රන්මහ සටන ජය පැරදුමෙන් තොරයි

15

කොළඹ මහානාම හා ඩී. එස්. සේනානායක යන දෙවිදුහල් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී 19 වැනි වරටත් පැවැති රන්මහා සටන ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මහානාම විදුහල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 78කදී සියලු දෙනා දැවී ලකුණු 235ක් ලබාගත්තේය.

එහිදී කවිරු පෙරේරා ලකුණු 77ක් ද ගිමන්ත දිසානායක ලකුණු 56ක් ද ලබාගත්හ. එහිදී ඩී. එස්. සේනානායක විදුහලේ ශනෙල් බිනුෂ්ක කඩුලු 5ක් දවා ගත්තේය. ඩිලාෂ් කුමාරනායක හා දහම් නිර්මාල් අතර කඩුලු 2 බැගින් බෙදීගියහ.

අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ ඩී. එස්. සේනානායක විදුහල් කණ්ඩායම පන්දුවාර 72.2 කදී සියලු දෙනා දැවී ලකුණු 249ක් ලබා ගත්තහ. එහිදී චනුල් ලකුණු 73ක් ද චිතුම් බැද්දගේ ලකුණු 48ක් ද ලබාගත්තහ. එහිදී කොළඹ මහානාම විදුහලේ සිතුම් විහඟ කඩුලු 4ක් ද අනුක විජේවර්ධන කඩුලු 2 ක් දවාගත්හ.

අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ මහානාම විදුහල පන්දුවාර 54 කදී කඩුලු 7ක් දැවී ලකුණු 271 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය.

එහිදී චාමික හීනටිගල නොදැවී ලකුණු 69 ක් ද දුල්නිත් සිගේරා ලකුණු 65 ක් ද දිනෙත් වීරරත්න ලකුණු 50 ක් ද ලබා ගත්හ. චිතුම් බැද්දගේ සහ ඩිලාෂ් කුමාරනායක අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

අනතුරුව ලකුණු 250 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විදුහල තරගයේ තුන්වැනි සහ අවසන් දිනය නිමාවන විට පන්දුවාර 49 කදී කඩුලු 8ක් දැවී ලකුණු 127ක් ලබාගෙන තිබිණි.

එහිදී රන්දීනු බණ්ඩාරනායක ලකුණු 38ක් ලබා ගත්තේය. අනුක් විජේවර්ධන කඩුලු 3ක් දවා ගත්තේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment