රටක පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින් පොදු මහජනතාවගේ අවශ්‍යතා ඉටුකරමින් රටක් සංවර්ධනය කරා මෙහෙයවීම පාලකයින්ගේ වගකීමකි. නමුත් පුද්ගල දක්ෂතා හඳුනා ගනිමින් කුසලතාවයට අගයක් එක් කරමින් රටක පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීම රටට විදේශ විනිමය ගෙන ඒමේ උල්පතකි. එය රටක අනාගත ප්‍රගමනය වෙනුවෙන් තීරණාත්මක සාධකයක් වනවා මෙන්ම මිනිස් ජීවිත පවතින තත්ත්වයෙන් ඉහළට එසවීමට ද හැකියාවක් වන්නේමය.
මිනිසත්කම අර්ථවත් කරමින් රටේ පවතින සම්පත්වලට තම හැකියාව එක් කරමින් තම ජීවනෝපාය ගෙනයමින් රටට ඩොලර් ගෙනඑමින් රටටම ආදර්ශයක් ලබාදෙන අපූරු හැකියාවක් සහිත පුද්ගලයකු අපට හමුවන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෑදෙනිය ප්‍රදේශයෙනි.
තමන් සතු කලා හැකියාවෙන් රටටම ආදර්ශයක් ලබාදෙන මේ අපූරු පුද්ගලයාගේ නිර්මාණකරණය වන්නේ ඉතා සියුම් සහල් ඇටයේ සිතුවම් නිර්මාණය කිරීමයි. මනා සංයමයකින් යුක්තව සිදු කළ යුතු මෙම නිර්මාණයන් ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මේ වනවිට මුළු ලෝකයේම ප්‍රචලිතය. එසේ ජාත්‍යන්තරය පවා ජයගනිමින්, රටට විදේශ විනිමය උපයාදෙන සියුම් කලා නිර්මාණයේ නිමැවුම්කරුවා අපට හමුවන්නේ මහනුවර, හෑදෙනිය ප්‍රදේශයේදීය. හෙතෙම ලොකුලියනගේ දයානන්ද ය.
දයානන්ද මේ අපූර්ව නිමැවුම් ගැන කියන කතාව මෙබඳුය.
“පරම්පරාවෙන් උරුමව ආ කලා හැකියාව නිසා ම පාසල් කාලයේ සිටම චිත්‍ර ඇඳීම පුරුද්දක් කරගෙන හිටියා. ඉතින් චිත්‍ර කලාව ඉදිරියට ව්‍යාප්ත කරගෙන යන්න අලුත් දෙයක් ගැන මම හිතන්න පෙළඹුණා. ඒ අතර යි මේ අදහස ආවේ. ඒ අනුවයි මම කලාවක් ලෙසින් සහල් ඇට මත නිර්මාණයන් සිදු කරන්න පටන් ගත්තේ. මේ කලාව මම ස්වයංව අධ්‍යනය කරලා, ගවේශනය කරමින් කරන දෙයක්. අන්තර්ජාලයේ මෙවැනි නිර්මාණ ගැන බොහෝ තොරතුරු තිබෙනවා. ඒ තොරතුරු බොහොමයක් අධ්‍යනය කරමින් තමයි මම මේ නිමැවුම් කරන්නේ. දැනට මම මේ නිර්මාණ කටයුතු ආරම්භ කර වසර හයක් විතර වෙනවා. දැනට මම පූර්ණ කාලීනව මේ ක්‍රියාව කරගෙන යනවා.”
ඔහු වසර හයක කාලයක් තුළ සිය නිර්මාණකරණයේ බොහෝ කඩඉම් පසු කර තිබේ. ඒ අතරවාරයේ මේ නිර්මාණයන් බොහෝ දෙනකුගේ අවඥාවට බඳුන් වූ අවස්ථා ද බොහෝය.
“මගේ මේ නිර්මාණයන් දිහා බොහෝ දෙනෙක් බැලුවේ විහිළුවකට ඈඳලා අවඥා සහගතවයි. මොකද සහල් ඇටයක පැන්සල් තුඩකින් මේ මොනවාද කරන්නේ කියලයි ඇහුවේ. මොකද මේ වගේ අත්දැකීමක් අපේ සමාජයේ තිබුණේ නැති නිසා. නමුත් මට අරමුණක් තිබුණා මේ නිර්මාණය හොඳින් කරලා සාර්ථකත්වයට පත් වෙන්න ඕන කියලා. ඒ අරමුණ ඔස්සේ මම ගමන ඉදිරියටම ගියා.
මුලදී ගොඩාක් ප්‍රශ්න ආවා. විශේෂයෙන් ආර්ථික ප්‍රශ්න. කර්මාන්තයක් විදිහට මේ නිර්මාණකරණයට අවශ්‍ය උපකරණ මට ගන්න විදිහක් තිබ්බේ නෑ. නමුත් අවශ්‍ය ටූල්ස් ක්‍රමානුකූලව ගත්තා. ඒ වගේම මේකට අවශ්‍ය කාච වර්ග අපහසුවෙන් හරි ගත්තා. එහෙම ක්‍රමානුකූලව දියුණු කරගෙන තමයි මේ තත්ත්වෙට ආවෙ, මේ නිර්මාණ කරගෙන යන්න. ඉතිං මේ ක්‍රමානුකූලව ගොඩනඟා ගත්ත උත්සාහයේ ප්‍රතිඵලය අද වන විට ඉතා සාර්ථක වෙලා තියෙනවා.”
දයානන්ද ඒ බව කියන්නේ තමාගේ ඉලක්කගත අරමුණට පැමිණීමේ සතුට ප්‍රකාශ කරමිනි.
මේ සියලු නිර්මාණයන් සඳහා ඔහුට බොහෝ ඉල්ලුම් ලැබේ. ඊට ඉවහල් වන කරුණු පිළිබඳව ද දයානන්ද කියන්නේය.
“විශේෂයෙන් ම මම කරන මේ නිර්මාණයන් වැඩිපුරම සිදු කරන්නේ විවිධ පුද්ගලයන්ගේ රූපයි. ඒ වාගේම විවිධ සුන්දරත්වය සහිත සිතුවම්, ලෝක ප්‍රකට චරිත ඇතුළු දේවල් තමයි මම නිර්මාණය කරන්නේ. මේ නිර්මාණ අපේ රට තුළ එතරම් ප්‍රචලිත නෑ. නමුත් ජාත්‍යන්තර තලයේ විශාල ඉල්ලුමක් හා පිළිගැනීමක් පවතිනවා. ඒ නිසා මගේ නිර්මාණ විදේශ වෙළෙඳපොළ ඉලක්කවයි සිදු කරන්නේ. මේ වන විට රටවල් 30කට අධික ප්‍රමාණයකට මගේ මේ නිර්මාණ යවනවා. ඇත්තටම විදේශීයව මේ සඳහා විශාල පිළිගැනීමක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම ඒ අය මේ නිර්මාණවල වටිනාකම තේරුම් අරන් ඉන්නවා. මුළු ලෝකයෙන්ම මං වගේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ශිල්පින් ඉතාම අතලොස්සයි ඉන්නේ. ලංකාවේ මේ ක්ෂුද්‍ර කලාවේදියෙක් වශයෙන් ඉන්නෙ මම විතරයි. ලෝක මට්ටමේ සිටින සියලු දෙනා සමග සුහදව අත්දැකීම් බෙදාගනිමින් අවම පහසුකම් යටතේ මේ කටයුතු සිදු කරනවා.”
දයානන්ද මේ වනවිට සහල් ඇට මත සිදුකළ නිර්මාණ 200 කට අධික ප්‍රමාණයක් ඇතැයි කියන්නේය. නුදුරුවේදීම ශ්‍රී ලංකාවේදී මේ නිර්මාණය දේශීය හා විදේශීය පාරිභෝගිකයින් හට ලබාගැනීමට හැකි අලෙවි මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ඔහුගේ බලාපොරොත්තුවය. එමෙන්ම මෙම නිර්මාණයන් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, භාවිත ක්‍රමවේද හා යොදා ගන්නා උපාංග ඇතුළත්ව ප්‍රායෝගිකව මෙම නිර්මාණ සිදුකරන අයුරු දැකගැනීමට හැකිවන ලෙස අවස්ථාව උදාකිරීමට ද ඔහු අපේක්ෂා කරන්නේය.
“හුඟක් වෙලාවට මේ නිර්මාණය අතින් කරාද කියලා කෙනෙකුට විශ්වාස කරන්න අමාරුයි. ඒ නිසාම ප්‍රායෝගික නිර්මාණකරණයේ අත්දැකීම ලබාගන්නත්, අවශ්‍ය අයට මිලදී ගන්නත් අවස්ථාව උදා කිරීමයි මගේ අපේක්ෂාව” ඔහු කියන්නේය. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සිය නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් පැවැත්වීමටත්, මේ නිර්මාණ නමින් ගිනස් වාර්තාවක් තැබීමට ද කටයුතු කරන බවත් එමගින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදීමටත් දයානන්ද ඉමහත් බලාපොරොත්තුවකින් සිටී. රටේ අනාගතය ගොඩනගන්න මේ කර්මාන්තය මනා පිටිවහලක් වන බව පවසන ඔහු ඒ සඳහා නව දැක්මක් අවශ්‍ය බවද පෙන්වා දෙයි.
“රටට ඩොලර් ගේන ව්‍යාපෘතියක් මේක. මේ වගේ දේවල් ඉදිරියට ගන්න නව සැලැස්මක් රට තුළ පැවැතිය යුතුයි. මොකද මේක ව්‍යාපාරයක් බවට පත්කරන්න පුළුවන් නිර්මාණයක්. ඒ වගේම කර්මාන්තයක්. මේ සඳහා රටේ බලධාරීන්ගේ අවධානය යොමුවීම වැදගත්.”
ලොකුලියනගේ දයානන්ද අවධාරණය කරන්නේය.
ජානක සම්පත් බණ්ඩාර