අල්ලස් කොමිසම විසින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා ඊයේ සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ මෙම සැකකරු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබෙන බව සඳහන් කළහ.
එම අවස්ථාවේදී තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ මෝදිත රත්නායක සහ සුමිත් යසරත්න යන පුද්ගලයින් දෙදෙනාට පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කරන ලෙස මෙම සැකකරු විසින් උපදෙස් ලබා දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත.
පසුව පුද්ගලයින් පස්දෙනකුගේ නම් නාමිකව සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ඔවුන්ට ලැබෙන වැටුප්, දීමනා හා අතිකාල දීමනා මෙම සැකකරුගේ උපදෙස් මත පිළිමතලාව ප්‍රදේශයේ අදාළ පෞද්ගලික බැංකුවක විවෘත කරන ලද ගිණුමට යොමු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබේ.
පසුව මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 15 දෙනකුගේ ගිණුම්වලට මුදල් ප්‍රේෂණය කරන ලෙස මෙම සැකකරුගේ උපදෙස් මත පිළිමතලාව බැංකු ශාඛාවට ස්ථාවර නියෝග ලබාදී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවේය.
මෙසේ මුදල් ලබාගත් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සැකකරුගේ ආධාරකරුවන් මෙන්ම හිතවතුන් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ ආකාරයෙන් අදාළ ගිණුමේ මුදල් ලබාගෙන මෙම සැකකරු සිය ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවා ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද සඳහන් කර සිටියහ.
මෙසේ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව ඇතුළත් කරන ලද පුද්ගලයන් පස්දෙනා කැඳවා ප්‍රශ්න කළ බවත්, තමන් සැකකරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එවැනි රැකියාවක් කර නොමැති බව ප්‍රකාශ කළ අතර එවැන්නක් තමන් දැනගත්තේ අල්ලස් කොමිසම විසින් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී බව එම පුද්ගලයන් විසින් ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කළ බවද එම නිලධාරීන් සඳහන් කළේය.
මෙම ක්‍රියාව තුළින් සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් 8058814/- කට අධික මුදලක් රජයට පාඩු සිදු කරමින් දූෂණය නමැති වරද සිදුකර ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීමක් කළහ.
සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සේවකයින් බඳවා ගැනීමට අමාත්‍යවරයෙකුට බලය තිබෙන බවත් එසේ බඳවා ගන්නා සේවකයන් අමාත්‍යාංශයට වාර්තා කළ යුතු බවට නීතියක් නොමැති බවත් කියා සිටියේය.
ඇතැම් පෞද්ගලික කාර්ය මණ්ඩල සේවකයින් අමාත්‍යවරයාගේ දේශපාලන බල ප්‍රදේශයේ සේවයට යොදවන බවත් මෙම සිද්ධියට සම්බන්ධ මුදල් කිසිදු අවස්ථාවක තම සේවාදායකයාගේ ගිණුමට බැර වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
එමෙන්ම මෙම මුදල් සැකකරු විසින් ලබාගෙන නොමැති අතර අල්ලස් කොමිසම විසින් තම සේවාදායකයා හිරිහැරයට පත් කිරීම සඳහා මෙවැනි නඩු ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
තම සේවාදායකයා 2015 වසරේ සිට අධිකරණයට පැමිණෙන බවත් කිසිදු අවස්ථාවක ඔහු අධිකරණය මගහැරීම හෝ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමක් සිදුකර නොමැති නිසා මෙම සැකකරු ඇපමත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින විමර්ශන අවසන් කර කරුණු ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළාය.
ඒ.ඡේ.ඒ. අබේනායක