තරුෂිගේ වාර්තාව සමග තවත් වාර්තා 6ක්

497

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ ඊයේ (24) නව තරග වාර්තා 06 ක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම කැපී පෙනුණි. ඒ අනුව මෙවර තරගාවලිය ආශ්‍රිතව සටහන් වූ නව තරග වාර්තා සංඛ්‍යාව 07 කි.

අවුරුදු 20 න් පහළ බාලිකා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් නොනැවතුණු ජාත්‍යන්තර ක්‍රීඩිකාවක වන තරුෂි කරුණාරත්න ඊයේ (24) දිනයේදී නව වාර්තාවක් බිහි කිරීමට සමත් වූවාය. ඒ තම ඉසව්ව තත්.53.21 ක තරග කාලයකින් අවසන් කරමිනි.

පසුගිය වසරේ සුගතදාස ක්‍රීඩාංගණයේ දී තමන් විසින්ම පිහිටුවා තිබුණු තත්. 54.22 ක තරග වාර්තාව අලුත් කරමින් කැපී පෙනෙන්නට ඒ අනුව වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලේ තරුෂි කරුණාරත්නට හැකි වූවා ය.

පොළොන්නරුව, ලංකාපුර ගල්අමුණ මහා විදුහලේ කවීෂ චතුමිණ කරුණාරත්න වසර 11ක් පැරණි වාර්තාවක් බිඳ හෙළීමට සමත් වීම ද ඒ අතරේ කැපී පෙනුණි.

අවුරුදු 20 න් පහළ බාලක දුර පැනීමේ රන් පදක්කම දිනා ගත් කරුණාරත්න පිහිටුවන ලද නව තරග වාර්තාව මීටර් 7.52 කි.

2012 වසරේ රත්නපුර කුමර විදුහලේ ඩබ්ලිව්. කේ. එම්. උදය කුමාර විසින් පිහිටුවා තිබුණු මීටර් 7.38 ක වාර්තාව ඒ අනුව බිඳ වැටුණි.

මීට අමතරව කොළඹ විශාඛා විදුහලේ ඩිල්කි දෙව්මිණී කරුණාරත්න (අවුරුදු 14 න් පහළ බාලිකා යගුලිය දැමීම – මීටර් 11.47), බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ තෙවිදු සංදිල් (අවුරුදු 18 න් පහළ බාලක දුර පැනීම – මීටර් 7.27), වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ධනංජනා ප්‍රනාන්දු (අවුරුදු 16 න් පහළ බාලිකා මීටර් 100 -තත්: 12.62), වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දිලිනි නෙත්සලා රාජපක්ෂ (අවුරුදු 14 න් පහළ බාලිකා දුර පැනීම- මීටර් 5.66) නව තරග වාර්තා බිහි කළහ.

පානදුර රාජකීය විදුහලේ ජයවි රන්හිද අල්විස් වයස 20 න් පහළ යගුලිය දැමීම ඉසව්වේ දී මීටර් 16.64 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් පළමු වාර්තාව බිහි කිරීමට පෙරේදා (23) සමත් වූයේය.


ඡායාරූප කමල් වන්නිආරච්ච්

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment