තමා හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකට හමුවී සාකච්ඡා කරන තෙක් දැනට පැවැත්වෙන යුක්රේන යුද්ධය නතර කිරීමේ සාම සාකච්ඡාවලින් කිසිදු ප්‍රතිපලයක් අත්කරගත නොහැකි වන බවත්, ඉතාමත් ඉක්මනින් රුසියානු ජනාධිපතිවරයාව මුණගැසීමට තමාට අවශ්‍ය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. රුසියාව විසින් 2022 වසරේදී යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දෙරට අතර පැවැත්වෙන ප්‍රථම සාම සාකච්ඡා වටය ඊයේ (16) තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී ඇරඹුණු අතර එම සාකච්ඡාව සඳහා රුසියානු ජනාධිපති පුටින් සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබිණි.
පුටින් ජනාධිපතිවරයා සාම සාකච්ඡා සඳහා සහභාගි නොවන බව පැවසීමත් සමගම යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා සිටියේ රුසියානු ජනාධිපතිවරයා සහභාගි නොවන්නේ නම් තමා ද එම සාකච්ඡාවලට සහභාගි නොවන බවයි. රුසියානු රජයේ නියෝජිතයන් පිරිසක් තුර්කියේ ඉස්තාන්බුල් නගරයට සාකච්ඡා සඳහා පැමිණ සිටින අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද තුර්කියේ අගනුවර වන අන්කාරා නගරයට පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. කෙසේ වුවද යුක්රේන-රුසියා සාම සාකච්ඡා සඳහා යුක්රේන ආරක්ෂක ඇමැතිවරයා සහභාගි කරවන බව ඊයේ උදෑසන ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබිණි. මේ අතර සිය මැදපෙරදිග සංචාරය යටතේ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ද ඉස්තාන්බුල් නගරයට ඊයේ පැමිණ සිටි අතර එම නගරයේදී පෙරේදා (15) දිනයේ රුසියානු හා යුක්රේන නියෝජිතයන් හමු වී සාකච්ඡා පවත්වා ඇති ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ මාධ්‍යවේදීන් අමතා පවසා ඇත්තේ ඊයේ ඇරඹුණු යුක්රේන -රුසියා සාම සාකච්ඡාවලදී විශාල යමක් සිදු වේයැයි තමා නොසිතන බවයි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද පසුගියදා පවසා තිබුණේ රුසියාව සාම සාකච්ඡා ගැන බරපතල ලෙස නොසිතන බව පෙනී යන බවයි.
සංස්කරණය – ඒමන්ති මාරඹේ