මාලිමා මැයි රැලියට ආපු පිරිස් අධිවේගයේ දී මාර්ග නීති කැඩුවා
කෝටි ගණන් වියදම් කර පුටු අතුරා රාජ්‍ය බලය යොදා ගනිමින් ගෝල්ෆේස් පිටියට ජනතාව එක්රැස් කළ පමණින් මැයි රැලියක් සාර්ථක වන්නේ නෑ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (02 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී සාගර කාරියවසම් මහතා මෙසේද කීවේය.
“ඊයේ දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නුගේගොඩ නගරයේදී අති සාර්ථක මැයි දින රැලියක් පැවැත්වූවා. විපක්ෂයේ සිට මේ වගේ දැවැන්ත මැයි රැලියක් පැවැත්වීමට ඒ සහයෝගය ලබාදුන් සහ ඊට සහභාගී වූ ශ්‍රී ලංකාවාසී සියලුම දේශප්‍රේමී ජනතාවට පක්ෂයක් හැටියට අපේ ස්තූතිය පිරිනමනවා.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ගෝල්ෆේස් මැයි රැලිය සම්බන්ධයෙන් කාරණා කිහිපයක් තිබෙනවා. ගෝල්ෆේස් පිටිය පුරවන එක අතීතයේදී සිරිමාවෝ බණ්ඩාරණායක අගමැතිතුමිය, ජේ. ආර්. ජයවර්ධන අගමැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කරනු ලැබුවා. නමුත් හැමෝම ගෝල්ෆේස් පිට්ටනිය පිරෙව්වේ ඔවුන්ට ආණ්ඩු බලයක් තිබෙන අවස්ථාවකයි. මේ රටේ ආණ්ඩු බලයක් නොමැතිව ගෝල්ෆේස් පිටිය පුරවලා පෙන්වපු එකම නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමත් එකම පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ඉතිහාසගත වන එක කිසිදු කෙනෙකුට වළක්වන්න බැහැ.
ඒ වගේම මාලිමා ආණ්ඩුව ගෝල්ෆේස් පිට්ටනිය පුරා කෝටි ගණන් වියදම් කරලා පුටු අතුරලා. ඒ රාජ්‍ය බලය යොදාගෙන රට පුරා ප්‍රදේශවලින් ෆෝට්සිටිය පෙන්වන්න කියා ජනතාව
ගෙනහැල්ලා. එහෙම එයාලා ගෝල්ෆේස් පිට්ටනිය පිරෙව්වට මැයි රැලියක් සාර්ථක වෙන්නේ නැහැ.
එසේම අපි ඊයේ දැක්කා මේ මැයි රැලියත් සමගම මේ රටේ ඉතා දැඩි විනය කඩවීමක්. මේ රටේ අධිවේගී මාර්ග නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. එතුමන් නිර්මාණය කළ අධිවේගී මාර්ග එතුමාගේ පාලන යටතේ තිබෙන අවස්ථාවකවත් අපේ කිසිම මැයි රැලියකට හෝ කිසිදු දෙයකට පැමිණි කිසිම කෙනෙකුට නීතිය අවභාවිතා කරන්නවත් නීතියට පිටින් කටයුතු කරන්නවත් ඉඩ දුන්නේ නැහැ. මේ අධිවේගී මාර්ගවල ඉතාම හොඳ විනය නීති පද්ධතියක් සෑමදාම ක්‍රියාත්මක වුණා. නමුත් අපි දැක්කා ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට බස්වලින් පැමිණි ජනතාව ඒ සියලු නීති කඩකරමින් මේ රටේ පොලිසියට අවනත නොවෙමින් අධිවේගී මාර්ගවල බස්රථ නවත්වලා විනෝද වීම්, වැසිකිළි කැසිකිළි යෑම්, ආහාර ගැනීම් සිදුකරන ආකාරය. මෙය රටක් හැටියට අපි අවුරුදු ගණනක් ආපස්සට යන ගෝත්‍රික තත්ත්වයකට යෑමක්. අපි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා ඔබලාගේ ගෝත්‍රික ගති තිබුණට මේ රට ගෝත්‍රික රටක් බවට පත්කරන්න එපා. මේ රට මීට වඩා ඉහළ තත්ත්වයක තිබුණු රටක්.
එරික් ගාමිණී ජිනප්‍රිය