රෝහල් අධ්‍යක්‍ෂවරයා – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කඹ ඇදිල්ලක
රත්නපුර ඩෙංගු රෝගීන් ගණන 1300 ඉක්මවයි
දුමායනය ගැන පම්පෝරි ගැහුවත් නිසි ලෙස කෙරෙන්නේ නෑ – ප්‍රදේශවාසීහු
සෞඛ්‍ය අංශවලට පමණක් තනිව කරන්න බෑ සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර
රත්නපුර රෝහල තුළ, එම සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිල නිවාසය හා ඒ අවට ප්‍රදේශවල සති 3ක් තුළ හිස ඔසවා තිබෙන ඩෙංගු තත්ත්වය මැඩපැවැත්වීමට රෝහල් බලධාරීන් නිසි ලෙස ක්‍රියාකර නැතැයි එම රෝහල් සේවකයෝ සහ ප්‍රදේශවාසීහු චෝදනා එල්ල කර සිටිති.
රෝහල් අධ්‍යක්ෂවරයා සහ රත්නපුර ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු අතර ඩෙංගු පාලනය සම්බන්ධයෙන් කඹ ඇදිල්ලක් පවතින බව ද ඔවුහු චෝදනා කර සිටිති.
ගතවූ සති තුන තුළ රත්නපුර රෝහල් කාර්ය මණ්ඩලයේ 170කට අධික සංඛ්‍යාවකට ඩෙංගු වැලඳී ඇති බවත්, ඔවුන්ගේ නිල නිවාසවල සිටින පවුල්වල සාමාජිකයන් රැසකට ද, රත්නපුර රෝහල් පරිශ්‍රය තුළ ඉදිවෙමින් පවතින වෛද්‍ය විද්‍යාල මහාචාර්ය ඒකක ගොඩනැඟිල්ලේ කම්කරු සේවකයන් 60කට අධික පිරිසකටද ඩෙංගු වැලඳී ඇතැයි ද එම රෝහල් සේවකයෝ කියා සිටියහ.
රත්නපුර රෝහලේ රාත්‍රී කාලයේ සේවයේ යෙදෙන විට මදුරුවන් රැසක් නිරීක්ෂණය වන බවත්, එය ඉතා අවදානම් තත්ත්වයක් බවත් ඔවුහු කීහ.
ඩෙංගු තත්ත්වය පාලනය නොකළහොත් රත්නපුර රෝහලේ මුළු කාර්ය මණ්ඩලයම ඩෙංගු මදුරුවාගේ ග්‍රහණයට ලක්ව රෝහලේ වැඩ කටයුතුවලට බාධා එල්ලවනු ඇතැයි ද ඔවුහු කියා සිටියහ. ඩෙංගු තත්ත්වය රත්නපුර නගරයේ පාසල්වල සිසු දරු දැරියන්, ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ද දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බව ද නගරවාසීහු කියා සිටිති. දුමායන කටයුතු දිනපතා සිදුවන බවට බලධාරීහු පම්පෝරි ගැසුවත් එය නිසියාකාරව සිදු නොවන බව නගර වැසියෝ චෝදනා කර සිටිති. රත්නපුර ඩෙංගු අවදානම මැඬලීමට සෞඛ්‍ය අංශ මීට වඩා දැඩි ක්‍රියා මාර්ග ගත යුතු බව ද ඔවුහු පෙන්වා දෙති. එසේ නොවුනහොත් ඉදිරි සති කිහිපය ඇතුළත තවත් ඩෙංගු රෝගීන් වැඩිවී මරණ ද වාර්තාවනු වැළැක්විය නොහැකි බව ද නගරවැසියෝ සඳහන් කර සිටිති. අප මේ ගැන සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතාගෙන් විමසූවිට කියාසිටියේ රත්නපුර හිස ඔසවා ඇති ඩෙංගු තත්ත්වය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශ උපරිමයෙන් ක්‍රියාකරන බවය. කෙසේ වෙතත්, මෙය සෞඛ්‍ය අංශවලට පමණක් තනිවම කළ හැකි දෙයක් නොවන බවත්, ඒ සඳහා ජනතාවගේ සහයෝගය ද ඉතා අවශ්‍ය බවත් හෙතෙම කීය.
ප්‍රදිප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා