – වැ.බ. පොලිස්පති

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් මෝටර් රථයට නාරාහේන්පිට දාබරේ මාවතේදී පෙරේදා (17 වැනිදා) රාත්‍රි වෙඩි තබා ඒ මහතාට පහර දී ඔහු සතුව තිබූ රහසිගත ලිපිගොනුවක් පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබූ බව ද පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් තුසිත හල්ලොලුව මහතා සහ ඔහු සමග මෝටර් රථයේ සිටි නීතිඥ දිනේෂ් දොඩංගොඩ මහතා සුළු තුවාල ලැබූ අතර ඔවුහු දෙදෙනා මේ වනවිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් “දිවයින” කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මෙම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රමුඛ විමර්ශන කණ්ඩායම් කීපයක් යොදාගෙන මෙම ප්‍රහාරයේ සත්‍ය අසත්‍යතාව සොයා බලා ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ද වීරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්ති නාමයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තුසිත හල්ලොලුව සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වන අතරතුර මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයක් බව පොලිසිය පවසයි.

විමර්ශන කණ්ඩායම් පවසන්නේ නාඳුනන පුද්ගලයන් විසින් පැහැරගෙන ගොස් ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමට අදාළව පැවති ලිපිගොනුවක් මෙසේ පැහැරගත් බවට තුසිත හල්ලොලුව ප්‍රකාශ කළ බවයි.

තුසිත හල්ලොලුව සහ නීතිඥ දිනේෂ් දොඩංගොඩ මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ පෙරේදා රාත්‍රි 8.45ට පමණය. මොවුන් දෙදෙනා නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි ජනාධිපති නීතිඥවරයකුගේ නිවස වෙත ගොස් සාකච්ඡාවක් පවත්වා ආපසු සිය මෝටර් රථයෙන් යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්වී ඇත.

යතුරුපැදියක පැමිණි පුද්ගලයන් දෙදෙනකු හල්ලොලුව මහතා ගමන්ගත් මෝටර් රථයට මඟ හරස් කර එය නවතා රථයේ රෝදවලට වෙඩි තබා තිබේ. පසුව රථයේ වීදුරුවලට පහරදී ඇති නාඳුනන පුද්ගලයන් දෙදෙනා එහි තිබූ ලිපිගොනු සොයා ඇති අතර ඔවුන් නීතිඥවරයාට සහ හල්ලොලුව මහතාට ද පහර දී තිබේ. එහිදී ඔවුන් දෙදෙනා රථයෙන් බැස දිවගොස් ඇති අතර නාඳුනන පුද්ගලයන් දෙදෙනා එහි තිබූ ලිපිගොනුවක් රැගෙන පලාගොස් ඇත.

මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියට කළ දැනුම්දීමකට අනුව එහි ගිය නිලධාරීන් පිරිසක් විමර්ශන ආරම්භ කළ අතර සුළු තුවාල ලබා සිටි හල්ලොලුව සහ නීතිඥවරයා රෝහල්ගත කිරීමට ද කටයුතු කර තිබිණි.

ප්‍රහාරය සඳහා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් භාවිතා කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. මෙම සිද්ධිය වූ ස්ථානය අවට ප්‍රදේශවල සීසීටීවී කැමරා සියල්ල පරීක්ෂා කිරීමට ද, සැකකටයුතු දුරකථන අංක විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටියි.

වත්මන් ජනාධිපතිවරයා ග්‍රීසියේ නැව් සමාගමක රුපියල් කෝටි 400ක මුදලක් ආයෝජනය කර ඇති බවට තුසිත හල්ලොලුව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබිණ. මේ සම්බන්ධයෙන් නීතිඥවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කළ අතර එහි විමර්ශන කටයුතු පසුගියදා ආරම්භ කරන ලදී.

ඒ අනුව තුසිත හල්ලොලුවගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පැය 7ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත්තේය. මෙම විමර්ශනය යන අතරතුර හල්ලොලුව මහතා වෙත මෙම ප්‍රහාරය එල්ල වී තිබිණි.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ මෙම සිද්ධියේ සැකයට භාජනය වන තැන් රැසක් ඇති බවයි. රජය අපහසුතාවට පත් කිරීමට තුන්වැනි පාර්ශ්වයක් විසින් මෙය සිදු කළේ ද, එසේත් නැත්නම් සැලසුම්සහගත අන්දමින් කිසියම් වාසියක් ලබාගැනීමට එය කිසියම් පිරිසක් කළේ ද යන කරුණු ඇතුළු තවත් පැති කීපයක් ඔස්සේ මෙම විමර්ශනය සිදුකරන බව පොලිසිය පවසයි.

මෙවැනි ආකාරයේ වෙඩි තැබීමේ සිද්ධීන් කීපයක් පසුගිය කාලසීමාවේ වාර්තා වී තිබිණි. හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය රථයට වෙඩි තබා ගැනීම සහ ප්‍රයිවට් ආයතනයේ අධ්‍යක්ෂවරයකු එහි පරිපාලන ප්‍රශ්නයක් මුල් කරගෙන ඔහුගේ රථයටම වෙඩි තබා ගැනීම එම සිද්ධීන්වලින් කීපයකි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු සහ නෝමන් පලිහවඩන


advertistmentadvertistment