රට පුරා මිනිස්සු අමාරුවේ දාන ත්‍රීවිල් මාෆියාව

4491

ත්‍රීවීල් නියාමනයේ හිල්

මහනුවර ත්‍රීවීල්වල යන්න එපා තානාපති කාර්යාල විදේශිකයින්ට දෙනුම් දෙයි…

ත්‍රිරෝද රථ රියැදුන් ගයිට්ල එකතු වෙලා මහානායක හාමුදුරුවොත් විකුණති…

අනුරපුර ත්‍රිරෝද රථකරුවන් හමුදා සෙබළුන්වත් සුද්ද කරයි…

පිටකොටුවේ ත්‍රීවීල් මහ රෑට ගණිකා ගුබ්බෑයම්…

රට පුරා ඇතැම් ත්‍රිරෝද රථකරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට උපන් හපන්නු…

ත්‍රිරෝද රථ මගී ප්‍රවාහනයට සුදුසු බව තවම පිළිගෙන නෑ…

ත්‍රිරෝද රථය හඳුන්වනුයේ දුප්පතාගේ වාහනය ලෙසය. ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන්ගේ මගඩි නිසා ‘දුරාචාරයේ වාහනය’ ලෙස ද ත්‍රිරෝද රථය හැඳින්විය හැකිය. ත්‍රිරෝද රථ රියැදුරන් බහුතරය ගහන තරමක් ‘ගේම්’ ය. කරන තරමක් හොරකම් ය. මහනුවර නගරයේ ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් මහානායක හාමුදුරුවෝ ද මුදලට විකුණන හිරිකිත, නින්දිත සිද්ධියක් ගැන අපට වාර්තා විය. මෙරට බෞද්ධ ශාසනයට නායකත්වය ලබාදෙන මහානායක හිමිවරුන්වත් විදේශිකයන්ට විකුණන නින්දිත ගනුදෙනුව සැලවීමත් සමඟ මගේ සිත තිගැස්සිණි. එම ගනුදෙනුවට චීවරධාරීනුත් කොටස්කරුවන් වී සිටින බව සැල වූ විට හදවත කකියවන්නට ගත්තේ ය. එහෙයින් පසුගිය දිනෙක මහනුවරට ම ගොස් එම සිද්ධියේ ඇතුළාන්තය සහ නුවර ත්‍රිරෝද රථ රියැදුරන්ගේ අකටයුතු කම් ගැන අපි සොයා බැලුවෙමු.

මහනුවරට පැමිණෙන බොහෝ විදේශීය සංචාරකයන් මහානායක හාමුදුරුවෝ බැහැදැක කතාබහ කිරීමට කැමතිය. ඒ ගැන දැනුවත් ත්‍රිරෝද රථ රියැදුරන් සහ නුවර වැව රවුමේ රස්තියාදු වෙන ‘ගයිඩ් කපුටන්’ එකී විදේශිකයන්ව නුවර පැරැණි විහාරස්ථානයකට කැඳවාගෙන ගොස් වියපත් භික්‍ෂූන්වහන්සේ නමක් සමඟ කතාබහ කිරීමට සලස්වති. එම ඩීල් එකේ හවුල්කාරයෙක් වන හාමුදුරුවො කතා කරමින් සිටින විට සංචාරක මඟපෙන්වන්නා (ගයිඩ්) විසින් විදේශිකයන්ගේ අතට පොතක් ලබා දී විහාරස්ථානයට ආධාරයක් ඉල්ලයි. ආධාර පොතේ සඳහන් ආකාරයට ලැබී ඇති සියලුම පරිත්‍යාග රුපියල් 5000 ට වැඩිය. එම පොත පෙරළන විදේශිකයන් රුපියල් පන්දහසකට වැඩි මුදලක් පරිත්‍යාග වශයෙන් ලබාදෙන්නේය. හාමුදුරුවෝ පිරිත් සජ්ජායානා කොට ලනු පටක් වැනි පිරිත් නූලක් විදේශිකයන් අත බඳින්නාහ. අනතුරුව එම සංචාරකයන්ට විහාරස්ථානය නැරැඹීමට සලස්වන ගයිඩා සහ ත්‍රිරෝද රථ රියැදුරු භික්‍ෂූන්වහන්සේ සමීපයට ගොස් ආධාර මුදල බෙදාගන්නාහ. ත්‍රිරෝද රථ රියැදුරු එම විදේශිකයන්ව තවත් වටේ ඇවිද්දවා රුපියල් දෙතුන්දහසක් ගරා ගන්නේය. එමෙන්ම මත්ද්‍රව්‍ය සොයන විදේශීය සංචාරකයන් තම සිතැඟි ඉටු කරගැනීමට නුවර නගරයේදී කුලී ත්‍රිරෝද රථකරුවන්ගේ සහාය පතන බව ද වාර්තා වේ. සුද්දන් ඉල්ලන ඕනෑම මත්ද්‍රව්‍යයක් සොයාදීමට මහනුවර නගරයේ ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් පසුබට නොවන බව ද වාර්තා වේ. එමෙන්ම විදේශීය සංචාරකයන්ව නිවෙස්වලට රැගෙන ගොස් බිරිඳ සමඟ ලිංගිකව එකතුවීමට ඉඩ හැර මුදල් උපයන කාලකණ්ණි ත්‍රිරෝද රථ රියැදුරන් ද මහනුවර සිටින බව වාර්තා වේ. පිටිසර ගම්මානවල දිළිඳු පවුල්වල තරුණියන්ව රවටාගෙන නගරයට රැගෙනැවිත් සල්ලාල විදේශිකයන්ට මුදලට විකිණීම, ගණිකා ගුබ්බෑයම්වලට විකිණීම නුවර ජයට කෙරෙන ව්‍යාපාරයකි. තරුණියන් පමණක් නොව, පුංචි කොල්ලන්ව සුද්දන්ට විකුණන බව මහනුවර නගරයේ ව්‍යාපාරිකයෙක් අපට පැවසීය.

“නුවර තියෙන්නෙ ත්‍රීවීල් මාෆියාවක්. ත්‍රීවීල් රියැදුරන්ට හිතූ ගණන් අය කරනවා. උදේට, දවල්ට, රෑට ගාස්තු තුනක්. මීටර් සවිකරන්න දෙන්නෙ නෑ. මීටර් ත්‍රීවීල්වලට හයර් කරන්න දෙන්නෙ නෑ. ත්‍රිරෝද රථ නැවතුම්පළවල් හදාගෙන තියෙන්නෙ පාර අවහිර කරගෙන. ඒවා ඉවත් කරන්න එන රාජ්‍ය නිලධාරීන්ට ගහන්න, බණින්න යනවා. එවැනි සිද්ධි පොලිසියට පැමිණිලි කළත් ඵලක් නෑ. ප්‍රදේශයේ දේශපාලනඥයන් ත්‍රීවීල් රියැදුරන්ගෙ පැත්ත අරගෙන සිද්ධිය යට ගහනවා. එහෙම වෙනකොට ත්‍රීවීල් රියැදුරන් තවත් උඩ යනවා. ත්‍රිරෝද රථයේ ගමන් කරන අය කියන දේ නෙමෙයි රියැදුරන් කරන්නෙ. වට වන්දනාවේ අරගෙන ගිහින් අන්තිමේ මහ ගණන් කියනවා. ගාණ වැඩියි කිව්වොත් මගීන්ට සත්තම දානවා. හොටෙල් එකකට ගිහින් දාන්න කිව්වොත් ත්‍රීවීල් රියැදුරන් අරගෙන යන්නෙ හොඳට ටිප් එක දෙන තැන්වලට. ගොඩක් හෝටල්, රෙස්ට්ටුරන්ට්වලින් ගනුදෙනුකරුවෙක් ගෙනිච්චම ත්‍රීවීල්කාරයාට රුපියල් 500 සිට 1500 දක්වා ටිප් එක දෙනවා. ගාණ තැනින් තැනට වෙනස් වෙනවා…” අනන්‍යතාවය තහවුරු කිරීමට, ඡායාරූප පළ කිරීමට, බියවූ හේ නුවර ත්‍රිරෝද රථ මාෆියාව ගැන තව බොහෝ දේ අපට කීවේය. එහෙත් හොටෙල්, රෙස්ට්ටුරන්ට්වලට ගනුදෙනුකරුවන් රැගෙන යන ත්‍රිරෝද රථ රියැදුරන්ට සන්තෝසමක් දෙනුයේ නුවර පමණක් නොවේ.
මෙරට බොහෝ නගරවල සිදුවෙන දෙයකි. එහි වරදක් අපි නොදකිමු. එහෙත් ත්‍රිරෝද රථ රියැදුරන්ට ටිප් එක දෙන ස්ථානයට ගනුදෙනුකරුවන් බලහත්කාරයෙන් රැගෙන යෑම අපි හෙළා දකිමු. එමෙන්ම මහනුවර නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ අනීතික ක්‍රියා නිසා මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට එම නගරයේ ත්‍රිරෝද රථවල ගමන් නොකරන ලෙසට තානාපති කාර්යාල මගින් උපදෙස් ලබා දී තිබෙන බව මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පසුගිය දිනෙක මාධ්‍යයට පවසා තිබිණි. විලිලැජ්ජය. ගෞතම බුදුරාජාණන් වහන්සේගේ වාම ධාතූන් වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව පිහිටා තිබෙන කන්ද උඩරට මහනුවර නගරය ජාත්‍යන්තරය ඉදිරියේ මේ ආකාරයෙන් හෑල්ලුවට ලක් වී තිබීම ගැන රටක් වශයෙන් අප කම්පා විය යුතුය. එහෙත් මේ සියලු අකටයුතුකම් කරනුයේ නුවර ත්‍රිරෝද රථ රියැදුරන් පමණක් නොව, වාර්තා වන ආකාරයට යාපනයේ හැර මෙරට සෙසු නගරවල ත්‍රිරෝද රථ රියැදුරන් කපුටන් ය. යාපනයේ ත්‍රිරෝද රථ රියැදුරන් ආගන්තුකයෙක් හයර් එකක් ගිය ද නියම ගාස්තුව පමණක් ගන්නා බවත්, කිසිදු වංචාවක් නොකරන බවත් වාර්තා වේ. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඇතුළු සෙසු දුරාචාරයන්වලට සම්බන්ධ ත්‍රිරෝද රථ රියැදුරන් යාපනයේ නැතැයි කීම මුසාවකි.

රට පුරා මිනිස්සු අමාරුවේ දාන ත්‍රීවිල් මාෆියාව

එමෙන්ම අනුරාධපුර ඓතිහාසික නගරය ත්‍රීවීල් මාෆියාවේ තෝතැන්නකි. උතුරු, නැගෙනහිර හමුදා කඳවුරුවල සේවය කොට මාස කිහිපයකට පසු නිවෙස්වලට යෑමට අනුරාධපුර නගරයට පැමිණෙන හමුදා භටයන්ට මහ රෑට ලිංගික ශ්‍රමිකයන් සොයාදීමට එම නගරයේ ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් ඉදිරිපත් වෙයි. ප්‍රථමයෙන් හිතවත් වෙන හමුදා භටයන් සමඟ මත්පැණින් සම්පායන් වෙන ත්‍රිරෝද රථ රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කරන අයට අවශ්‍ය මත සොයාදෙයි. දෙවනුව මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට නගරයෙන් එළියේ නිදහස් පරිසරයකට ගොස් හමුදා භටයන්ගේ පසුම්බියට විඳගෙන ත්‍රිරෝද රථ රියැදුරු පලා යන්නේ ය. ත්‍රිරෝද රථ රියැදුරන්ගේ එවැනි දීන ක්‍රියා නිසා නිවාඩුවට ගමට යෑමට පිච්චිය නැතිව අනුරාධපුර නගරයේ අනාථවෙන හමුදා භටයන් සුලබ බව විටින්, විට අපට වාර්තා වේ. එමෙන්ම අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට රුවන්වැලි මහාසෑය ආසන්නයට ත්‍රිරෝද රථ ගාස්තු වශයෙන් බැතිමතෙකුගෙන් රුපියල් 1500 ක මුදලක් ලබාගෙන ඇති සිද්ධියක් අටමස්ථානාධිපති වහන්සේට ආරංචි වී අනුරාධපුර ඩිපෝව සමඟ සාකච්ඡාකොට නගරයේ සිට අටමස්ථානයට බස් රථ දෙකක් ධාවනයට යොදවා ඇත. එහෙයින් අනුරාධපුර අටමස්ථානය වන්දනා කිරීමට යන බොහෝ බැතිමතුන් දැන් මංකොල්ලකාර ත්‍රිරෝද රථ රියැදුරන්ට හසු නොවෙති. ඉනිදු උරණ වී සිටින අනුරාධපුර ත්‍රිරෝද රථ රියැදුරන් අටමස්ථානයට ධාවනය වන බස් රථ දෙක නතර කිරීමට නොයෙක් අංචි අදින බව ද වාර්තා වේ. එමෙන්ම මාංශ වෙළෙඳාම ජයට කෙරෙන ගුබ්බෑයම්වලට කාන්තාවන් ගාල් කිරීම, ගනුදෙනුකරුවන් හඳුන්වාදීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ කොල්ලකෑම් අනුරාධපුර ත්‍රිරෝද රථ රියැදුරන්ට ද නොපුරුදු දුරාචාරයන් නොවේ.

ත්‍රීවීල් ජොබ් එකයි, ගණිකා ජාවාරමයි ගහට පොත්ත වැනිය. නුවරට, අනුරාධපුරයට පමණක් නොව මුළු ලංකාවට ම එය පොදු ය. කොළඹ නගරයේ මහරෑට ඇතැම් ත්‍රිරෝද රථ හදිසිකාරයන්ට ගණිකා මඩම් වන අයුරු අප දැක තිබේ. පිටකොටුවේ තැන තැන මහ රෑට ත්‍රීවීල්වල ගණිකාවන් තියාගෙන ගනුදෙනුකරුවන්ට විකුණන අයුරු අපි දැක ඇත්තෙමු. මහ රෑට පමණක් නොව දවස පුරා කොළඹ ගණිකාවන් ප්‍රවාහනය කරන ප්‍රධාන ප්‍රවාහන සේවය ත්‍රිරෝද රථයයි. හොරකම්, වංචා ඇතුළු විවිධ නීතිවිරෝධී ක්‍රියා කොළඹ ත්‍රිරෝද රථ රියැදුරන්ට ද ආගන්තුක නොවේ. කොළඹ බොහෝ ත්‍රිරෝද රථවලට මීටර් සවිකර තිබුණ ද ‘මීටරෙත්’ හොරට කරකවන රියැදුරන් සුලබය. අලුත්ගම සිට මාතර දක්වා සංචාරක කලාපවල සහ මීගමුව, බණ්ඩාරවෙල, ඇල්ල, නුවරඑළිය ඇතුළු විදේශීය සංචාරකයන් බහුලව ගැවසෙන බොහෝ ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියැදුරන් මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රධාන ව්‍යාපාරය බවට පත් කරගෙන සිටින බව වාර්තා වේ. විදේශිකයන් අහන සුනංගුවට මත්ද්‍රව්‍ය රැගෙනැවිත් දීමට ත්‍රිරෝද රථ රියැදුරන් වේගවත් ය. මුදල් ලැබේ නම් ඕනෑම පාදඩ ක්‍රියාවක් කිරීමට මෙරට ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් සැදී, පැහැදී සිටිති. හික්කඩුව, උණවටුන, සංචාරක කලාපවල පිහිටි බොහෝ ස්පාවලට කාන්තාවන් හඳුන්වා දෙනුයේ ද එම ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියැදුරන්ය. ඒ සඳහා ඔවුන් විශාල මුදල් අය කරන බව ද වාර්තා වේ. මීටරයට අකමැති දකුණු පළාතේ ත්‍රිරෝද රථ රියැදුරන් ද උදේට, දහවලට, රාත්‍රියට කුලී ගාස්තු තුනක් අය කරන බව වාර්තා වේ. නුවර, දකුණේ ත්‍රිරෝද රථකරුවන් පමණක් නොව මුළු රටේම ත්‍රිරෝද රථකරුවන් මීටර් සවි කිරීමට අකමැතිය. ඒ මීටර් සවි කිරීමත් සමඟ ඔවුන්ට මගීන්ව හූරාගෙන කෑමට තිබෙන අවස්ථාව අඩුවන නිසාය.

මෙරට නගරයක්, කඩ මණ්ඩියක් ගානේ මගී ප්‍රවාහනයට යොදා තිබෙන ත්‍රිරෝද රථ ධාවනය කරන රියැදුරන් විවිධ නම්වලින් සමිති, සමාගම් ගොඩනඟාගෙන තිබුණ ද මෙරට සමස්ත කුලී ත්‍රිරෝද රථ නියාමනයට තවම ආයතනයක් නැති බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් අප සමඟ පැවසුවේය. කුලී ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවය කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට නොහැකි වී ඇත්තේ ද ත්‍රිරෝද රථ සංගම්වල පොදු එකමුතුවක් නැති නිසා බව හේ අපට පැවසීය. එහි ප්‍රතිඵලයක් ලෙස පීඩා විඳිනුයේ ත්‍රිරෝද රථවල ගමන් බිමන් යන මගීන් බව අසේල සම්පත් වැඩිදුරටත් අපට පැහැදිලි කළේය.

රට පුරා මිනිස්සු අමාරුවේ දාන ත්‍රීවිල් මාෆියාව

“ත්‍රීවීල් හයර් කරන බහුතරය කොණ්ඩ, රැවුල් වවාගෙන, කනට කරාබු දාලා, ඇඟ පුරා පච්ච ගහලා, සිගරැට් බීගෙන තමයි පාක් එකේ ඉන්නේ. සමහර ත්‍රීවීල් රියැදුරන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා රිය ධාවනය කරනවා. ත්‍රීවිල් ඇතුළේ යකඩ පොලු, පිහි, මන්න තියාගෙන ඉන්නවා. මගී ප්‍රවාහනයට ආයුධ අවශ්‍ය නෑ නේ. එහෙම අය එක්ක මිනිස්සු ගමනක් යන්න කැමති නෑ. මීටර් ටැක්සිවල ගමන් බිමන් යන්න මගීන් කැමතියි. ඒත් මීටර් සවි කරන්න ත්‍රිරෝද රථ රියැදුරන් අකමැතියි. ඒ වගේම සමහර ත්‍රිරෝද රථවල තියෙන මීටර් රියැදුරන්ට ඕන විදිහට වෙනස් කරගෙන. ඒ බව ඔප්පු කරන්න මා ළඟ සාක්‍ෂි තියෙනවා. බස්නාහිර පළාතේ සියලු කුලී ත්‍රිරෝද රථ ලියාපදිංචි කරන ලෙසට පසුගියදා පුවත්පත් දැන්වීම් පළ කරලා තිබුණා. ඒත් තවම ලියාපදිංචියක් වුණේ නෑ. පුවත්පත් දැන්වීම් පළ කිරීමට වියදම් කළ මුදලත් නාස්තියක්. ඒ වගේම ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබිලා තියෙනවා. අදටත් ක්‍රියාත්මක වෙලා නෑ. ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවය නිසි නියාමනයකට ලක් නොවෙන නිසා තමයි මගීන් සහ ත්‍රිරෝද රථ රියැදුරන් අතර ගැටලු මතු වෙලා තියෙන්නෙ. රට පුරා ත්‍රිරෝද රථ රියැදුරන් ප්‍රසිද්ධියේ දුරාචාරවලට යොමු වෙලා ඉන්නෙත් තම වෘත්තියට නිසි නියාමනයක් නැති නිසා. විධිමත්, ගෞරවනීයභාවයක් නැති නිසා. ත්‍රිරෝද රථ කර්මාන්තය සංවර්ධනය කිරීමට ම පහුගිය කාලයේ ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට ගියා. අන්තිමේ මන්ත්‍රීවරයා කළේ ත්‍රිරෝද රථවලට විවිධ විසිතුරු ගැජට් කෑලි සවි කිරීමට අනුමැතිය ගත්ත එක විතරයි. ඒකෙන් මගීන්ට ඇති සෙතක් නෑ. ත්‍රිරෝද රථ රියැදුරුට යහපතක් ද නෑ. ඒකෙන් යහපතක් වෙලා තියෙන්නෙ ත්‍රීවීල්වලට විසිතුරු ගැජට් කෑලි ආනයනය කරන ව්‍යාපාරිකයන්ට විතරයි. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ. මේ රටේ මගී ප්‍රවාහනයේ යෙදී සිටින සෑම ත්‍රිරෝද රථයකටම මීටර් සවි කරන්න ඕනෑ. විශේෂයෙන්ම සංචාරක කලාපවල ත්‍රිරෝද රථවලට මීටර් සවිකරන්නම ඕනෑ. ඒ මීටර් නිසි නියාමනයකට ලක්වෙන්න ඕනෑ. ත්‍රිරෝද රථ මගී ප්‍රවාහනයට සුදුසු බව අදාළ ආයතනවලින් සමාජගත කරන්න ඕනෑ. මගීන් අපහසුතාවයට පත් කරන ත්‍රිරෝද රථ රියැදුරන් අත්අඩංගුවට ගෙන යම් දඩ මුදලක් අය කරන නීති ක්‍රියාත්මක කරන්න ඕනෑ. එහෙම නොවෙන්න කුලී ත්‍රිරෝද රථ සේවය සමාජයට බරපතළ හානියක් කරනවා…” අසේල සම්පත් නිහඬ විය.

මැරකම, ජඩකම, හොරකම, පිම්පි ජොබ් එක ඇතුළු සියලු දුරාචාරයන්වලින් සන්නද්ධ ත්‍රිරෝද රථ මාෆියාව මෙරටට පිළිලයකි. මේ පිළිලය මුළු රටම වෙලාගෙන අවසානය. මෙරට ත්‍රිරෝද රථ ලක්‍ෂ 12 ට ආසන්නය. එම සංඛ්‍යාවෙන් ලක්‍ෂ 7 ක් පමණ මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇත. වැඩිම ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් ධාවනය යෙදෙනුයේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ය. එහෙත් ත්‍රිරෝද රථය මගී ප්‍රවාහනයට සුදුසු බව ප්‍රවාහන අමාත්‍යාංශය, ගමනාගමන කොමිෂන් සභාව තවම පිළිගෙන නැත. ත්‍රිරෝද රථය තවම පවුලේ වාහනයක් පමණි. මේ පවුලේ වාහනය මගී ප්‍රවාහන මාධ්‍යයක් කරගෙන සිටින බහුතරය තරුණයන්ය. මෙරට ශ්‍රම බළකායේ සිටින ශක්තිමත් ම කණ්ඩායමයි. නිෂ්පාදන ක්‍ෂේත්‍රයට දායකත්වය ලබාදිය යුතු ශක්තිමත් තරුණ පිරිස ත්‍රිරෝද රථයක් හයර් කරමින් ගමේ කඩමණ්ඩියේ, නගරයේ රස්තියාදුවීම රටේ ම කාලකණ්ණිකමකි. එවැනි රටක සාමාජීය, ආර්ථිකමය දියුණුවක් බලාපොරොත්තු විය නොහැක.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment