රාජ්‍ය පොසොන් උත්සවයට වෙන්වී ඇති මුදල් ප්‍රමාණවත් නැහැ

61

වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ප්‍රමාණවත් ආරක්ෂාවක් මෙන්ම නඩත්තුවට පිරිසකුත් නැහැ
මිහින්තලා පොසොන් පිංකම් කමිටුව

2025 රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලා විහාරස්ථානයේ දී පැවැත්වීමට අදාළ පහසුකම් සැපයීම සඳහා වූ සාකච්ජාව මිහින්තලා රාජමහා විහාරාධිපති හා එහි භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පොසොන් පිංකම් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ මූලිකත්වයෙන් පසුගිය(08)දා මිහින්තලේ රාජමහා විහාර මැද මළුවේදී පැවැත්විණි.

ඒ අනුව මිහින්තලා විහාරස්ථානයේ පැවැත්වෙන සති පිරිත ජුනි මස 01 දා සිට ජුනි මස 08 දා දක්වා පැවැත්වේ. ජුනි මස 07 දා රාත්‍රී දොරකඩඅස්න පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත. ජුනි 10 දාට පොසොන් පොහොය යෙදී තිබෙන අතර ජුනි මස 07 වන දින සිට 13 දා දක්වා කාලය පොසොන් සතිය ලෙස නම් කර ඇත. මිහිඳු පෙරහැර ජුනි මස 09 දා වීදි සංචාරය කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, බැතිමතුන් වෙනුවෙන් පහසුකම් සැපයීම ආදී කරුණු පිළිබඳව රැස්වීමේදී සාකච්ඡා විය.

රාජ්‍ය පොසොන් පිංකම උත්කර්ෂවත් ලෙස පැවැත්විය යුතු බවත්, දැනට වෙන් වී ඇති මුදල් මේ සඳහා ප්‍රමාණවත් නොවන බවත්, මෙහිදී මිහින්තලා රාජමහා විහාරාධිපති හා එහි භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේගේ අදහස විය. එසේම ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවත්, නඩත්තුව සඳහා පිරිසක් නොමැති බවත් නායක හිමියෝ පැවසූහ. විශේෂයෙන්ම පොසොන් පිංකම ලාංකිකයන් වෙනුවෙන්ම වෙන්වන එකම පොහොය බවත්, ආලෝක පූජාව, දන්සල් සංකල්පය මුලින්ම ආරම්භ වූයේද මේ ආශ්‍රයෙන් බවත් සිහිපත් කළහ. ඉහළින් කළ ඉල්ලීම් ඉටු නොවීම නිසා සියලු දෙනා අපහසුතාවට පත්වන බවත් උන් වහන්සේ සඳහන් කළහ.

මෙවර පොසොන් පිංකමේ තේමාව වන්නේ “අනුබුදු දහමින් ලොවම නිවේවා…!” යන්නයි.

මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන්තී නාගහවත්ත, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බංඩාර යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරින්, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පොලිසිය,

ත්‍රිවිධ හමුදාව ඇතුලු ආයතනවල රාජ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධාන, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක ඇතුලු පිරිසක් එක් වූහ.
නොච්චියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා


advertistmentadvertistment