ලොවක් දන්න පණ්ඩුලගේ රටක් නොදන්න කතාව
මෙවර Wild-Eye කතානායකයා වනජීවී ඡායාරූපකරණය ඇතුළු කලාත්මක ඡායාරූපකරණයේ දැවැන්තයෙකි. දැවැන්තයකු යන්නෙන් අප අදහස් කරන්නේ ඔහු ඡායාරූපකරණයේ නිරත ඡායාරූප ශිල්පියකු පමණක් නොව ජාත්‍යන්තර තලය ජයගත් ප්‍රවීණ ඡායාරූප තරග විනිසුරුවරයකු ලෙසද ඔහු ජාත්‍යන්තරයේ වැජඹෙන නිසාය. ඔහු නමින් පණ්ඩුල බණ්ඩාර ය. අප වඩාත් හොඳින් ඔහුව හඳුන්වා දෙනවා නම්, ඔහු ආචාර්ය පණ්ඩුල බණ්ඩාර ය. අප දන්නා පරිදි ඡායාරූපකරණය නමැති විෂය සම්බන්ධයෙන් පළමු වරට ආචාර්ය උපාධියක් හිමිකරගත් ශ්‍රී ලාංකික ඡායරූප ශිල්පියා ඔහුය. සැබෑව නම්, ඡායාරූපකරණ විෂයෙහි තවත් ආචාර්ය උපාධිධරයකු ශ්‍රී ලංකාවේ හෝ කලාපයේම නොමැති බව අපට මේ වන විට ලැබෙන තොරතුරුවලින් අනාවරණය වීම ය. අප එසේ කියන්නේ පණ්ඩුල බණ්ඩාර ආචාර්ය උපාධිය හිමිකරගෙන තවමත් වැඩිකලක් නොමැති වීම නිසා එය සනාථ කරගන්නට උදව්වක් වන නිසාය. එසේම, මෙම අධ්‍යාපන සුදුසුකම ලබන්නට ප්‍රථම ඔහු ඡායාරූපකරණයේ පශ්චාත් (මාස්ටර්ස්) උපාධි 11 ක් හිමිකරගෙන තිබීම ගැනද අප මෙහිදී සිහිපත් කළ යුතුය.
මෙනිසාම සහ අන්තර්ජාලය ඔස්සේ ඔහු විසින් රට රටවල් අතර අන්තර්ජාතික ඡායාරූප සංගම් සමග පවත්වාගෙන යනු ලබන සම්බන්ධතා නිසාම පණ්ඩුල බණ්ඩාර යනු පෙරකී පරිදි ජාත්‍යන්තරය පිළිගත් ඡායාරූපකරණ විනිසුරුවරයෙක් බවද සිහිපත් කළ යුතුය. මේ සියල්ලටත් වඩා වනජීවී සහ කලාත්මක ඡායාරූපකරණ අංශයෙන් ජාත්‍යන්තර රන් පදක්කම් දහසක් (1000) ක් ඉකුත්දා සම්පූර්ණ කිරීමත් සමග රටටත් වඩා ඔහු ගැන ලෝකයක් කතාකරනු පෙනේ. මේ සමග මේ වන විට ඔහු විසින් ඡායාරූපකරණයට අදාළව ලබාගත් රන්-රිදී-ලෝකඩ පදක්කම් ප්‍රමාණය 3600 සීමාව පසුකර යෑමත් නිසා ඔහු අභිබවන්නට ලංකාවේ නොව, දකුණු ආසියාවේ නොව, ආසියාවේ-අප්‍රිකාවේ-යුරෝපයේ-ඇමෙරිකාවේ-ඔස්ට්‍රේලියාවේ යන කුමන මහාද්වීපයකවත් ශිල්පියකු නොවන තැනට කප් පිට කප් ගසා ලෝක වාර්තාවක් අභියස සිටින අපේ දේශයේ, අපේ කාලයේ ඡායාරූප කලාශිල්පියා ගැන කතාකරන්නට අද අප නිහතමානීව Wild-Eye විශේෂාංගය ඔහු වෙනුවෙන් වෙන්කරන අතර, ඉතා නුදුරේදීම ඔහු විසින් දිනාගැනීමට නියමිත “ගිනස් වාර්තාව” ටද සුබපතමින් මෙසේ ඔහු සමග පිළිසඳර ආරම්භ කරන්නෙමු.
පණ්ඩුල දෙවැනි ඡායාරූප ආචාර්ය උපාධිය ලබා
මාධ්‍ය වාර්තා කළ පරිදි, “ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ වනජීවී සහ කලාත්මක ඡායාරූප ශිල්පියකු සහ ජාත්‍යන්තර ඡායාරූප තරග තීරකයකු වන ආචාර්ය පණ්ඩුල බණ්ඩාර මහතා ඉකුත්දා පැවති 10th German International Photocup-2025 තරගයේදී රන් පදක්කමක් දිනාගනිමින් ඡායාරූපකරණය සඳහා ජාත්‍යන්තරයෙන් පිරිනැමෙන රන් පදක්කම් 1000 ක සීමාව සනිටුහන් කළේය.” ඔහුගේ පුවත ජනතාව අතරට ගියේය.
ජයසූරිය මුදියන්සේලාගේ පණ්ඩුල වාශිෂ්ක ජයසූරිය බණ්ඩාර නොහොත් පණ්ඩුල බණ්ඩාර දෙල්ගොඩ-උඩුපිල ඉපිද, රාජ්‍ය සේවයේ නියුතු තම පියා වූ ගාමිණී බණ්ඩාරගේ රාජකාරි දිවිය අනුව මූලික අධ්‍යාපනය ලබන්නේ ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. 1988-89 වසරවල විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ක්‍රීඩා නායකයා ලෙසද කටයුතු කරන පණ්ඩුල යුද්ධය ඇවිල යමින් තිබුණු වකවාණුවක 1990 දී ශ්‍රී ලංකා යුද හමුදා සේවයට එක්වන්නේ පාසල් අධ්‍යාපනයටද කළින්ම සමුදෙමින් සහ දෙමාපියන්ගේද නොකැමැත්ත තිබියදීය. කැඩෙට් නිලධාරියකු ලෙස හමුදා රාජකාරිය ආරම්භ කරන තරුණ පණ්ඩුල බණ්ඩාර, එතැන් පටන් කපිතාන්වරයකු ලෙස කටයුතු කරමින් සිට 1997 දී හමුදා සේවයෙන් ඉවත් වන තුරුම යාපනය, අලිමංකඩ, පුනරීන්, වෙත්තිලයිකර්නි, පුලියන්කුලම, චාවාකච්චේරි, මන්නාරම වැනි කොටි බලකොටු අතර රාජකාරි කරමින් යාල්දේවි, රිවිරැස, ජයසිකුරු, ග්‍රීන් බෙල්ට් වැනි ජයග්‍රාහී හමුදා ක්‍රියාන්විත රැසකට දායක වෙමින් රට-දැය රැකගන්නට තම අනුපමේය දායකත්වය ලබාදුන් වීරෝධාර රණවිරුවෙකි.
ඔහු සමග අපගේ කතාබහ සිදුකෙරුණේ යුද බලකොටුවක් සිහිගන්වන වට තාප්පයකින් සමන්විත ඔහුගේ දෙල්ගොඩ පිහිටි නිවසේදී ය. වැඩිමනත් බැලූ බැල්මට “ජුවලරියක්” සිහිගන්වන ඔහුගේ පදක්කම් 3600 පිරි කන්තෝරු කාමරේය. බොහොම රසවතකු වන පණ්ඩුල බණ්ඩාර ආගන්තුක සත්කාර මධ්‍යයේ ඔහුගේ දහස් (1000) වැනි රන් පදක්කම සහ ඡායාරූපකරණ ආචාර්ය උපාධිය ගැන අප සමග දොඩමළු වුණේ මෙලෙස ය.
“මම ඇත්තටම අහම්බයෙන් ඡායාරූපකරණයට ආපු කෙනෙක්. මම වසර 7 ක් කපිතාන්වරයකු ලෙස හමුදා ක්‍රියාන්විත රාජකාරියේ සිටි කෙනෙක්. අනතුරුව මම 1997 දී හමුදා සේවයට සමුදී විදේශ රටක ගියා උසස් අධ්‍යාපන කටයුතු සඳහා. පසුව ලංකාවට ඇවිත්, මගේම මුද්‍රණ හා ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කළා Theme Brand Solution (Pvt) Ltd නමින්. අද දක්වාම ඒක මම කරනවා. ඒ අතරතුර තමයි මට ඡායාරූපකරණය ගැන ඇල්මක් ඇතිවුණේ. මම මගේ ඒ කතාව මීට කළිනුත් මාධ්‍යට කියා තිබෙනවා. මම විනෝදාංශයක් විදිහට ඡායාරූපකරණයට අත්-පොත් තැබුවේ. ඒ සඳහා මට ගුරුවරයෙක් වුණේ පණ්ඩුක සිල්වා මහතා. 2017 දී මම ඔහු යටතේ PSSL සංගමය යටතේ ඡායාරූපකරණය හදාරා ඡායාරූප ශිල්පියෙක් බවට පත් වුණා.
“2017 වන විට PSSL සංගමය තරග 61 ක් සංවිධානය කරලා පවත්වා තිබුණා. එහි 62 වැනි තරගයට සහභාගිවන ලෙස පණ්ඩුල සිල්වා මහතා මටත් ආරාධනය කළා. ඒ අනුව තමයි මම මුළින්ම තරගයකට ඉදිරිපත් වුණේ. 2017 දී මෙම තරගයකට මම අංශ 4 කින් ඡායාරූප ඉදිරිපත් කළා. මට ඒකෙන් ජයග්‍රහණ දෙකක් ලැබුණා. කළු-සුදු අංශයේ පළමු ස්ථානය. ඒ කියන්නේ රන් පදක්කම. තව මෙරිට් සහතිකයක් ලැබුණා. එම අවස්ථාවෙන් තමයි මට තරගවලට දාන්න උනන්දුවක් ඇති වුණේ. ඉතිං මේ වන විට මම විවිධ රටවල ලෝකයම පිළිගත් ඡායාරූප තරග රැසකට තරග කරලා රන් පදක්කම් 1000 ක් දිනලා තියනවා. රටවල් 76 ක ජයග්‍රහණ ලබලා තියනවා. සම්පූර්ණ පදක්කම් 3600 කට ටිකක් වැඩියෙන් දිනලා තියනවා. ඒ ජයග්‍රාහී පදක්කම්, රිබන් සහ ගෞරව නාම (Distinctions) තමයි මේ බිත්ති පුරෝලා තියෙන්නේ.” යැයි ජුවලරියක්, එහෙමත් නැතිනම් රන් භාණ්ඩ සාප්පුවක් වැනි ඔහුගේ කාමරයේ බිත්ති සැරසෙන රන්, රිදී, ලෝකඩ කුසලාන සමූහය පෙන්වමින් අපට සිනා මුසුව කියයි.
“මේක ලෝක වාර්තාවක්. ඡායාරූපකරණයෙන් පදක්කම් අරගෙන “ගිනස්” වාර්තාවක් තියලා තියෙන්නේ 1962 දී ජපන් ජාතිකයෙක්. ඔහුගේ පදක්කම් ප්‍රමාණය 1364 යි. මම මේ ගැන සර්ච් කරලා බලලා මේ වාර්තාව කඩන්න මම පෞද්ගලිකවත්, ශ්‍රී ලංකාවේ ගිනස් වාර්තා නියෝජිතයා මගිනුත් මේ වන විට ගිනස් එකෙන් ඉල්ලලා තියනවා. නමුත් මේ සඳහා ඉල්ලුම වැඩියි කියලා අදාළ ඉසව්ව තාවකාලිකව “ලොක්” කරලා තියෙන්නේ. කොහොම වුණත් ඒ ලොක් එක ඇරපු ගමන් ගිනස් වාර්තාව ඊළඟට මට හිමිවෙන්න ඕන. මොකද මම තමයි දැන් කාලයක ඉඳන් දොර ළඟම ඉන්නෙ.” පණ්ඩුල කියන්නේ අභිමානවත් ශ්‍රී ලාංකිකයකු ලෙසය.
ඔබේ ආචාර්ය උපාධිය ගැන මෙන්ම, ජාත්‍යන්තර තරග තීරක තොරතුරු ගැනත් අපි දැනගන්න කැමතියි ලෙස අප ඔහුගෙන් ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ මෙලෙසය.
“පළමුව මම කියන්නම් මගේ ජාත්‍යන්තර ඡායාරූප තරග විනිශ්චය ගැන. මම මේ වන විට අන්තර්ජාතික තරග 175-180 අතර ගණනක් විනිශ්චය කරන්නට එකතුවෙලා තියනවා. මේවා බොහෝ විට ඔන්ලයින් කරන්නේ. රටවල් 20-30 ක් විතර වාර්ෂිකව තරග සංවිධානය කරනවා. රටවල් 60-70 ක විතර පුද්ගලයන් 700 ක් විතර මේවාට වාර්ෂිකව සම්බන්ධ වෙනවා. ඉන්දියාව තමයි වැඩිම තරග ප්‍රමාණයක් පවත්වන්නේ. PSA සහ FIAP වැනි සංවිධාන මේ අතර ප්‍රමුඛව කටයුතු කරනවා. PSA Annual Photo Gathering එකත් මේ පාර ලංකාවේ අපි කළේ. රටවල් 22 ක ඡායාරූප ශිල්පීන් 78 ක් සතියක චාරිකාවකට ලංකාවට ආවා. අපේ සංචාරක කර්මාන්තය නංවන්න මේක හොඳ අවස්ථාවක් වුණා. කෙසේ නමුත් මගේ අත්දැකීම් අනුව ජාත්‍යන්තර තරගවලට ශ්‍රී ලාංකිකයන් ඉල්ලුම් කරනවා හරිම අඩුයි. අපට ජාත්‍යන්තර ජයග්‍රහණ අඩුත් ඒ නිසා.
දැන් මම කියන්නම් මගේ ඡායාරූපකරණ ආචාර්ය උපාධිය ගැන. ඇත්තටම ආචාර්ය උපාධි දෙකක් මේ වන විට මම මේ අංශයෙන් හිමිකරගෙන තිබෙනවා. ඡායාරූපකරණය අංශයෙන් පශ්චාත් (මාස්ටර්ස්) උපාධි 10 ක් සහ ව්‍යාපාර අධ්‍යයන අංශයෙන් එක පශ්චාත් උපාධියක් ලෙස මීට පෙර උසස් අධ්‍යාපන සුදුසුකම් ලබාගෙන තිබුණා. ඒ නිසා මම කල්පනා කලා ආචාර්ය උපාධියක් කරන්න. 2024 වසරේ Washington Digital University එකෙන් ගෞරව උපාධියක් ඉල්ලුම් කරන්න අවස්ථාවක් දීල තිබුණා. ඒක මම හිමිකර ගත්තා. ඒ වගේම ඇමෙරිකාවේ Kennedy University St. Lusia විශ්වවිද්‍යාලය මගින් තවත් අධ්‍යයන ආචාර්ය උපාධියක් ප්‍රකාශයට පත්කරලා තිබුණා. ඒ උපාධිය මම ඉල්ලුම් කළා. ඒ සඳහා මම කරපු තීසියස් එක තමා —The Impact of Artificial Intelligence on Photography¦ Redefining
Creativity And Authorship” කියන පර්යේෂණය. මීට අදාළ ආචාර්ය උපාධිය මම ඉන්දියාවේදී පසුගිය දිනකදී ලබාගත්තා” යැයි පණ්ඩුල බණ්ඩාර අප සමග පැවසීය.
“සැබැවින්ම ඡායාරූප තරග විනිශ්චයේදී අප මුහුණ දෙන විශාලම අභියෝගය තමයි “කෘතීම බුද්ධිය” සහ “ඩිජිටල් තාක්ෂණය” භාවිතයෙන් නැවත සකසන ඡායාරූප ඉදිරිපත්වීම. ඒක වැඩි වශයෙන් දැන් සිදුවෙමින් පවතිනවා. ඒ නිසයි තරග විනිසුරන්ගේ තීක්ෂණ දැනුම අවශ්‍ය වෙලා තියෙන්නේ. මගේ පර්යේෂණය කළේ ඒ ගැන.” පණ්ඩුල කියන්නේය.
මෙසේ ගෞරව, සම්මාන, සහතික ලබා නව මාධ්‍යකරණය ඇතුළු ඡායාරූපකරණයේ පෙරළිකරුවෙක් ලෙස ඡායාරූපකරණ නමැති විෂය ක්ෂේත්‍රයට ඔහු ඉටුකරන සේවය සහ සාධාරණත්වය සුළු පටු වූවක් නොවේ. එක් පැත්තකින් ඔහු අවශ්‍යම වූ මොහොතක රටට අතිමහත් වූ සේවයක් කළ රණවිරුවෙකි. තවත් පැත්තකින් ඔහු අද ඉතා දුලභ විෂය ක්ෂේත්‍රයක හිනිපෙත්තේ කටයුතු කරමින් රටට නිහඬ සේවයක් සිදුකරන දෑ හිතකාමියෙකි. සැබෑව නම්, රට ඔහු ගැන බොහෝ නොදන්නවාට ලෝකයක් ඔහු ගැන බොහෝ දැන සිටීම ය. අපි ඔහුගේ කතාව රටට කියන්නෙමු.
සටහන – ජගත් කණහැරආරච්චි