පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ වෛද්‍යවරයකු ප්‍රධාන ආරාධිත අමුත්තන් වූ අනුරපුර ෆේස් බුක් සාදය

593

අයිස් ගංජා විතරක් නෙවෙයි මත් පෙතිත් විකුණලා

තරුණ තරුණියෝ දෙසියකට වැඩි පිරිසක් සහභාගි වෙලා

අනුරාධපුරය ප‍්‍රදේශයේ පදිංචි තරුණයෝ කීපදෙනෙක් දැනට සති කිහිපයකට ඉහතදී මත්පැන් පානය කරමින් මෙලෙස කතාබස් කළහ.

”අපිට හැමදාම මෙහෙම බිබී ඉන්න බැහැ.”

”ඔව් ඒක තමයි”

”අපි මොකක් හරි වැඩක් කරන්න ඕනා ඉක්මනින් සල්ලි ටිකක් හොයාගන්න.”

”ඒක නම් හොඳ අදහසක්.”

”ඉක්මනට සල්ලි හොයන්න මොකද්ද අපි කරන්නේ”

”දැන් සංචරණ නීති නැහැනේ. අපි දාමුද හොඳ ෆේස්බුක් පාටියක්.”

”අයිඩියා එක නම් හොඳයි.”

”ඒක තමයි. අපි සෙට්වෙලා හොඳ ෆේස්බුක් පාටියක් දාමු.”

”මේ තත්ත්වයත් එක්ක ඔය වගේ පාටි කරන්න පුළුවන්ද?”

”ඇයි කරන්න බැරි.”

”අපේ ඒරියා එකේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීව ගෙන්නමු. ඒක මට කරන්න පුළුවන්. මොකද මිනිහට අපි හොඳට වැඩ කළා. ඒක නිසා මම කියන ඕන දේකට මිනිහා එකඟයි.”

”කවුද අපේ න….. ද?.”

”ඔව්… ඔව්… එයා තමයි. මිනිහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වුණාට අපි වගේ කන බොන කෙනා.”

”ඔව් අපි ඒක දන්නවා. මිනිහා හොඳ නළුවානේ.”

”ඒවායින් අපිට වැඩක් නැහැ. මම ලොක්කාව සෙට් කරගන්නම්.”

”පුළුවන්ද.”

”පුළුවන් නිසානේ කියන්නේ.”

”එහෙම නම් ඉතින් මොන ප‍්‍රශ්නද?”.

”අපි හොඳ ෆේස්බුක් පාටියක් දාමු.”

”අනිවාර්යෙන්ම. ඉක්මනටම අපි ඒක සූදානම් කරමු.”

”කොහෙද ඉතින් ඕක තියන්නේ.”

”වෙන කොහෙද?. අපේ ඒරියා එකේ තියෙන හොඳම හෝටලය දන්නවනේ. ඒකෙ තියමු. මම ලොක්කාට කතා කරන්නම්.”

”මිනිහා කැමති වෙයිද?.”

”ඇයි අකමැති වෙන්නේ. අපේ මන්ත‍්‍රීතුමා එනවා කිවුවහම මිනිහා එකෙන්ම කැමති වෙයි.”

ඒ අනුව එම පිරිස අනුරාධපුර නගරයේ ප‍්‍රසිද්ධ හෝටලයක ෆේස්බුක් සාදයක් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කළහ. ඒ සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් තරග වැදුණු තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට සහ වෛද්‍යවරයකුට ද ආරාධනා කළහ. එම ආරාධනාව ඉහළින් පිළිගත් තරුණ මන්ත‍්‍රීවරයා සහ වෛද්‍යවරයා එම සාදයට අනිවාර්යෙන්ම සහභාගි වන බව දැන්වූහ.

සංවිධායක පිරිස අනුරාධපුරයේ පැවැත්වෙන එම ෆේස්බුක් සාදය පිළිබඳ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල ප‍්‍රචාරයක් ලබා දුන්හ. එම ප‍්‍රචාරයට අනුව එයට සහභාගි වීම සඳහා තරුණ තරුණියෝ විශාල පිරිසක් කැමැත්ත දක්වා තිබුණහ.

සංවිධායක පිරිස පසුගිය දොළොස් වැනි දා සාදය පැවැත්වීම සඳහා දින නියම කර ගත්හ. ඒ අනුව අනුරාධපුර පිහිටි එම ප‍්‍රසිද්ධ හෝටලය එදින ඔවුන් වෙන්කර ගත්හ. සාදය පැවැත්වීමට දින දෙකකට පමණ පෙර සංවිධායක පිරිස රැස්වී යළි මෙලෙස කතාබස් කළහ.

”දැන් අපේ වැඩ ගොඩක් අවසන්. මේ සාදය ගැන බයවෙන්න දෙයක් නැහැ.”

”ඇයි එහෙම කියන්නේ. කවුරුහරි මේ පිළිබඳව පැමිණිලි කළොත්.”

”ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. අපේ මන්ත‍්‍රීතුමා එනවා කිවුවහම පොලිසියත් එන එකක් නැහැ. එයා එක්කම අපේ ඩොක්ටර්ත් එනවනේ.”

”ඔව් ඒක නම් ඇත්ත.”

”කොල්ලො කෙල්ලො 300 ක් විතර එන පාටක් තියෙන්නේ.”

”ඔව් ඔව් රට වටේම කෙල්ලො කොල්ලො සෙට් වෙලා ඉන්නෙ දැනටම.”

”අපි ටිකට් එකේ ගාණ වැඩි කරමු.”

”ඔව් ඒක හොඳයි.”

”කීයක් විතර අය කරමුද?”

”පාටියට සහභාගී වන එක් අයෙකුගෙන් රුපියල් 3500 ගාණේ ගමු.”

”ගාණ වැඩි නැද්ද .?”

”මොන වැඩියක්ද? මේ වගේ පාටිවලට එන්නේ හොඳට සල්ලි තියෙන කොල්ලෝ කෙල්ලෝ.”

”ඔව් ඔව් ඒක ඇත්ත. ඒ ගාණ වැඩි නැහැ.”

”එන කාටවත් ඇතුළට මත්පැන්, මත්ද්‍රව්‍ය ගේන්න දෙන්න බැහැ. ඒ සේරම අපි තමයි විකුණන්න ඕනා.”

”ඔව් ඔව්. අපිට හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන් එන අයට ඒවා විකුණලා තමයි.”

”දැන් මොනවද අපි ඇතුලේ විකුණන්නේ.”

”තියෙන හැම එකක්ම විකුණන්න ඕනා.”

”ඔව් ඔව් එකෙන් තමයි අපිට ලොකු ලාභයක් ගන්න පුළුවන්.”

”ඒ ගැන බය වෙන්න එපා. අයිස්, ගංජා, මුද්දර සහ නැටුම් පෙත්තේ ඉඳන් හැම එකක්ම අපේ ඞීජේ පාටියේ තියනවා.”

”එහෙමද?”

”ඔව් ඒ සියල්ල මං සූදානම් කරලා තියෙන්නෙ. අදාළ වෙලාවට අපිට බඩු ටික ලැබෙයි.”

”එක නොවෙයි අපිට තව කොල්ලෝ ටිකක් හොයාගන්න වෙයි එදාට වැඩවලට.”

”ඒ ගැන මම බලා ගන්නම්. ඕන කොල්ලො ගාණ කියන්න එච්චරයි.”

”එහෙනම් ඒ ප‍්‍රශ්නෙත් ඉවරයි.”

”ඒක නොවෙයි එදාට අපේ මන්ත‍්‍රීතුමා එයිද?”

”ඇයි එන්නේ නැත්තේ. මම කිව්වොත් මොන දෙයක් කරනවා. ඒ ගැන බය වෙන්න එපා. මම ඊයේ කෝල් කරල මතක් කළා.”

”එතකොට ඩොක්ටර්.”

”මිනිහා එකෙන්ම එනවා. මොකද පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුමා එනවා නේ. ”

”එහෙනම් අපේ මූලික වැඩ කටයුතු ටික ඉවරයි නේද”

”ඔව් ඔව් ඒ ටික ඉවරයි.”

”එහෙනම් කට්ටිය අනිද්දා හෝටලේට එන්න ටිකක් වේලාසනින්. තව එකක් තමන්ට පවරපු රාජකාරි කිසිවක් අමතක කරන්න එපා.”

නියමිත දිනය උදා විය. සංවිධායක පිරිස සවස් වරුවේ එම හෝටලයට පැමිණ ඞීජේ පාටිය පටන් ගැනීම සඳහා අවශ්‍ය දෑ සූදානම් කළහ. එහිදී ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය වී තිබුණේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමයි. කොටින්ම කියතොත් මෙය අන්තර්ජාලය හා සම්බන්ධ වී පවත්වනු ලබන මත්ද්‍රව්‍ය සාදයකි.

සවස හය පමණ වන විට නන්දෙසින් විවිධ ආකාරයේ තරුණ තරුණියෝ මෙම මත්ද්‍රව්‍ය සාදයට සහභාගිවීම සඳහා පැමිණියහ. එලෙස පැමිණෙන අයෙකුගෙන් ඇතුල්වීම සඳහා රුපියල් 3500 මුදලක් ලබාගැනීමට සංවිධායක පිරිස කටයුතු කළහ. එලෙස මුදල් ගෙවූ පසු ඔවුන් හඳුනාගැනීම සඳහා කහ පැහැති අත් පළඳනාවක් දීමට එම පිරිස කටයුතු කළහ. සවස හත වන විට එම මත්ද්‍රව්‍ය සාදය සඳහා දෙසීයකට අධික තරුණ තරුණියෝ පිරිසක් පැමිණ සිටියහ. එයින් බහුතරයක් වයස අවුරුදු 30 ට අඩු අය විය.

මත්ද්‍රව්‍ය සාදය පටන් ගැනීමට මොහොතකට පෙර අනුරාධපුර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන තරුණ මන්ත‍්‍රීවරයා සහ වෛද්‍යවරයා ද පැමිණියේය. සංවිධායක පිරිස ඉතා ගරු සරු ඇතිව එම ආරාධිත දෙපළ පිළිගත්හ. ඉන්පසු ඔවුන්ගේ ප‍්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය සාදය පටන් ගත්හ.

සාදයේ සිටි තරුණ තරුණියන්ට භාවිතා කිරීම සඳහා අයිස්, කේරළ ගංජා, මත් පෙති, මත් මුද්දර ඇතුළු විවිධ ගනයේ මත්ද්‍රව්‍ය තිබුණි. ජාවාරම්කරුවන් ඒවා විකුණුවේ ඉතා අධික මිල ගණන් යටතේය.

සාදයට සහභාගි වූ තරුණ තරුණියෝ මිල ගණන්වල තැකීමක් නොකර තමන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය මිලදී ගෙන භාවිතා කළහ. එම මත්ද්‍රව්‍ය සාදයට සහභාගි වී සිටියේ හිසකෙස් පාට කරගත්, වවාගත්, ඇඟ පුරා පච්ච ගසා ගත්, විවිධ මාදිලියේ ඇඳුම් ඇඳගත් සහ හිපියන් මෙන් තරුණ තරුණියන් පිරිසකි. පැය කිහිපයක් ගත වූ පසු එම පිරිස මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කර හැසිරුණේ සිහිය විකල් වූ අය ලෙසින්ය.

ජනතාවගේ ඡන්දයෙන් ජනතාවට සේවය කිරීමටයි පවසමින් පාර්ලිමේන්තුවට පැමිණි නවක තරැණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සහ ජනතාවගේ මුදල්වලින් අධ්‍යාපනය හැදෑරූ වෛද්‍යවරයා එම සාදයේ තරුණ තරුණියන් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පිස්සු කෙළින අයුරු දැක ඉතාමත් සතුටු වූහ. සිදු විය යුතුව තිබුණේ එය නොව අවංකව ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පැමිණියා නම් එම මන්ත‍්‍රීවරයා කළ යුතුව තිබුණේ වහාම මෙම සාදය නවතා දමන ලෙස සංවිධායක පිරිසට පැවසීමයි. එහෙත් ඔහු එසේ සිදු කළේ නැත. රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ තරුණියන් එලෙස නීති විරෝධී මත්ද්‍රව්‍ය පානය කරන අයුරු බලා සිටිමින් ඔහු සහ වෛද්‍යවරයා වින්දනයක් ලැබුහ.

මත්ද්‍රව්‍ය සාදය ජයටම පවත්වාගෙන ගියේය. ඒ අතර මෙම සාදය පිළිබඳව අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශයට දැනගන්නට ලැබුණි. එලෙස දැන ගැනීමත් සමග පොලිස් නිලධාරීන් හතළිහකට ආසන්න පිරිසක් පැමිණ අනුරාධපුර සුපිරි හෝටලයක පැවති මෙම සාදය වැටලූහ. එලෙස වටලා අයිස්, කේරළ ගංජා, මත් පෙති, මත් මුද්දර ඇතුළු විවිධ ගණයේ මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූහ. ඒ සමගම මෙම මත්ද්‍රව්‍ය අලෙවි කළ ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය සාදය සංවිධානය කළ හත් දෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අත්අඩංගුවට ගත්හ.

එලෙස පොලිසිය පැමිණි පසු තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සහ වෛද්‍යවරයා තමන් මෙම සාදයට පැමිණියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස යැයි පවසමින් හෙමින් සීරුවේ එම ස්ථානයෙන් මාරු විය.

අනුරාධපුර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන එම තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගෙන් ඇසිය යුතු එකම එක ප‍්‍රශ්නයක් තිබේ. එනම් ඔබ එම මත්ද්‍රව්‍ය සාදයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ රෙදි ඇතුවද නැතුවද යන්නයි. එයට සහභාගි වූ වෛද්‍යවරයාට ද මෙය අදාළ වේ.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ජයන්ත පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment