රට දෙවැනි වතාවටත් බංකොලොත් කරන වැඩකට ආණ්ඩුව ගමන් කරනවා

68

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

රට දෙවැනි වතාවටත් බංකොලොත් කරන වැඩපිළිවෙළකට ආණ්ඩුව ගමන් කරනවා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවැසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේද පැවැසීය.

මේ සතියේ පාර්ලිමේන්තු කමිටුවට ලැබුණ වාර්තා අනුව 2023 රජය අපේක්ෂිත බදු ආදායමට වඩා රුපියල් බිලියන 408 කින් බදු ආදායම අඩු වෙලා තිබෙනවා. 2023 මුලු‍ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3789 ක්. දේශීය ආදායම් දෙපාර්ත්මේන්තුවේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1667 යි. නමුත් ලැබුණ බදු ආදායම රුපියල් බිලියන 1550 ක්. රේගුව අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1220 යි. නමුත් ලැබුණ බදු ආදායම රුපියල් බිලියන 974 ක්. සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 217 යි. නමුත් ලැබුණ බදු ආදායම රුපියල් බිලියන 171 ක්. රජයට අපේක්ෂිත බදු ආදායම එකතු කරගැනීමට නොහැකිවීම තුළින් රට දෙවැනි වතාවටත් බංකොලොත්භාවයට ගමන් කිරීමක් පෙනෙන්න තිබෙනවා.

යුද ජයග්‍රහණය කරපු පුද්ගලයන්ටම ආර්ථිකය ජයග්‍රහණය කරන්න බෑ. නමුත් ලංකාවේ මිනිස්සු කළේ යුද ජයග්‍රහණය කරන්න පුලු‍වන් පුද්ගලයන්ට ආර්ථිකයත් හදන්න පුලු‍වන් කියලා යුද ජයග්‍රහණය කරපු පුද්ගලයාට ඡන්දය දුන්නා. රටේ ආරක්ෂාව හදනවා කියන්නේ එකක්. රටේ ආර්ථිකය හදනවා කියන්නේ තවත් එකක්. ලංකාවේ ජනතාව මේ පිළිබඳව කල්පනා කළේ නෑ. යුද්ධයක් අවසන් වුණාට පස්සේ රටකට ප්‍රතිලාභයක් තිබිය යුතුයි. නමුත් ඒ ප්‍රතිලාභ ලංකාවට ලැබුණේ නෑ. ඒ ප්‍රතිලාභ නොලැබුණේ නිවැරදි නායකත්වයක් පත් කරගත්තේ නැති නිසයි. ඒඅනුව තමයි ක්‍රමානුකූලව රට බංකොලොත් වුණේ.

රාජපක්ෂ ආර්ථිකයට අනුව ඔවුන් සිදුකළේ රටේ බදු අඩු කිරිම. ඒ වගේම වියදම් වැඩි කළා. ඔවුන් අයවැය පරතරය පියවීමට යොදාගත්තේ සෘජු බදු නෙවෙයි වක්‍ර බදු. රාජපක්ෂ ආර්ථිකය වක්‍ර බදු වැඩි කරලා රටේ සාමාන්‍ය පොදුජනතාව පීඩනයට ලක් කළා. වක්‍ර බදු වැඩි කළාට පස්සේ ඉතිරි ආදායම එකතු කරගන්න ණය ගත්තා. මේ ආර්ථිකය තමයි රාජපක්ෂවරු අනුගමනය කළේ. රජයට අපේක්ෂිත බදු ආදායම එකතු කරගැනීමට නොහැකිවීම තුළින් රට දෙවැනි වතාවටත් බංකොලොත්භාවයට ගමන් කිරිමක් පෙනෙන්න තිබෙනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment